Connect with us

පුවත්

අමාත්‍ය වසන්ත සමරසිංහට එරෙහිව ‘ඉඩම් වංචා නඩුවක්’ අධිකරණය හමුවේ කැඳවයි

Published

on

නැෂනල් වර්ක්ස් ඉන්ස්ටිටියුට් නමැති ආයතනය සතු දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36කට බදු දී වංචාවක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීම සඳහා ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය අද (පෙබරවාරි 21) දින නියම කළාය.

ඒ අනුව ලබන මාර්තු මස 07 වන දින අගතියට පත් පාර්ශවය වෙනුවෙන් ලිඛිත දේශන ගොනු කිරීමට නියමිත ය.

අදාළ නඩුව ගොනු කිරීමෙන් අනතුරුව අවස්ථා දෙකකදී අධිකරණය විසින් මෙම නඩුවට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට දෙවරක් පැහැදිලිව නියෝග කරනු ලැබ තිබුණ ද, එම නියෝග ක්‍රියාත්මක නොකර අධිකරණය නොමග යවමින් නීතිපති උපදෙස් වුවමනා බව පොලිසිය පවසා සිටින බවට අධිකරණය හමුවේ කරුණු දක්වමින් අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය කරුණු දක්වා තිබිණි.

අධිකරණයට ගොනු කර ඇති බී වාර්තාවට අනුව අමාත්‍ය වසන්ත සමරසිංහ කොළඹ වංචා විමර්ශන කාර්යංශයට කට උත්තරයක් ලබා දෙමින් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 3 වන දින නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙසට තමන් පත් වූ බව පවසා සිටිය ද කම්කරු දෙපාර්තමේන්තුව ලබා දී ඇති වාර්තාවේ සඳහන් කර ඇත්තේ, 2017 වර්ෂයේ සභාපති වශයෙන් සිටි මයුරා ධර්මවර්ධන ඇතුළු නිලධාරී මණ්ඩලය ම 2024 වර්ෂය දක්වාත් සිටින බවට සඳහන් කර ඇති බව ය.

නැෂනල් වර්කස් කොංග්‍රස් වෘත්තීය සමිතියේ සභාපති ලෙස හා උපසභාපති ලෙස පෙනී සිටිමින් හේරත් මුදියන්සේලාගේ වසන්ත සමරසිංහ හා රන්කොත්ගෙදර සිරිල් ආනන්දසිරි යන පුද්ගලයින්ගේ අත්සනින් යුක්තව අදාළ දේපළ 2020 වර්ෂයේ පෙබරවාරි මස 10 වන දින අංක 166 සහ 206, 207 දරන බදු ඔප්පු මගින් බදු දීමට කටයුතු කර ඇති බව පෙනී යන බව ය.

ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකියාව ඇති බවට අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න වැඩිදුරටත් පැවසුවේ ය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇත්දැයි මහේස්ත්‍රාත්වරිය වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ගෙන් විමසා සිටි අවස්ථාවේදී මෙතෙක් ඒ සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වී නොමැති බව ඔවුන් පවසා තිබේ.

වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ වංචා විමර්ශන කාර්යංශයේ නිලධාරීන් පවසා සිටියේ, ප්‍රශ්නගත දේපළෙහි භාරකාරත්වය සම්බන්ධයෙන් කඩුවෙල දිසා අධිකරණයේ දැනට නඩුකරයක් පවතින හෙයින් එම නඩුකරය පාදක කරගෙන මෙහි භාරකාරත්වය සම්බන්ධව ඇති ගැටලුකාරී තත්ත්වය මත අපරාධ වරදක් අනාවරණය කර ගැනීමට නොහැකි බැවින් නීති උපදෙස් ලබා ගැනීමට කටයුතු කළ බව ය.

මෙම නඩුව මාර්තු මස 07 වන දින නැවත කැඳවීමට නියමිත ය.

BBC සිංහල සේවය

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading

පුවත්

සාන් සුද්දා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලායයි

Published

on

By

පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වනදා  වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකළ අතර එහිදී වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවෙලමුල්ලේ සාන් සුද්දා නොහොත් සම්පත් කුමාර යන අය පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී තිබූ අතර පසුව පොලිස් නිලධාරීන් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවුණි.

එම සැකකරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර සැකකරු අද උදෑසන බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇත.

පලාගිය සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ඉන්දියාවට පලාගිය සරණාගතයින් ගැන රජයෙන් තීරණයක්

Published

on

By

යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඒ සඳහා පවතින ආගමන විගමන නීතී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

යුද්ධය පැවති සමයේ දී උතුරේ ජීවත් වූ ජනතාව යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර ඔවුන් මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වේ.

එම පිරිසට යළි ලංකාවට පැමිණීම සඳහා පවතින ආගමන විගමන නීතී බාධාවක් වී ඇති බැවින් එම නීතී සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

ඒ සඳහා කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණ ඇති බවය.

එලෙස දිවයිනට පැමිණ ඇත්තේ 24 හැවිරිදි යුවළක් සහ අවුරුදු 3 හමාරක් වයසැති දරුවා බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් 2023 වර්ෂයේ මැයි මාසයේ දී බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved