Connect with us

පුවත්

අයවැයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන – ජනපති

Published

on

සිඟමන් යදින රටක් වෙනුවට ශක්තිමත් ආර්ථිකයක් ඇති රටක් ගොඩනැඟීමට නම් කෙතරම් අසීරු වුවද අද දවසේ ගත යුතු තීන්දු තීරණ නිසි ලෙස ගැනීමට සිදුවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (01) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ  පැවති ජාතික කර්මාන්ත විශිෂ්ටතා සම්මාන උළෙල 2023  අමතමිනි.

වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන බවත්, එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු තීන්දුවක් බවත් මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නායකත්වය යනු ජනතාවට සත්‍ය පහදා දී රට වෙනුවෙන් නිවැරදි තීරණ ගැනීම බවද කියා සිටියේය.

එසේම මෙම දුෂ්කර තීන්දු තීරණ ගැනීම මැතිවරණයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට අසීරු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

කෙසේ වුවද රට වෙනුවෙන් ගත යුතු තීන්දු තීරණ ගැනීමට තරුණ නායකත්වය ද පුරුදු පුහුණු විය බවත් රට වෙනුවෙන් වැඩකළ හැකි තරුණ අමාත්‍යවරුන් පිරිසක් අද ආණ්ඩුවේ කටයුතු කරන බවත් පැවසු ජනාධිපතිවරයා ඔවුන් සමඟ එක්ව 2024 වන විට මීට වඩා යහපත් ආර්ථික තත්ත්වයක් රට තුළ ඇති කිරීමට කටයුතු කරන බවද පැවසීය.

තවද ඉදිරි අය වැයේ දී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකාව තුළ අපනයන කේන්ද්‍රීය නිෂ්පාදන ආර්ථිකයක් බල ගැන්වීම උදෙසා, කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව ජාතික කර්මාන්ත විශිෂ්ටතා උළෙල 2023 සංවිධානය කර තිබිණි.

මෙහිදී ප්‍රධාන කර්මාන්ත ක්ෂේත්‍ර 21ක් හා උප කර්මාන්ත ක්ෂේත්‍ර 61ක් වෙනුවෙන් තරග කිරීමට අයදුම් කළ කර්මාන්ත ව්‍යවසායකත්ව 4000කට අධික ප්‍රමාණයකින් ජයග්‍රහණය කළ ව්‍යවසායකයින් 300 දෙනෙකු ප්ලැටිනම්, රන්, රිදී සහ ලෝකඩ සම්මානයෙන් පිදුම් ලැබූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

මෙහිදී සම්මාන ලැබූ පිරිස දෙස බැලු විට මට පසුගිය වසර පිළිබඳ සිහිපත් වුණා. පසුගිය වසර වන විට මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යා හැකිද යන්න පිළිබඳව ගැටළු රැසකට අප මුහුණ දී සිටියා. එදා විදුලිබලය තිබුණේ නැහැ, බැංකු ණය ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් තිබුණා. මේ හේතුවෙන් ව්‍යාපාර විශාල ප්‍රමාණයක් වැසී ගියා.

කෙසේ හෝ අද අපේක්ෂා නොකළ තරම් විශාල සංඛ්‍යාවක් නැවත තම කාර්මාන්තවල නිරත වී සාර්ථකව ඉදිරියට පැමිණ සිටිනවා. කුඩා කර්මාන්ත සහ මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ඉතා කෙටි කාලයක් තුළ නැවත දියුණු වී තිබෙනවා.  නමුත් ඇතැම් ගැටළු තවමත් විසඳී නැහැ. බැංකු ණය පිළිබඳ ප්‍රශ්න ඒ වගේම වෙළෙඳ පොළ ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. කෙසේ හෝ එම ප්‍රශ්න විසඳීමටත් අපේ අවධානය යොමුව තිබෙනවා.

ඊළඟ අය වැයේදී කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට බැංකු ණය සහන ලබාදීම පිළිබඳ ප්‍රකාශ කිරීමට මම බලාපොරොත්තු වෙනවා. අප මෙම වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ඉදිරියට ගෙන යන බවද කිව යුතුයි.

රටේ කඩාවැටුණු ආර්ථිකය යළි පණ ගැන්වීමේ  සැලසුම් අප මේ වන විට සකස් කර තිබෙනවා. අප ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ මෙන්ම අපේ ණයකරුවන් සමඟ සාකච්ඡා කර තිබෙනවා.

සෑම අවස්ථාවකදීම අවධානය යොමු කරන්නේ ලබාගත් ණය ගෙවීමට අපිට  ශක්තියක් තිබේද යන්න පිළිබඳවයි. ඒ සඳහා වර්ෂයෙන් වර්ෂය අප ආදායම් ඉහළ නංවා ගත යුතුයි. අපට මෙම ණය ආපසු ගෙවිය හැකි බවට පුද්ගලික ණයකරුවන් සහ බහුපාර්ශ්වික ණයකරුවන් සියලු දෙනාගේ විශ්වාසය දිනාගත යුතුයි.එම විශ්වාසය නොතිබුණහොත් රටේ ආර්ථිකය කඩා වැටෙනවා. එය මතක තබාගෙන වැඩකළ යුතුයි.

ණය ගෙවීම සහ පොලිය ගෙවීම සඳහා ලබන වසරේ අය වැයෙන් සැලකිය යුතු කොටසක් වෙන් කිරීමට අපට සිදු වෙනවා. මෙම ණය නොගෙවා සිටියහොත් අප නැවත පැරණි තත්ත්වයට පත් වෙනවා. එසේ නම් අපේ රුපියල ආරක්ෂා කරගෙන මෙම ණය ආපසු ගෙවිය යුතුයි.

මීට පෙර අය වැය සඳහා මුදල් නැත්නම් මහ බැංකුවට කියා මුදල් මුද්‍රණය කරනවා. දැන් නීතියෙන්ම එය සිදු කළ නොහැකියි. ඒ වගේම බැංකුවලින් ණය ගන්නත් බැහැ. මේ සියල්ල අවහිර කර  තිබෙනවා. එසේ සිදු වූයේ මීට පෙර පැවති අවිධිමත් මූල්‍ය ක්‍රියාවලිය නිසයි.

ලබන වසර වන විට අපේ අදායම් තවදුරටත් ඉහළ නංවාගත යුතුයි. අපට ආදායම් ලබා ගැනීමට යම් ඉලක්කයක් තිබෙනවා. එම ඉලක්කයට අප ගමන් කළ යුතුයි.

ලබන වසරේ බංකොළොත් නොවී රට ඉදිරියට ගෙන යාමට නම් එම ආදායම් උපයා ගත යුතුයි. ඒ වෙනුවෙන් වැට් බද්ද 18%ක් වන තෙක් වැඩි කිරීමට අපට සිදු වී තිබෙනවා. ඒ අනුව ඉන්දියාවේ, පකිස්ථානෙයේ තිබෙන තත්ත්වයට ඒමට අපට සිදු වුණා. මෙවැනි තීරණයක් ගැනීම ඕනෑම ආණ්ඩුවකට අසීරු කටයුත්තක්. විශේෂයෙන් ඡන්දයක් ආසන්නයේ සිටින පාර්ලිමේන්තුවකට මෙය අසීරු  වැඩකටයුත්තක්. නමුත් මෙය සිදු නොකළහොත් සියළුදෙනාගේ අනාගතය අදුරු වෙනවා. ඒ නිසා නිවැරදි තීන්දු ගත යුතුයි.

ජනතාවගේ දෝෂාරෝපණයට ලක් වෙමින් වුවද රට වෙනුවෙන් මෙම තීන්දු ගත යුතුයි. කඩාවැටුණු රට ගොඩනැගීමේ වගකීම මමත්, ඇමති මණ්ඩලයත් භාරගත්තා. ඒ වගේම ආර්ථිකය ගොඩැනගීමේ වගකීම අපි භාරගත්තා.

අප නැවත යාචක ජාතියක් නොවිය යුතු බව අපි තීරණය කළා. අපි අපේ ශක්තියෙන් ඉදිරියට යා යුතුයි. පසුගිය සදුදා සන්ධ්‍යාවේ පැවති කැබිනට් මණ්ඩලයේ දී අපට කණගාටුවෙන් වුවත් මෙම තීරණය ගැනීමට සිදු වුණා. ඇතැම් අය දොස් කියනවා. නමුත් අපි මෙය නොකළානම් මේ රට නැවත පසුගිය වසරේ තිබූ තත්ත්වයට පත්වෙනවා. මේ වසර ආරම්භයේ දී අපේ ආර්ථික වර්ධන වේගය සෘණ 07යි. අද වන විට ධන සියයට දශම 05ක් බවට පත් වී තිබෙනවා. ලබන වසරේ එය තව ටිකක් ඉදිරියට යනවා. එසේ නම් නැවත අපි ආපස්සට යනවාද, ඉදිරියට යනවාද කියා තීරණය කළ යුතුයි.

නායකත්වය කියන්නේ එයයි. අසීරු තීරණ ගෙන ජනතාවට එහි සත්‍ය තත්ත්වය පහදා දිය යුතුයි. මෙම තීරණය නිසා අපට යම් මුදලක් උපයා ගෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා සහන ලබාදීමට බැංකුවලට ලබාදිය හැකියි. එය සිදු නොකළා නම් එම කර්මාන්ත කඩා වැටෙනවා. කර්මාන්තකරුවන් ලෙස ඔබත් අසීරු තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා රට වෙනුවෙන් මේ අසීරු තීරණ ගැනීමට සිදු වෙනවා. ඒ වගේම ජනතාවගේ දෝෂාරෝපණයට ලක්වීමට සිදු වෙනවා. නමුත් රට පිළිබඳ සිතා අප එම තීරණ ගත යුතුයි.

කෙසේ හෝ රට ගොඩනැගීමේ තීරණය සමඟ අපි එම ගමන යමු. මෙම වැඩපිළිවෙළ මගින් සිඟමන් යදින රටක් වෙනුවට හොඳ රටක් ගොඩනඟන්න පුළුවන්. මේ රටට යහපත් අනාගතයක් තිබෙන බව මම විශ්වාස කරනවා. අප ලෝක බැංකුව ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ආයතන සමඟ සාකච්ඡා කරනවා. අද අසීරු වුවත් අපට තව වසර දෙක තුනකින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

2024 වන විට රටේ ආර්ථිකය මීටත් වඩා ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාම අපේ අපේක්ෂාව බව සඳහන් කරමින් මම ඔබ සියලුදෙනාට සුබ පතනවා.

කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, චාමර සම්පත් දසනායක යන මහත්වරුන් ද මෙහිදී අදහස් දැක්වූ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, මධ්යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ සභාපති වෛද්‍ය සාරංග අලහප්පෙරුම යන මහත්ම මහත්මීන් සහ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන ප්‍රධානීන්, ප්‍රධාන කර්මාන්ත ව්‍යවසායකයින් ඇතුළු පිරිසක් මීට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

කටඋත්තර ගැනීමට පෙර දැනුම්දිය යුතුයි – නව චක්‍රලේඛයක් නිකුත් වෙයි

Published

on

By

කිසියම් පැමිණිල්ලකට අදාළව කටඋත්තරයක් ලබාගැනීම සඳහා පුද්ගලයකු කැඳවනවිට එම පැමිණිල්ලේ අන්තර්ගත කරුණු පිළිබඳව එම පුද්ගලයා දැනුම්වත් කළයුතු ආකාරය දැක්වෙන චක්‍රලේඛයක් සකස් කර තිබේ.

එම චක්‍රලේඛය දිවයිනේ සියලු පොලිස් ස්ථානවෙත නිකුත් කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් කටයුතු කර තිබෙන බව නීතිපතිවරයා ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

බලශක්ති විශේෂඥයෙකු වන විදුර රැළපනාව මහතා විසින් අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකයට එරෙහිව ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර තිබේ.

මෙම පෙත්සම අචල වෙංගප්පුලි සහ සම්පත් විජයරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කරු කියා සිටින්නේ තමන් විසින් සමාජ මාධ්‍යයේ පළකළ අදහසක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකයේ නිලධාරියෙකු විසින් දුරකථන මාර්ගයෙන් දැනුම් බවය.

පසුව තමාට එරෙහිව තිබෙන පැමිණිල්ල කුමක්ද? සහ එහි අන්තර්ගත කරුණු මොනවාදැයි තමන් අදාළ පොලිස් නිලධාරියාගෙන් විමසා සිටි බවත්, ඊට පිළිතුරු ලබාදීම වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ප්‍රතික්ෂේප කළ බවත් පෙත්සම්කරු චෝදනා කරයි.

එසේ තොරතුරු ලබානොදීම තුළින් වගඋත්තරකාර පොලිස් නිලධාරින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ පොලිස්පති, දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් මීට පෙර අධිකරණය හමුවේ පෙනී සිට ලබා දුන් ප්‍රතිඥාවකට අනුව අදාළ චක්‍රලේඛය සකස්කර දිවයිනේ පොලිස් ස්ථාන වෙත නිකුත් කිරීමට කටයුතු කර තිබෙන බවය.

මෙම දැනුම්දීම සම්බන්ධයෙන් තමන් සෑහීමකට පත්වන බවත් ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කළ හැකි බවත් පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂකවරයා, එම අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබුණි.

Continue Reading

පුවත්

ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට දුරකතන අංකයක්

Published

on

By

කොළඹ මහ නගර සීමාවේ ඩෙංගු බෝවන ස්ථාන පිළිබඳ දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව 011 2696594 දුරකතන අංකයට එම තොරතුරු දැනුම් දිය හැකියි.

කොළඹ මහ නගර සභාව සඳහන් කළේ, නාගරික සීමාවේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන පරිදි ඩෙංගු මර්දන වැඩසටහන් ඊයේ ආරම්භ කළ බවයි.

කණ්ඩායම් 60ක් ඒ සඳහා පත් කර තිබේ.

වසරේ ගතවූ කාලය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 2,576 කි.

මේ අතර ජාතික ඩෙංගු මර්දන සතියේ පස් වැනි දිනය අදයි.

ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂා කිරීම්වලින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන 6370ක් හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ය.

Continue Reading

පුවත්

ඉන්දියාවෙන් පිටුවහල් කළ තිදෙනෙක් ගුවන්තොටේ දී අත්අඩංගුවට

Published

on

By

මෙරට දී මහා පරිමාණ මුදල් වංචා සිදුකර ඉන්දියාවට පලාගොස් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (3) පස්වරුවේ යළි දිවයිනට රැගෙනවිත් තිබේ.

ඉන්දියාවෙන් පිටුවහල් කර ඇති මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved