Connect with us

පුවත්

අයහපත් කාලගුණයෙන් පවුල් 2,757ක 10,270කට පීඩා

Published

on

නායයාම් අවදානම, අධික සුළං සහ වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 14ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 140ක පවුල් 2,757කට අයත් පුද්ගලයන් 10,270 දෙනකු පීඩාවට පත්ව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. 

එහි නවතම වාර්තාවට අනුව අයහපත් කාලගුණික තත්ත්වයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 18 කි.

පසුගිය 29 දින සිට ඊයේ (01) පෙරවරු 6.00 දක්වා වලංගු වන පරිදි මෙම තත්ත්ව වාර්තාව නිකුත් කර ඇත. 

ඒ අනුව එක් නිවෙසකට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි වූ නිවාස ගණන 2,710කි.

ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් ජනතාවට සහන සැලසීමට මේ වන විටත් රුපියල් මිලියන 1,000ක් ජනාධිපතිවරයා විසින් වෙන් කර ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් කේ.ජී. ධර්මතිලක මහතා පැවසීය. 

ඒ අනුව ආපදා සහන සැලසීම සඳහා කිසිදු මුදල් ගැටලුවක් නොමැති බව ද ලේකම්වරයා කීය. 

පූර්ණ හානි නි‍වසක් සඳහා ලක්ෂ 25ක මුදලක්ද, අර්ධ හානි නි‍ෙවසක් සඳහා නිවාස සාදා ගැනීමට අවශ්‍ය මුදලද, ආපදාවක දී යම් පුද්ගලයකු මිය ගියහොත් වන්දි මුදල ලෙස ලක්ෂ 10ක් ද, පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් වන්දි මුදල ලෙස ලක්ෂ 10ක් ද ලබාදෙන බව ද ඔහු පැවසීය. 

අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් වෛද්‍ය නිර්දේශ අනුව මුදල් ලබාදෙනු ලබයි. 

මෙම නිවාස හානි වෙනුවෙන් අවශ්‍ය වන්දි ගෙවීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්, ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය හරහා සිදු වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයකු පැවසීය.

මේ අතර ඊයේ (01) උදෑසන 8.00 වන විට අධික වැසි සහ සුළං හමුවේ දිවයින පුරා විදුලි බිඳ වැටීම් 55,940ක් වාර්තා වූ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ලංකා විදුලිබල මණ්ඩලය පැවසුවේ පසුගිය පැය 36ක කාලය තුළ මෙම පැමිණිලි ලැබී ඇති බවත් එම පැමිණිලිවලින් රැසක් මේ වනවිටත් පිළිසකර කර අවසන් කර ඇති බවය. 

තවද අඛණ්ඩව විදුලි බලය ලබා දීම සඳහා කණ්ඩායම් පැය 24 පුරා සේවයේ යෙදී සිටින බවත් එම මණ්ඩලය පැවසීය.

පැවති ආපදා තත්ත්වය හේතුවෙන් ඥාති නිවාසවල පවුල් 139ක පුද්ගලයන් 532ක්ද සුරක්ෂිත මධ්‍යස්ථාන 03ක පවුල් 35ක පුද්ගලයන් 147ක් ද සිටිති. 

වෙහෙරගල, කුකුළේ ගඟ, ඉහළ කොත්මලේ, දැදුරුඔය ජලාශවල වාන් දොරටු විවෘතව පැවැතිණ. 

මේ නිසා මෙම ජලාශවලට පහළ වාරික කලාපවල සිටින ජනතාව අවධානයෙන් සිටිය යුතුය. දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය ඊයේ (01) සිට ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. 

අද (02) දිනයේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය. 

ඇතිවිය හැකි ඕනෑම ආපදා තත්ත්වයක දී ජනතාවට ඇතිවන අනතුරු වළක්වා ගැනීම සඳහා අදාළ සියලු අංශයන් සූදානම් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්ලි මහතා පැවසීය. 

අදාළ තත්ත්වයන් පිළිබඳ ලැබෙන සියලු පණිවුඩ ජනතාවට දැනුම්දීම සඳහා පූර්ව අනතුරු ඇඟවීමේ ක්‍රමවේදයන්ද අඛණ්ඩව ක්‍රියාත්මක බව ද ඔහු පැවසීය. ආපදා තත්ත්වයන් පිළිබඳ දැනුම්දීම සඳහා 117 දුරකතන අංකය පැය 24 පුරා ක්‍රියාත්මක වේ.

පුවත්

දේශබන්දු පරීක්ෂණ කමිටුවේ දෙපාර්ශවයේම සාක්ෂි මෙහෙයවීම අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයවීම ඊයේ (01) අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව අද රැස් වූ අතර මෙහිදී පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු විය.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි අතර ඔවුන්ගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ නීතීඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර එකඟ වූ පරිදි, අද දින මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

ඒසේම දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර දුන්නේය.

එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බව විනිසුන් මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩසටහනට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.

Continue Reading

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved