Connect with us

පුවත්

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස

Published

on

අලුත් පාර්ලිමේන්තුවේ පළමු දවස නොවැම්බර් මස 21 වනදා ට යෙදී ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ.

10 වැනි පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මහ මැතිවරණය එළැබෙන නොවැම්බර් මස 14 වන දිනට යෙදී ඇත.

එහිදී මහජන ඡන්දයෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් 196ක් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර 29ක් ඇතුළත්ව පාර්ලිමේන්තුව සඳහා තේරී පත්වන මුළු මන්ත්‍රීවරු ගණන 225කි.

පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වෙන්නේ, පාර්ලිමේන්තුවේ පළමු සභාවාරයේ පළමු දිනයේ දී විශේෂ කටයුතු රැසක් සිදුකිරීමට ඇති බවය.

පළමු දිනයේ සභා ගර්භයේ කටයුතුවල ප්‍රධාන වගකීම් පැවරෙනුයේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. පළමු දිනයේදී මන්ත්‍රීවරයන් සඳහා අසුන් පැනවීමේ පිළිවෙලක් නොමැති අතර තමන්ට රිසි අසුනක අසුන් ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරයන්ට හිමිවේ. සෙංකෝලය සභා ගර්භයේ තැන්පත් කිරීමෙන් පසු, පාර්ලිමේන්තුව රැස් වන දිනය හා වෙලාව නියම කරමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් නිවේදනය මහ ලේකම්වරිය විසින් දිනයේ පළමු කාර්යය ලෙස සභාවට ඉදිරිපත් කරනු ලබයි.

අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාව සහ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 4,5 සහ 6හි විධිවිධාන ප්‍රකාරව අනුපිළිවෙලින් කථානායකවරයා ඡන්දයෙන් පත්කර ගැනීම, කථානායක නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, මන්ත්‍රීවරයන් විසින් නිල ප්‍රතිඥාව හෝ දිවුරුම ලබා දීම, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති ‍ඡන්දයෙන් තොරා පත් කර ගැනීම සිදුකරනු ලැබේ.

කථානායකවරයා පත්කිරීම

පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස ඕනෑම මන්ත්‍රීවරයෙක් පත් කළ හැකිය. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුගේ නාම යෝජනාවක් ඉදිරිපත් කිරීමට පෙර කථානායකවරයා ලෙස පත්වීමට අදාළ මන්ත්‍රීවරයාගේ කැමැත්ත විමසා දැනගනු ලැබිය යුතුය. කථානායකවරයා පත්කිරීම ‍මන්ත්‍රීවරයන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් සිදුවිය යුතු අතර ඒ පිළිබඳ විවාද පැවැත්වීමට අවකාශ නොලැබේ.

මෙහිදී මුලින්ම කථානායකවරයා පත්කර ගත යුතු බව මහ ලේකම්වරිය විසින් සභාවට දැනුම් දෙනු ලබයි. එවිට යම් මන්ත්‍රීවරයෙක් අසුනින් නැගී සිටියහොත් මහ‍ ලේකම්වරිය විසින් එම මන්ත්‍රීවරයා දෙසට සියත දිගුකොට අදාළ යෝජනාවට සභාවේ අවධානය යොමු කරවයි. එසේ එක් නමක් යෝජනා වූ පසු වෙනත් නාම යෝජනා තිබේද යන්න මහ ලේකම්වරිය විසින් සභාවෙන් විමසිය යුතුය. එසේ විමසීමේදී වෙනත් නාම යෝජනාවක් නොමැති නම් එම මන්ත්‍රීවරයා කථානායක ලෙස යථා පරිදි තෝරාපත් කර ගැනේ.

මෙහිදී අදාළ මන්ත්‍රීවරයාගේ නම යෝජනා ස්ථිර කරනු ලැබූ මන්ත්‍රීවරයන් දෙදෙනා විසින් එම මන්ත්‍රීවරයාව දෙඅතින් අල්වාගෙන කථානායක අසුන වෙත කැඳවාගෙන යෑම ඓතිහාසික සම්ප්‍රදාය වේ.

අනතුරුව කථානායකවරයා විසින් සිය නිල ප්‍රතිඥාව හෝ දිවුරුම දීම සිදුකරන අතර එම දිවුරුම හෝ ප්‍රතිඥාව ලබා දෙනු ලබන්නේ මහලේකම්වරිය ඉදිරියේය. එසේ පත්වන කථානායකවරයා සිය ආසනයේ අසුන් ගැනීමට පෙර තමාව තෝරා පත් කර ගැනීම පිළිබඳ කෙටි ස්තූතියක් සභාව වෙත සිදු කිරීම සම්ප්‍රදායකි. නව කථානායකවරයාගේ තේරී පත්වීම පිළිබඳ ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සුභාශිංෂණ පිරිනැමෙන අතර අනතුරුව කථානායකවරයා විසින් සිය ස්තුති කථාව සිදුකරනු ලැබේ. සභාවේ අනෙකුත් මන්ත්‍රීවරයන් මන්ත්‍රීවරයෙකු ලෙස සිය ප්‍රතිඥාව හෝ දිවුරුම කථානායකවරයා වෙත ලබාදෙන්නේ ඉන් අනතුරුවයි.

 කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී රහස් ඡන්දයක් පැවැත්වේ. මෙලෙස රහස් ඡන්ද පවත්වන අවස්ථා 02ක් පාර්ලිමේන්තු ක්‍රමය තුළ පවති. එම අවස්ථා 02 නම් කථානායක, නියෝජ්‍ය කථානායක සහ නියෝජ්‍ය කාරකසභා සභාපති තෝරා පත්කර ගැනීම සිදුකරන අවස්ථාව සහ පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගන්නා අවස්ථාවයි.

එම ඡන්ද විමසීමේදී ගණපූර්ණ සීනුව විනාඩි 05ක් නාද කිරීමෙන් අනතුරුව මහ‍ ලේකම්වරිය විසින් සෑම මන්ත්‍රීවරයෙකුටම ඡන්ද පත්‍රිකාව බැගින් ලබා දෙන අතර මන්ත්‍රීවරයන් ඒ මත ඡන්දය ලබාදෙන අපේක්ෂකයාගේ නම සහ සිය අත්සන යෙදිය යුතුවේ. අනතුරුව එම ඡන්ද පත්‍රිකාව කිසිවෙකුට නොපෙනෙන සේ නවා ඡන්ද පෙට්ටියට ඇතුළත් කළ යුතුවේ. ඡන්දයක් පැවැත්වීමේ ආකාරය තීරණය කිරීමේ බලය සහ ඡන්ද ගණන් කිරීමේ රාජකාරිය සම්පූර්ණයෙන් හිමි වන්නේ පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරිය වෙතයි. ඡන්දය ගණනය කරනු ලබන්නේ මහ‍ ලේකම්වරියගේ මේසය (Table of Parliament) මතදීයි. මෙසේ ගණනය කිරීමෙන් අනතුරුව ඡන්ද ප්‍රතිඵලය සභාව වෙත ප්‍රකාශයට පත් කරනු ලැබේ. යම් අවස්ථාවකදී ඡන්ද පත්‍රිකාවක මන්ත්‍රීවරයාගේ අත්සන යොදා නොමැති විටකදී එම ඡන්දය අවලංගු ඡන්දයක් ලෙස පිළිගැනේ.

කථානායක ධූරය සඳහා මන්ත්‍රීවරයන් තිදෙනෙකුගේ නම් යෝජනා වී ඇති විටකදී ඡන්දයේදී බහුතර ඡන්ද සංඛ්‍ය‍ාවක් ලබා ගැනීමට යම් මන්ත්‍රීවරයෙක් අසමත් වුවහොත් අඩුවෙන්ම ඡන්දය ලබාගත් මන්ත්‍රීවරයා තරඟයෙන් ඉවත් කොට නැවත ඡන්ද විමසීම සිදු කරයි. ඉන් අනතුරුව ඔවුන් අතරින් වැඩි ඡන්දය හිමිකර ගන්නා තැනැත්තා කථානායක ලෙස තේරී පත්වේ. එමෙන්ම මන්ත්‍රීවරයන් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී ඇති අවස්ථාවකදී ඉහත ආකාරයට ඡන්ද පවත්වමින් එක් එක් මන්ත්‍රීවරයා ඉවත් කරමින් අවසාන එක් බහුතර ඡන්ද ලාභියෙක් ලැබෙන තෙක් ඡන්දය පවත්වයි. නමුත් කිසියම් මන්ත්‍රීවයෙක් බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා ඕනෑම විටකදී එම මන්ත්‍රීවරයා කථානායකවරයා ලෙස තේරී පත්වේ.

යම් අවස්ථාවකදී මන්ත්‍රීවරයන් තිදෙනෙක් ඡන්දයට පෙනී සිටින විට සහ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සමාන ඡන්ද ලබා ඇති විට කුසපත් ඇදීම මඟින් සමාන මන්ත්‍රීවරයන් දෙදෙනාගෙන් එක් අයෙක් ඉවත් කිරීමේ බලය මහ ලේකම්වරියට හිමිවේ.අනතුරුව වැඩි ඡන්ද හිමි අපේක්ෂකයා සහ ඉතිරිවූ අනෙක් අපේක්ෂකයා අතර නැවත ඡන්දයක් පවත්වා කථානායකවරයා තෝරා පත් කර ගැනේ.

මන්ත්‍රීවරයන් දෙදෙනෙකු අතර ඡන්දය පැවැත්වෙන අවස්ථාවකදී අපේක්ෂකයන් දෙදෙනාම සමාන ඡන්ද ලබා ඇති විටකදී නැවත ඡන්දය පවත්වයි. නමුත් එම අවස්ථාවේදීත් අපේක්ෂකයන් දෙදෙනා විසින් සමාන ඡන්ද ලබා ඇති විටකදී කුසපත් ඇදීම මඟින් කථානායකවරයෙක් තෝරා ගැනීමේ බලය මහ ලේකම්වරිවට හිමිවේ. මෙහිදී කුසපත් ඇදීමේ ක්‍රමවේදය තීරණය කිරීමේ බලය සම්පූර්ණයෙන් මහ ලේකම්වරියට හිමිවේ.

ඡන්දයක් පැවැත්වීමෙන් අනතුරුව අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රාතබා එක් මාසයක කාලසීමාවක් මහ ලේකම්වරියගේ භාරයේ තැබිය යුතු අතර, පසුව පාර්ලිමේන්තුවෙන් ලැබෙන නියෝගයක් අනුව ඒවා විනාශ කර ඒ බව නැවත පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුය.

පාර්ලිමේන්තුවට තේරී පත්වන සියළු මන්ත්‍රීවරයන් පළමු දිනයේදී තම දිවුරුම හෝ ප්‍රතිඤාව ලබා දීමෙන් අනතුරුව අත්සන් තැබීමේ ලේඛණයේ අත්සන් තැබීම සිදුකළ යුතුය. මෙහිදී කථානායකවරයා පළමුවෙන් අත්සන් තබන අතර අනතුරුව සම්ප්‍රදායක් ලෙස අගමැතිවරයා අත්සන් කිරීමෙන් පසු සෙසු මන්ත්‍රීවරු සිය අත්සන් යොදති. මෙම අත්සන් ලේඛනය සම්ප්‍රදායානුකූලව ඉතා ආරක්ෂිත ලේඛණයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරකසභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීමේ අවස්ථාව වන විට කථානායකවරයා තේරී පත්ව ආසනයේ රැඳී සිටින බැවින් සියලු දැනුම්දීම් සහ ඡන්ද විමසීම සිදු කරනු ලබන්නේ කථානායකවරයා විසිනි. නියෝජ්‍ය කථානායකවරයා සහ කාරකසභා සභාපතිවරයා සඳහා නාම යෝජනා වීමෙන් අනතුරුව කථානායකවරයා විසින් වෙනත් යෝජනා තිබේදැයි සභාවෙන් විමසනු ලබයි. එසේ නොමැති විටකදී අදාළ යෝජිත මන්ත්‍රීවරයන් ‍තනතුරු සඳහා තේරී පත්වේ. යම් අවස්ථාවකදී ඡන්ද විමසීමක් සිදුකරන්නේ නම් කථානායක තෝරා පත්කරගත් ක්‍රියා පිළිවෙතම අනුගමනය කෙරේ. එහිදී විශේෂත්වය වන්නේ මහ ලේකම්වරිය වෙනුවට කථානායකවරයා එම ඡන්ද විමසීම සිදුකරනු ලැබීමයි.

ඉහත කටයුතු සිදු කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව කල් තබනු ලැබේ. මෙහිදී කල් තබන දිනය වන්නේ බොහෝ විට ඊළඟට එළැඹෙන පාර්ලිමේන්තු දිනයයි.

කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් එදින පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ලබන්නේ නම් මූලික කටයුතු අවසානයේ පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා නැවත රැස්වන අවස්ථාවකදී ජනාධිපතිවරයා සභාවේ මුලසුනේ සිට එකී ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින්ම පාර්ලිමේන්තුව ඊළඟ දිනය දක්වා කල් තබනු ‍ලැබේ.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved