අනුරාධපුරය අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර කඩිනමින් වාර්තාවක් ලබා දෙන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබේ.
පුරාවිද්‍යාත්මක වටිනාමකමක් සහිත දෙස් විදෙස් සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර වූ අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේට වස්ත්‍රයක් පැළඳවීමට පිරිසක් කටයුතු කරන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් අද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර ඇතැම් පුද්ගලයින් ප්‍රතිමා වහන්සේ මතට නැඟී එම වස්ත්‍රය පළඳවන ආකාරයද එහි දක්නට ලැබුණි.
මේ සම්බන්ධයෙන් අවුකන රජමහා විහාරාධිපති පූජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමිගෙන් මාධ්‍ය විමසූ අවස්ථාවේ උන්වහන්සේ සඳහන් කර ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකු ඇතුලු පිරිසක් විසින් කළ ඉල්ලීමකට අනුව ඊයේ (26) දිනයට යෙදී තිබුණු ඉල්පුර පසළොස්වක පොහොය දිනයේදී පිළිම වහන්සේට සිවුර පෙරවීමට කටයුතු කළ බවයි.
කෙසේවෙතත් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබෙන අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් වූ වහාම වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂවරියට පරීක්ෂණයක් පවත්වන්නැයි උපදෙස් ලබා දුන් බව අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහිදී සඳහන් කර සිටියේ, පුරාවිද්‍යා ආඥා පනතට අනුව පුරාවිද්‍යා ස්මාරකයක හෝ ප්‍රතිමාවක පවතින ස්වභාවය වෙනස් කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් පවතින බවත් ය.
ඒ අනුව අනුරාධපුර පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂවරයා සහ කලාප නිලධාරීවරයා සිද්ධිය පිළිබඳ තොරතුරු රැස්කිරීමට පුදබිම වෙත පිටත් කර යවා ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.
අනුරාධපුර යුගයේ නිර්මාණය වූ හිටි පිළිම අතරින් ඉතා වැදගත් නිර්මාණයක් ලෙස සැලකෙන අවුකන බුද්ධ ප්‍රතිමාව ක්‍රිස්තු වර්ෂ 05 වැනි සියවසේ ධාතුසේන රජු සමයේ බරණ නම් ගල් වඩුවෙකු විසින් කළ නිර්මාණයක් ලෙස සැලකෙයි.
මෙම බුදු පිළිමය උසින් අඩි 38යි අගල් 10ක් පමණ වන අතර අනුරාධපුර යුගයේ බුද්ධ ප්‍රතිමා වලට ආවේණික වූ සිවුරේ ඇති තනි රැල්ල ඉතා පැහැදිලිව දිස් වන අයුරින් ඉතා සියුම්ව, විශිෂ්ට ලෙස කැටයම් කර තිබීමත් එහි සමබරතාවත් හේතුවෙන් එය සැලකෙන්නේ මෙරට අතීත කලා ශිල්පයේ අද්විතීය බව පෙන්නුම් කෙරෙන නිර්මාණයක් ලෙසය.