Connect with us

පුවත්

අවුරුදු 4ක් වනයක හුදෙකලාව සිටි LTTE යේ බාලා මුදා ගැනෙයි!

Published

on

වසර හතරක් තිස්සේ ශ්‍රී ලංකාවේ වනාන්තරයක හුදෙකලාව ජීවත් වූ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (එල්.ටී.ටී.ඊ) හිටපු සාමාජිකයෙකු මුදා ගෙන රෝහල්ගත කර තිබේ.

ඔහුව මුදා ගත් පුද්ගලයින් සඳහන් කරන්නේ, ඔහු මිනිසුන්ගෙන් ඈත් වී ඉතා අපිරිසිදු ලෙස ජීවිතය ගත කර ඇති බව ය.

ශ්‍රී ලංකාවේ හමුදාව සහ සටන්කාමී දෙමළ බෙදුම්වාදී සංවිධානයක් වූ එල්.ටී.ටී.ඊ ය අතර පැවති සිවිල් යුද්ධය 2009 වසරේදී එල්.ටී.ටී.ඊ යේ පරාජයත් සමග අවසන් විය.

ඉතිරිව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ගෙන් ඇතැමෙකු යටත් වූ අතර ඇතැමුන් අතුරුදන් වී අනෙක් අය සීසීකඩ විසිරී ගියහ.

වනාන්තරයේදී ඔහුව දුටු පුද්ගලයින් විසින් ‘බාලා’ ලෙස හඳුන්වන ලද මෙම පුද්ගලයා ද විසිරී ගිය එවැනි හිටපු සාමාජිකයෙකි.

යුද්ධය අවසන් වූ මොහොතේ සිට ඔහුගේ පවුල සහ ඔහුගේ ජීවිතය පිළිබඳ වූ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.

මඩකලපුව දිස්ත්‍රික්කයේ, පට්ටිපලෙයි ප්‍රදේශයේ තණ්ඩමලෙයි වනාන්තර ප්‍රදේශයේ ගරා වැටුණු පැල්පතක ජීවත්ව සිටියදී ඔහු මුදා ගෙන තිබේ.

ආහාර ලබා ගැනීම සඳහා කලාතුරකින් ඔහු වනාන්තරයට මායිම්ව ඇති ගම්මාන වෙත ගොස් තිබේ.

අපිරිසිදු ජීවන තත්ත්වයන්

පුනරුත්ථාපනය වූ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් ‘කෘසේඩර්ස් ෆෝ ඩිමොක්‍රසි පාර්ටි’ යන දේශපාලන පක්ෂයේ උපසභාපති එන්. නගුලේෂ්, බාලා මුදා ගත් පිරිස අතර විය. ඔහු පවසන්නේ බාලා ඔහුගේ පවුලේ අය විසින් අතහැර දමනු ලැබ ඇති අතර මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි බව ය.

පහුගිය අවුරුදු හතරක් තිස්සේ ඔහු ජීවත් වී ඇත්තේ වනාන්තරයෙන් ලබා ගත් පලතුරු ආහාරයට ගැනීමෙනි. ආහාර ලබා ගැනීම සඳහා කලාතුරකින් ඔහු වනාන්තරයට මායිම්ව ඇති මිනිස් වාසස්ථානවලට ගොස් ඇත. ඔහු මෙම ආහාර තම පැල්පතට ගෙන ගොස් ප්‍රාථමික හා අපිරිසිදු ආකාරයකින් ඒවා පිසින බව නගුලේෂ් පවසයි.

“ඔහු ජීවත් වෙලා තියෙන්නේ ඉතා අපිරිසිදු තත්ත්ව යටතේ. භාජනයක ඔහු ආහාර පිසිනවා නම් ඒක සෝදලා නෙවෙයි ගන්නේ. ඒ වගේ ම අනෙක් ආහාර වේලත් ඒ භාජනයේ ම හදා ගන්නවා. එක ම භාජනයක මාළු සහ බත් එකට උයාගෙන කාලා තියෙන්නේ,” නගුලේෂ් පැවසීය.

වසර හතරක් තිස්සේ ඔහු ස්නානය කර නොමැති අතර හිස කෙස් පවා කපා නොමැත. ඔහු හරි හැටි නින්දක් හෝ ලබා නොමැත.

මිනිස් ඇසුරෙන් වැළකිලා

මුලදී, බාලා කිහිප දෙනෙකු සමග සබඳතා පවත්වා ඇත. නමුත් පසුව මිනිසුන් දුටු විට ඔහු පළා ගොස් වනාන්තරයේ සැඟ වී සිට තිබේ.

ඔහු ජීවත්ව සිට ඇත්තේ වන අලි ගැවසෙන ප්‍රදේශයක ය.

එවැනි පසුබිමක් තුළ ‘කෘසේඩර්ස් ෆෝ ඩිමොක්‍රසි පාර්ටි’ යන දේශපාලන පක්ෂයේ සාමාජිකයින් ඔහුව මුණගැසී ඇති අතර දින තුනක් පුරා පැවති දුෂ්කරතාවලින් පසු ඔහු සමග සබඳතා ගොඩනගා ගෙන ඇත.

නගුලේෂ් පවසන්නේ, බලා ඔවුන් දුටු මුල් අවස්ථාවේ පැන ගොස් සැඟවුණු බව ය.

“අපිට ඔහු ගැන තොරතුරු ලැබුණා. අපි දවස් තුනක් කැලේ බලා ගෙන හිටියා. පළවෙනි දවසේ අපිව දැක්ක ම එයා පැනලා ගියා. අපි දහවල් වන තුරු බලා ගෙන හිටියා. අපි එයාට ‘බාලා’ කියලා ආමන්ත්‍රණය කරලා එයාව දන්නා කෙනෙක් වගේ කතා කළා. අපි කිව්වා ‘මුලතිව් සටන් බිමේ අපි ඔයත් එක්ක හිටියා’ කියලා,” ඔහු පවසයි.

This image has an empty alt attribute; its file name is LTTE_Bala_2.jpg
මඩකලපුව ,පට්ටිපලෙයි ප්‍රදේශයේ තණ්ඩමලෙයි වනාන්තර ප්‍රදේශයේ ගරා වැටුණු පැල්පතක ජීවත්ව සිටියදී ඔහු මුදා ගෙන තිබේ.

කෙසේ වෙතත්, ඊට ප්‍රතිචාර දක්වමින් බාලා ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ, තමා අසලට නොපැමිණෙන ලෙස ය.

“සල්ලි ටිකක් දීලා, බිස්කට් ටිකක් කාලා, පිටවෙලා යන්න කියලා එයා අපිට කිව්වා. ඊට පස්සේ අපි එයාට කාරුණිකව කතා කරලා එයාගේ ළඟට ගියා. ත්‍රස්ත සංවිධානයක හිටපු සාමාජිකයෙක් නිසා කොණ්ඩේ කපලා පිළිවෙලක් වෙන්න ඕනේ කියල අපි එයාට කිව්වා. අපි කිව්වා එයාගේ ප්‍රශ්න අපි විසඳලා දෙන්නම් කියලා. ඒත් එයා ඒක ප්‍රතික්ෂේප කරලා කිව්වේ, ප්‍රශ්න නෑ කියලා. දවස් තුනකට විතර පස්සේ එයත් එක්ක නිසි සන්නිවේදනයක් ගොඩනගා ගන්න අපිට පුළුවන් වුණා. අපි එයාට කතා කළොත්, එයා අපි ළඟට ඒවි,” නගුලේෂ් පැවසීය.

පුනරුත්ථාපන පියවර

පසුව එම කණ්ඩායම සෞඛ්‍ය නිලධාරීන්ට දැනුම් දී ගිලන් රථයක් කැඳවා බාලා මඩකලපුව දිස්ත්‍රික්කයේ, එරාවුර් ප්‍රදේශයේ පිහිටි රෝහලකට ඇතුළත් කර ඇත.

නගුලේෂ් පවසන්නේ, බාලා ඔහුගේ පාක්ෂිකයෙකුගේ අධීක්ෂණය යටතේ සිටි බව ත් ඔහුගේ සෞඛ්‍යය යහපත් අතට හැරෙමින් තිබූ බව ත් ය.

ඇතැමෙකු බාලා පිළිබඳ නොමග යවනසුලු වීඩියෝ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කළ බව ත්, ඒ හරහා මුදල් එකතු කිරීමට උත්සහ කළ බව ත් නගුලේෂ් පවසයි.

එන්. නගුලේෂ් පවසන්නේ බාලා ඔහුගේ පවුලේ අය විසින් අතහැර දමනු ලැබ ඇති අතර මානසික ව්‍යාකූලත්වයට පත්ව සිටි බව ය.

බාලාට සුවය ලබා ගැනීමට, පුනරුත්ථාපනය වීමට සහ සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට ජනතාවගේ උදව් ලැබිය යුතු බව ඔහු අපේක්ෂා කරයි.

මූලාශ්‍රය – බීබීසී සිංහල

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved