Connect with us

පුවත්

“ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්න”

Published

on

ජනාධිපතිවරයා සමඟ ශ්‍රී ලංකා රේගුව සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම් ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවත්විණි.

එහිදී, ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය ඉදිරි දින හතර තුළ අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

ශ්‍රී ලංකා රේගුව ඇතුළු රාජ්‍ය අංශයේ පවතින ගැටලු සහ වරාය ආශ්‍රිත සේවා සපයන සංගම්වල ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.එමෙන්ම, වරාය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වන නමුත් මෙම අවස්ථාවේදී පවතින තත්ත්වය නිරාකරණය සඳහා සියලුදෙනා එක්ව ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ.

ජනාධිපති උපදෙස් පරිදි මෙම අවස්ථාවේදී උද්ගතව ඇති තත්ත්වය සමනය කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික යන අංශ දෙක අතරම එකඟතාවයන් ඇති කර ගන්නා ලදී.ආනයනික බහාලුම් නිෂ්කාශන ක්‍රියාවලිය කඩිනම් කරමින් පවතින තත්ත්වය නිරාකරණය සඳහා ශ්‍රී ලංකා රේගු නිලධාරීන් සතියේ දින 07 ම පැය 24ම රාජකාරි කිරීමට එකඟතාවය පලකර ඇත.

පර්යේෂණ මට්ටමේ තිබෙන බහාලුම් රඳවා ගැනීම සඳහා කඩිනම් පියවරක් ලෙස UCT (Unity container Terminal) හි ඉඩකඩ වෙන් කිරීමට අමාත්‍යාංශ තීරණය කර ඇත.ඒ අනුව බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේ තිබෙන අක්කර පහක භූමි ප්‍රමාණය භාවිතා කිරීමට මෙහිදී තීරණය කරන තිබේ.ඉන් අක්කර දෙකක ප්‍රමාණයක් ජනවාරි 31 වන දා වන විට නිදහස් කර ගැනීමටත් ඉතිරි භූමි ප්‍රමාණය පෙබරවාරි 28 වනදා වන විට ලබා දීමටත් තීරණය විය.

හිතා මතා බහාලුම් ප්‍රවාහනය ප්‍රමාද කරන බහාලුම් රථ වරාය පර්යන්තයේ නැවත්වීම මෙම තද බදය උග්‍ර වීමට හේතුවක් ලෙස හඳුනා ගැනීම නිසා මෙම බහාලුම් රථ  නවතා තැබීම සඳහා පෑලියගොඩ ප්‍රදේශයෙන් ඉඩමක් ලබාදීමට රජය පාර්ශ්වයෙන් එකඟ වී ඇත.

ආනයනික බහාලුම් නිෂ්කාශනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ හා ශාක නිරෝධායන අංශයේ සිදුවන ප්‍රමාදයන් පිළිබඳව ද මෙම සාකච්ඡාවේදී අවධානයට ලක් විය.එහිදී මෙම ආයතන සතුව සේවක හිඟයක් ඇති බව සාකච්ඡාවට බඳුන් වූ අතර එම පුරප්පාඩු පිරවීමටත් අදාළ නිලධාරීන්ගේ සුබසාධන දීමනා වැඩිකිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත.

මීට අදාළ මූල්‍ය අවශ්‍යතාවයන් තිබේ නම් එය වරාය අමාත්‍යංශයෙන් ලබා දිය හැකි බව ප්‍රවාහන හා මහාමාර්ග,  වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.ආනයනික බහාලුම් නිෂ්කාශනය සඳහා වේලාවට රාජකාරියට වාර්තා නොකරන වෝහාරික ලිපිකරුවන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද පෞද්ගලික  සංගම් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.තවද මෙම සේවකයන් නිවැරදි වෙලාවට සේවයට වාර්තා කිරීමේ වගකීම අදාළ පෞද්ගලික ආයතන සතු වන බවද විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතා එහිදී අවධාරණය කර තිබේ.

ආහාර ආශ්‍රිත නිෂ්පාදන වලට අදාළව විදේශ රසායනාගාරවලින් පරීක්ෂා කර ලබාගත් සහතිකය අනිවාර්යයෙන් තිබිය යුතු බවද එහි අක්‍රමිකතාවක් වුවහොත් ඒ සඳහා රජයේ නීතියට අනුව කටයුතු කරන බවටද ආනයනකරුවන් මෙහි දී එකඟ වී ඇත.වරාය පරිශ්‍රය තුළ බහාලුම් නිෂ්කාශනය සඳහා ගාස්තු රහිතව තබා ගැනීමේ කාලය දින දෙකක් දක්වා අඩුකිරීමට තීරණය කරන ලද අතර එය ලබන ජුනි මාසයෙන් පසුව දින එකක් දක්වා අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

මෙම හදිසි ක්‍රියාවලිය ජුනි 30 දක්වා ඉදිරියටත් කරගෙන යාමට කටයුතු කරන බවත් වරාය, රේගුව සහ අනෙකුත් වරාය ආශ්‍රිත සේවා සපයන පෞද්ගලික සමාගම් එක පවුලක් ලෙස ක්‍රියා කළ යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත.දැනට  මාර්ගයේ නවතා ඇති බහාලුම් රථ සඳහා පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස සාකච්ඡාවය පැමිණි වරාය සේවා සපයන සංගම් විසින් ඉල්ලීමක් කරන ලදී.

පුවත්

ජනපති සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Published

on

By

අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ඇගැයුමට.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී අද (03) පෙරවරුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්  ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති  බව සඳහන් කළ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  දැනුම්වත් කළේය.

පසුගිය සමයේ සමුද්‍රීය ආරක්ෂණය, නීති විරෝධී වෙළඳාම, මිනිස් ජාවාරම් , ත්‍රස්තවාදය හා ආයුධ වෙළඳාම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ලබා දුන් සහාය ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.

සංචාරක, අයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව ඉතා සුරක්ෂිත රටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ අතර පවතින වසර 70 ක ආර්ථික සහ දේශපාලන සබඳතා පිළිබඳ සිහිපත් කළ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  ශ්‍රී ලංකාවේ රජය සමඟ සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ප්‍රසංශාවට ලක් කරන බව ද වෙළඳ, ආර්ථික,දේශපාලනික, සංචාරක හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවද රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  මෙහිදී  සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens), ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  ලේකම් ග්‍රෙගරි ලෝරන්ස් මොරියාටි (Gregory Laurence Moriarty), නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සයිමන් එරික් ඔ’කොනර් ( Simon Eric O’Connor), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් (Lalita Kapur) යන මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved