Connect with us

පුවත්

ආයුධ පෙන්වන්න යද්දී වීඩියෝ කළයුතු බවට නියෝගයක්!

Published

on

පොලිස් අත්අඩංගුවට පත්වන සැකකරුවන් ආයුධ පෙන්වීම වැනි විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන යන අවස්ථාවලදී පලා යාමට තැත් කළේ යැයි වෙඩි තබා මරණයට පත් වීමේ සිද්ධීන් අවම කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් පොලිස්පතිවරයා සකස් කර අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි නීතිපතිවරයා විසින් ඊයේ (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

මීට පෙර අධිකරණය විසින් නිකුත් කළ නොතීසියක් මත පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා ඊයේ (03) අධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී පොලිස්පතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා මෙම දැනුම්දීම සිදු කළේය.

අනතුරුව ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු බුවනෙක අලුවිහාරේ පොලිස්පතිවරයා අමතා කියා සිටියේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහාත්, පොලිසිය කෙරෙහි පවතින විශ්වාසය ආරක්ෂා කිරීම සඳහාත් අධිකරණය මෙවැනි මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝග නිකුත් කළ බවයි. 

අදාළ මාර්ගෝපදේශ මාලාව සකස් කර අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ස්තුතිය පළ කළ විනිසුරුවරයා එය ඵලදායි ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් හා නියෝග නිලධාරීන් වෙත නිකුත් කරන ලෙසත් පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.

පොලිස්පතිවරයා විසින් සකස් කොට අධිකරණයට ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ මාලාවේ පහත කරුණු සඳහන් වේ.

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුගේ ජීවිතය ආරක්ෂා කිරීම පොලිස් නිලධාරින්ගේ ප්‍රමුඛ වගකීමක් විය යුතු අතර ස්වාභාවික අසනීපයක් වැනි අවස්ථාවලදී පවා ඔවුන්ගෙන් තොරතුරු විමසා රෝහල්ගතකර අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළ යුතුවේ. 

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්, මත්ද්‍රව්‍ය, මිනීමැරුම්, ත්‍රස්තවාදී කටයුතු වැනි භයානක අපරාධ සිද්ධින් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් රඳවා තැබීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් දැක්විය යුතු බවත් එම මාර්ගෝපදේශවල සඳහන් වේ.

එවැනි සැකකරුවන් අත්අඩංගුවේ සිටින අවස්ථාවලදී ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ස්ථානාධිපතිවරු වගබලා ගත යුතු අතර සෑම පැය භාගයකට වරක්ම සැකකරු පිළිබඳව පරීක්ෂාකර උප සේවා නිලධාරියා විසින් ඒ පිළිබඳව සටහන් යෙදිය යුතුවේ. 

එවැනි සැකකරුවකු පිටතට රැගෙන යාමට අවශ්‍ය අවස්ථාවේදී ඒ පිළිබඳව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරිවරයා දැනුවත් කර ඊට අවශ්‍ය උපදෙස් ලබාගත යුතුය.

අවශ්‍ය කරුණකදී හැර සැකකරුවන් පිටතට රැගෙන නොයාමට වගබලා ගත යුතු අතර එසේ පිටතට රැගෙන යන්නේ නම් ඒ පිළිබඳව නිශ්චිත සටහන් යෙදිය යුතු බවත් අවි ආයුධ උදුරා ගැනීමට තැත් කිරීමේ සිද්ධීන් හා සැකකරුවන් පැන යාම වැළැක්වීමට උපරිම ක්‍රියාමාර්ග ගත යුතු අතර එසේ කිරීමට නොහැකි වන පරිදි අදාළ සැකකරු සුදුසු වාහනයක් තුළ සුදුසු ස්ථානයක ස්ථානගත කිරීමටද වග බලා ගත යුතු බවත් එහි සඳහන් වේ.

ගිනි අවි සහ අත්බෝම්බ සඟවා ඇති ස්ථානවලට සැකකරුවන් රැගෙන යන අවස්ථාවලදී අත් විලංගු ලා රැගෙන යාමට නිලධාරින් වගබලා ගත යුතු අතර සැකකරුගේ මගපෙන්වීම මත නිලධාරින් විසින් අදාළ සෝදිසිය සහ පරික්ෂාව සැකකරු ඉදිරියේ සිදු කළ යුතු බව අදාළ මාර්ග උපදේශවල සඳහන් කර ඇත. 

එවැනි සෑම අවස්ථාවකදීම වීඩියෝගත කිරීමට නිලධාරින් වගබලා ගත යුතු අතර එවැනි වීඩියෝ දර්ශන සැකකරුවකුට එරෙහිව සාක්ෂියක් වශයෙන්ද යොදා ගැනීමට හැකියාව පවතින අතර යම් සිදුවීමක් ඇති වුණ හොත් එහි විනිවිද භාවය ආරක්ෂා කිරීමටත් එය වැදගත් වන බවත් අදාළ මාර්ගෝපදේශවලින් පෙන්වා දී තිබේ.

කිසිදු අවස්ථාවක සැකකරුවකු කායිකව හෝ මානසිකව වධහිංසනයට භාජනය නොවීමට වගබලා ගත යුතු අතර පාපොච්චාරණයන් ලබා ගැනීම සඳහා තර්ජනය කිරීම, පෙලඹවීම් හා පොරොන්දු ලබා දීම වැනි ක්‍රියා නොකිරීමට වග බලා ගත යුතුය. සැකකරුගේ ළඟම ඥාතීන්ට හා නීතිඥවරයාට අවශ්‍ය අවස්ථාවලදී ඔහු හමුවීමට ප්‍රවේශය ලබා දීමට කටයුතු කළ යුතු බව එහි සඳහන් වේ.

එමෙන්ම පොලිස් විමර්ශනවලට බාධා නොවන පරිදි ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට උපරිම සහාය ලබා දිය යුතු බවත් එම මාර්ගෝපදේශවල වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ඊට අමතරව අත්අඩංගුවට පත් සැකකරුවකු මියගිය අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයද අදාළ මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත් කර තිබේ.

ඒ අනුව අත්අඩංගුවේදී යම් පුද්ගලයකු මියගිය අවස්ථාවක ඒ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර මහෙස්ත්‍රාත් පරීක්ෂණයකට ලක් කළ යුතු බව එහි සඳහන් වේ. 

පොලිස් අත්අඩංගුවේදී සැකකරුවකු මියගිය අවස්ථාවක ඊට අදාළ විමර්ශනය අවස්ථානුකූලව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති, පළාත භාර නියෝජ්‍ය පොලිස්පති හෝ කොට්ඨාසය භාර අධික්ෂණ නිලධාරියාගේ අධීක්ෂණය යටතේ විමර්ශනය සිදු කළ යුතුය.

එවැනි විමර්ශනයක් සිද්ධිය වූ පොලිස් ස්ථානයෙන් පරිබාහිර වෙනත් පොලිස් ස්ථානයක නිලධාරින් යොදවා සිදුකළ යුතු අතර මෙවැනි සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුගේ ළඟම ඥාතීන්ගෙන් හා බාහිර පාර්ශ්වයන්ගෙන් හැකිතාක් ස්වාධීනව සාක්ෂි සටහන් කරගැනීම වැදගත් වන බවත් එම මාර්ගෝපදේශ තුළින් අවධාරණය කර තිබේ.

එවැනි සිදුවීමකදී යම් නිලධාරියකුගේ රාජකාරිය පැහැර හැරීමක් වැනි කරුණක් අනාවරණය වූවොත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කටයුතු කළ යුතු අතර එවැනි අවස්ථාවක අදාළ සිද්ධිය පිළිබඳව පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු තමන් යටතේ තිබෙන විශේෂ විමර්ශන ඒකකය මගින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතුය.

සිද්ධියේ සංකීර්ණභාවය මත අදාළ විමර්ශනය පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ යුතු බවට පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරුන් තීරණය කරන අවස්ථාවක අදාළ විමර්ශනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිර්දේශයද සහිතව පොලිස්පතිවරයා වෙත යොමු කළ යුතු බවත් එහි සඳහන් වේ.

මින් ඉදිරියට පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පිටතට විමර්ශන කටයුතු සඳහා රැගෙන යාමේදී මෙම උපදෙස් මාලාව අනුව කටයුතු කිරීමට නිලධාරින් වගබලා ගත යුතු බවත් මෙම උපදෙස්වලට පටහැනිව යම් නිලධාරියකු කටයුතු කර ඇති බවට අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් පොලිස්පතිවරයා විසින් දිවයිනේ සියලු පොලිස් ස්ථානවලට නිකුත් කර තිබෙන මෙම මාර්ගෝපදේශ මාලාව තුළන් වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

2008 වසරේ කොම්පඤ්ඤ වීදිය පොලිස් අත්අඩංගුවේ සිටි මොහොමඩ් ඉර්ෆාන් නමැති සැකකරුවකු විමර්ශන කටයුතු සඳහා පිටතට රැගෙන ගිය අවස්ථාවේදී පලා යාමට තැත් කළේ යැයි වෙඩි තබා ඝාතනය කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ වන ෆාතිමා ෂර්මිලා විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි සිදුවීම් අනාගතයේ දී ඇතිවීම වැළැක්වීම සඳහා මාර්ගඋපදේශ මාලාවක් සකස් කර මාර්තු මස 24 වනදා අධිකරණය හමුවේ ගොනුකරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කර තිබිණි. 

එහෙත් අදාළ පෙත්සම මාර්තු මස 24 වැනිදා කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ මාර්ගෝපදේශ මාලාව අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.

ඒ අනුව අදාළ මාර්ගෝපදේශ මාලාව ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා එදින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබිණි.

ඒ අනුව පොලිස්පතිවරයා ඊයේ දින අධිකරණය හමුවේ පෙනී සිටිමින් අදාළ මාර්ගඋපදේශ මාලාව අධිකරණයට භාරදී ඇති බව දැනුම් දුන්නේය.

මූගාශ්‍රය – අරුණ

පුවත්

ඉෂාක්ට ජනපති අරමුදලින් මිලියනයක්!

Published

on

By

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාගේ සුවදුක් විමසීම සඳහා කොලොන්නාවේ පිහිටි ඒ මහතාගේ නිවෙසට ගොස් තිබිණි.

එහිදී ඉෂාක් බෙග් මහතාගේ ප්‍රතිකාර සඳහා ජනාධිපති අරමුදලින් ලබා දීමට පොරොන්දු වූ රුපියල් 1,000,000 ක චෙක් පත ද ඒ මහතා වෙත පිරි නැමීම මෙහිදී සිදු විය.

Continue Reading

පුවත්

එක් ධීවර මළ සිරුරක් හමු වෙයි

Published

on

By

තංගල්ල පරවිවැල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී බහුදින ධීවර යාත්‍රාවක් පෙරලීමෙන් අතුරුදන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් එක් ධීවරයෙකුගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ගුවන් හමුදාවේ ද සහය ඇතිව නාවික හමුදාව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී අදාළ ධීවරයාගේ මළ සිරුර සොයාගත් බව නාවික හමුදාව සඳහන් කළේය.

ධීවරයින් 6 දෙනෙකු රැගත් “මැක්සිම් පුතා 1 “ නැමැති එම යාත්‍රාව ධීවර කටයුතු සඳහා ගොස් යලි ගොබිමට පැමිණෙමින් තිබියදී අනතුරට ලක්ව තිබුණි.

අනතුර සිදුවන අවස්ථාවේ යාත්‍රාවේ ධීවරයින් හය දෙනෙකු සිට තිබු අතර ඉන් සිව්දෙනෙකු ඩිංගි බෝට්ටුවක් ආධාරයෙන් දිවි බේරාගෙන තිබේ.

අනතුරෙන් අතුරුදන් වු අනෙක් ධීවරයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

නොවුඩ් ජාතික ජන බලවේගයේ සභිකයන් 6 ක් ස්වාධීන වෙයි

Published

on

By

දමිළ ප්‍රගතිශීලි සභිකයන් 5 දෙනකුගේ සහයෝගයෙන් නෝවුර්ඩ් ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරිපත් වූ ජාතික ජන බලවේගයේ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතාට එම ධූරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් දෙන ලෙස එම පක්‍ෂය දැනුම්දීමට විරෝධය දක්වමින් එම සභාවේ ජාතික ජන බලවේගයේ එම පක්‍ෂයේ සභිකයන් 6 දෙනාම ස්වාධීන මන්ත්‍රීවරු ලෙස කටයුතු කිරිමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ජාතික ජන බලවේගයේ පක්ෂයේ නුවරඑළියේ ප්‍රධානියකුගේ තර්ජන සහ බලපෑම් හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සභිකයෝ පැවසූහ.

සභාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව එම පක්ෂයේ අනෙකුත් සභිකයන්ට ජාතික ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් කණ්ඩායම් නායක මංජුල සුරවීරආරච්චි මහතා එදින ඔවුන්ට දැඩි විරෝධය පාමින් පක්‍ෂයේ උපදෙස්වලට පටහැනිව කටයුතු කිරිමට කිසිදු බලයක් ඔවුන්ට නොමැති බවත් එම සභාවේ සභාපතිධූරය ලංකා කම්කරු කොංග්‍රසයේ යෝජනා කරන සභිකයාට සහ උප සභාපතිධූරය තම පක්ෂයට ගැනිමට එකගතාවය පළකළ සිටියදි විපක්ෂයේ සභිකයන්ගේ සහයෝගය ඇතිව සභාපතිධූරය ගැනීම පක්ෂයේ විනයට පටහැනි බවත් ඔවුහු කියති.

එම සභාවට සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සදහා නම් දෙකක් ඉදිරිපත් වී ඇති නිසා සභාපතිවරයා තෝරා පත්කර ගැනිමට පැවති විවෘත ඡන්දයේදි ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත්වූ ජොහන්ස් ෆ්‍රැන්සිස් ඇලන් මහතා විවෘත ඡන්ද 12 කින් තේරී පත් වු අතර ලංකා කම්කරු කොංග්‍රසයෙන් සභාපති ධූරය සදහා ඉදිරිපත් වූ කනපති කුලන්දවේල් රවී මහතාට ඡන්ද 07ක් ලැබුණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved