Connect with us

පුවත්

” ආරක්ෂාව ඉල්ලන මන්ත්‍රී යෝජනා සලකා බැලීමට  ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකරනවා”

Published

on

තමන්ට ආරක්ෂාව අවශ්‍යයයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරයන්ගේ එම යෝජනාව සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සිලයට යොමුකිරීමට කටයුතු කරන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේය.

දැනට  ආරක්ෂාව සම්බන්ධ අවසන් තක්සේරු වාර්තා ලැබී ඇති  මන්ත්‍රීවරයන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීමට කටයුතු කර තිබෙන බවද  වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

වැඩබලන පොලිස්පතිවරයා මේ අදහස් පළකලේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩබලන පොලිස්පති හා ඇමති ආරක්ෂක කොට්ඨාස අධ්‍යක්ෂවරයා ඇතුළු අදාළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2025.05.23 පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති සාකච්ඡාවකදී ය.

ඒ මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු 2025.05.20 දින  කථානායකතුමා හමුවී පැවති සාකච්ඡාවකදී තමන්ගේ ආරක්ෂක ගැටලු ඉදිරිපත්කිරීමට සාකච්ඡාවක් ලබාදෙන ලෙස කළ ඉල්ලීමකට අනුව එදිනම ගරු කථානායකවරයා, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සමග සිදුකල සාකච්ඡාවකින් අනතුරුවය.

ඒ අනුව මෙහිදී අදහස් දැක්වූ  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මන්ත්‍රීවරයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදුකරන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමන් හට දන්වන්නැයි වැඩබලන පොලිස්පතිවරයාට පැවසුවේය.

රටේ පවතින ආරක්ෂක තත්ත්වය පිළිබඳව ද දැනුවත් කරමින් වැඩබලන පොලිස්පතිවරයා මෑත කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම් කරුවන් අතර සිදුවන ගැටුම් වල ප්‍රතිඵල බවත් එම අපරාධ සඳහා ප්‍රදේශීය දේශපාලනඥයන් සම්බන්ධ බවට හඳුනාගෙන ඇති බවත් අවධාරණය කළේය.

මෙහිදී විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයින් විසින් තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබාගැනීම සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතාවය සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා අදහස් දක්වමින් තමන්ට අවශ්‍ය ආරක්ෂාව ලබාදීම සඳහා පහසුකම් නොමැතිනම් තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දෙන ලෙස යෝජනා කළේය.

මෙහිදී අදහස් දැක්වූ විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඉහළ ප්‍රජාතන්ත්‍ර වාදී ලෂණ පවතින රටක ආරක්ෂාව වෙනුවෙන් ගිනි අවි ලබා දීම සිදු නොවිය යුතු බවත් අදාළ බලධාරීන් විසින් ඒ ඒ පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කලයුතු බව පැවසුවේය.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අදහස් දක්වමින් නවක මන්ත්‍රීවරයන් මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම නිසා ඔවුන්ගේ ජීවිත සඳහා තර්ජන එල්ල විය හැකි බැවින් එම මන්ත්‍රීවරයන් සඳහාද ආරක්ෂාව ලබාදීම යෝග්‍ය බව පැවැසුවේය. තවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ  පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාඅදහස් දක්වමින් ඔවුන්ගේ පක්ෂවල අපරාධවලට සම්බන්ධ දේශපාලනඥයන් සිටීනම් ඔවුන්ගේ තොරතුරු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අදහස් දක්වමින් පැවසුවේ ආරක්ෂක තක්සේරු වාර්තා ලබාගන්නා තෙක් සම්පුර්ණ ආරක්ෂාව ඉවත් නොකර ආරක්ෂාව අවශ්‍යයයි පවසන මන්ත්‍රීවරයන්ට එම ආරක්ෂාව ලබාදීම සුදුසුවන බවත් තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශයන්ට අනුව කටයුතු කල හැකිබවත් පැවැසුහ.

මේ රැස්වීම සඳහා විරුද්ධ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස, විරුද්ධ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විපක්ෂය පක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයින්, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, ඇමති ආරක්ෂක කොට්ඨාශයේ අධ්‍යක්ෂක සහආරක්ෂක අංශවල නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

පුවත්

රථවාහන දඩ ඔන්ලයින් ගෙවන ක්‍රමවේදයකට කැබිනට් අනුමැතිය

Published

on

By

රථවාහන දඩ මුදල් මාර්ගගත ක්‍රමයක් ඔස්සේ ගෙවීමේ වැඩසටහන ඉදිරියේදී රට පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව රථවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යංශ බිමල් රත්නායක මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන සඳහා ආසන පටි පැළඳීම සම්බන්ධව දැනුවත් කිරීම සඳහා කොට්ටාව අධිවේගී පිවිසුම අසල පැවැත්වූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පවසා තිබේ :

“දැන් දඩේ ගෙවන්නත් ලේසි කරලා තියෙන්නේ. අද කැබිනට් මණ්ඩලය අනුමත කළා…  දැනට තියෙන්නේ කුරුණෑගල  ඉඳලා අනුරාධපුරය දක්වා විතරයි දඩ ගෙවීම ෆෝන් එකෙන්. අපි දැන් ලංකාවේ පොලීසි ඔක්කොටම ෆෝන් අරන් දෙනවා. මේ අවුරුද්දේ ඉඳලා දඩෙත් ඕන තැනක ඉඳලා ගෙවන්න පුළුවන්. දඩ ගෙවන්නේ නැතිව සීට් බෙල්ට් දාලා පරිස්සම් වෙලා යමු කියලා තමයි අපි කියන්නේ. අපේ තේමාව තියන්නෙම පරිස්සමින් ගිහින් එන්න කියලා තමයි.”

Continue Reading

පුවත්

ප්‍රබල ඉන්දීය ව්‍යාපාරිකයන් 20ක් ජනපති හමුවේ (ඡායා)

Published

on

By

ශ්‍රී ලංකාවේ බලශක්ති, යටිතල පහසුකම්, ඩිජිටල් ආර්ථිකය, සංචාරක, කෘෂිකර්මාන්ත යන ක්ෂේත්‍රවල මෙන්ම ව්‍යවසායකයන්ගේ ධාරිතා වර්ධනයට අදාළ නව ආයෝජන අවස්ථා පිළිබඳව තම අවධානය යොමු ව තිබෙන බව ඉන්දියානු ව්‍යවසායකයෝ පවසති.

පවතින ආයෝජන අවස්ථා තවදුරටත් වර්ධනය කර ගැනීම සහ නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමේ අරමුණින් ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) සම්බන්ධීකරණයෙන් ඉන්දියාවේ ප්‍රකට සමාගම් රැසක ප්‍රධානීහු ඇතුළු ඉන්දියානු ව්‍යවසායකයින් 20 දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් මෙරට ක්‍රියාකාරී වැඩසටහනක් සඳහා එක්ව සිටී. එම කණ්ඩායම අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළේය.

ජනාධිපති  අනුර කුමාර දිසානායක මහතා පසුගිය ඉන්දීය නිල සංචාරයේදී කරන ලද ආරාධනය අනුව මෙම කණ්ඩායම මෙරටට පැමිණ සිටින අතර, ඔවුන් විසින් මෙරට මැති ඇමතිවරු කිහිප දෙනකු සමඟ මෙන්ම ශ්‍රි ලංකා ආයෝජන මණ්ඩලය ආදී ප්‍රමුඛ පෙළේ රාජ්‍ය ආයතන සමඟද සාකච්ඡා පවත්වා තිබේ.   

ශ්‍රී ලංකාව තුළ ඇතිව තිබෙන ආර්ථික ස්ථාවරත්වය සමඟ ආයෝජකයින්ට වඩා සුදුසු පසුබිමක් රට තුළ නිර්මාණය වී තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සඳහන් කළේය.

රට තුළ පවතින යහපත් ආර්ථික තත්ත්වය සහ ආයෝජන හිතකර පසුබිම නිර්මාණය කිරීමට රජය ගෙන ඇති පියවර පිළිබඳව මෙහිදී ඉන්දීය ව්‍යවසායකයින් දැනුවත් කළ ජනාධිපතිවරයා මහා පරිමාණ ආයෝජන සහ ඒවා පවත්වාගෙන යාමට අවශ්‍ය නෛතික පසුබිම මෙන්ම ආයතනික පද්ධතියද ශක්තිමත් කර තිබෙන බවත්, ආයෝජනවලදී මෙතෙක් සිදු වූ නාස්තිය සහ දූෂණය වැළැක්වීමට වත්මන් රජය යටතේ කටයුතු කර තිබෙන බවත් සඳහන් කළේය. 

විශේෂයෙන් කලාපීය ආයෝජකයන් පහසුවෙන් ගෙන්වා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට  විශේෂ අවධානයක් යොමු කර තිබෙන බවද පැවසූ ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්ෂේත්‍ර රැසක නව ව්‍යාපාරික අවස්ථා සඳහා ඉඩකඩ විවර වි පවතින බවද පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක් ව ඇති බව මෙහිදී  පැවසූ ඉන්දීය ව්‍යවසායකයෝ ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපතිවරයා සිදු කළ පැහැදිළි කිරීම අගය කරමින්, එයින් තමන් තුළ දිරි ගැන්වීමක් මෙන්ම නව බලාපොරොත්තුවක් ඇති වූ බව පැවසූහ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරු සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා ඇතුළු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීහුද,  ඉන්දියානු කර්මාන්ත සම්මේලනයේ (CII) හිටපු සභාපති  හා ITC ලිමිටඩ්හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ සංජිව් පූරි මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ ඉන්දියානු සමාගම් රැසක ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

පුවත්

බස් ගාස්තු 0.55%කින් අඩු වෙයි

Published

on

By

එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස් ගාස්තුව 0.55%කින් අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ජූලි මස 04 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇත.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පැවසුවේ 2025 වසරේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය 2.5%කින් අඩු වන බව නිරීක්ෂණය වූ නමුත් ඉන්ධන මිල සූත්‍රය අනුව මාසික ඉන්ධන මිල සංශෝධනය සිදුවූ බැවින් ඉන්ධන මිල ගැලපීමෙන් පසුව නව බස්ගාස්තු සංශෝධනය 0.55%කින් අඩු කිරීමට තීරණය කළ බවයි.

අවම ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන බවද එම කොමිෂන් සභාව පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved