Connect with us

පුවත්

ආරුගම්බේ සිද්ධියේ සුළමුළ

Published

on

විදේශීය සංචාරකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශය පිළිබඳව දැඩි කතා බහක් ඇති වූයේ, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන්ට එහි සංචාරය කිරීමෙන් වළකින ලෙස නිකුත් කරන ලද සංචාරක මාර්ගෝපදේශයත් සමගයි.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ පිහිටි බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු තවත් විදෙස් තානාපති කාර්යාල කිහිපයක් ශ්‍රී ලංකාවේ සංචාරයේ නිරත වන සිය පුරවැසියන්ට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙස දැනුම් දීමට පියවර ගත්තේ ය.

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත් හේරත් අද (ඔක්:24) වැනිදා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසුවේ ආරුගම්බේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ, ආරුගම්බේ ආරක්ෂක තර්ජනය ගැන වාර්තා වීමෙන් පසු මෙතෙක් සිදුවූ තොරතුරු පිළිබඳව කෙරෙන විමසා බැලීමකි.

ආරුගම්බේ වෙරළ තීරය අද පැවති තත්ත්වයඅත්අඩංගුවට ගනු ලැබූවන් ගැන හෙළිවූ තොරතුරු

මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින් ඉලක්ක කරමින් යම් කැළඹිලි සහගත තත්ත්වයක් ඇති කිරීමේ සුදානමක් පවතින බවට ලද බුද්ධි තොරතුරු අනුව මේ වන විට සැකපිට පුද්ගලයින් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂාව භාර අමාත්‍ය විජිත හේරත් (ඔක්:24) පැවසුවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ එලෙස අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් තිදෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් පවතින බවයි.

“මොන වගේ ප්‍රහාරයක් එල්ල කරයිද කියලා තොරතුරු ලැබුනේ නැහැ. නමුත් ඊශ්‍රායල් ජාතිකයින් ඒකරාශි වන ස්ථානවල යම් ආකාරයේ කැළඹීමක් ඇති කරන්න සුදානමක් තියෙනවා කියලයි මේ තොරතුරු ලැබුණේ. අත්අඩංගුවට ගනු ලැබූ අයට රුපියල් ලක්ෂ 50 බැගින් ගෙවා තියෙනවා කියන කතා ඇත්ත නෙමෙයි. අත්අඩංගුවට ගනු ලැබූ මේ අය විදේශික ජාතිකයින් නෙමෙයි.”

”ඒ වගේම අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් සතුව ගිනි අවි හෝ පුපුරණ ද්‍රව්‍ය ළඟ තිබිලා නැහැ. ඔවුන් යම් සංවිධානවල මූලිකයෝ විදිහට ඉන්නවා කියලා තොරතුරක් තවම වාර්තා වෙලා නැහැ. ඒ ගැන පරීක්ෂණ සිදුකරගෙන යනවා. ඔවුන් තවම වරදකරුවන් නෙමෙයි. ඒ වගේම මේ ලැබුණු බුද්ධි තොරතුරු ගැනත් අපි සොයා බැලීමට කටයුතු කරනවා. ” අමාත්‍යවරයා පැවසුවේය.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව බීබීසී සිංහල වෙත පැවසුවේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් කරන බවය.


”ඒ වගේම අත්අඩංගුවට ගනු ලැබූ පිරිස් සතුව ගිනි අවි හෝ පුපුරණ ද්‍රව්‍ය ළඟ තිබිලා නැහැ. ඔවුන් යම් සංවිධානවල මූලිකයෝ විදිහට ඉන්නවා කියලා තොරතුරක් තවම වාර්තා වෙලා නැහැ. ඒ ගැන පරීක්ෂණ සිදුකරගෙන යනවා.”ජනතාව කල් තියා දැනුවත් නොකළ හේතුව

ලද බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් කල් තියා ජනතාව දැනුවත් නොකළේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ද මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මෙලෙස කරුණු පැහැදිළි කරන ලදී.

“මෙවැනි තත්වයක් ඇතිවෙනවා කියලා අපි ජනතාවට කල් ඇතුව දැනුවත් කළේ නැහැ. මොකද මේ ලැබෙන තොරතුරු තහවුරු කරගත්ත විශ්වසනීය තොරතුරු වෙන්න ඕන නිසා. මේ ගැන අපි දිවා රාත්‍රී කටයුතු කළා. මේ අත්අඩංගුවට ගන්නා ලද පිරිස ඊයේ (ඔක්:23) දිනයට පෙර අත්අඩංගුවට ගනු ලැබූ අයයි.

”සාමාන්‍ය ජනතාවට කියනවා යම් තොරතුරක් තියෙනවනම් ඒ ගැන ලබා දීලා තියෙන දුරකථන අංකයට දැනුම් දෙන්න කියලා. ජනතාවට කියනවා විවිධ කටකතා පතුරුවන්න එපා. අපි කෙටි දින කිහිපයකින් මේ තත්ත්වය සාමාන්‍ය මට්ටමට ගෙන එනවා.”ඔහු කියා සිටියේය.’ඒක කරන්න කලින් තානාපතිතුමිය අපිට කතා කළා’

සංචාරකයින්ට ශ්‍රී ලංකාව තුළ නිදහසේ තම කටයුතු කරගෙන යෑමට හැකි වාතාවරණයක් මේ වන විට රට තුළ පවතින අතර ඒ ගැන කිසිදු බියක් ඇති කර ගත යුතු නොමැති බව ද අමාත්‍ය විජිත හේරත් පැවසීය.

මේ වන විට විදේශ තානාපති කාර්යාල විසින් ආරුගම්බේ ප්‍රදේශයට පමණක් සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස පනවා ඇති අවවාදාත්මක නිවේදනය ඉදිරි දින වලදී ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව පැවසූ අමාත්‍යවරයා, රජය අදාළ රාජතාන්ත්‍රික පිරිස් සමග මේ වන විටත් සාකච්ජා කරමින් සිටින බව ද පැවසුවේය.

” රාජතාන්ත්‍රික මට්ටමින් අපි කරුණු හුවමාරු කර ගත්තා. ඇමෙරිකාව විසින් නිකුත් කරලා තියෙන්නේ ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම අනතුරුදායකයි කියන අවවාදය විතරයි. ඒක කරන්න කලින් තානාපතිතුමිය අපිත් එක්ක කතා කළා. ඒ සන්නිවේදන කටයුතු කරලා තියෙන්නේ.”

”ඒ වගේම අපි දැන් අදාළ රටවල් සමග සාකච්ජා කරනවා අරගෙන තියෙන ආරක්ෂක වැඩපිළිවෙල ගැන දැනුවත් කරන්න. කිසිම රටක් කියලා නැහැ ලංකාවේ සංචාරය කරන්න එපා කියලා. මේ වෙනකොටත් ශ්‍රී ලංකාවට සංචාරකයින් පැමිණෙමින් ඉන්නේ. පෙරේදත් ලංකාවට ඊශ්‍රායල් ජාතිකයින් ආවා.” ඔහු පැවසුවේය.

End of Twitter post, 1’දේශපාලන වාසි ගන්න හදන්න එපාආරුගම්බේ තත්ත්වය පදනම් කර ගනිමින් විවිධ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු නොකරන ලෙස ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.” අපි අවශය පිවරන් අරන් තියෙනවා. විදෙස් බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දුන්නා. මේක අද ඊයේ ඉදලා තිබ්බ තර්ජනයක් නෙමෙයි. මීට කලිනුත් මේ ගැන අනතුරු ඇඟවීම් සිදුකරලා තිබෙනවා. එතන සලේ ද, කවුද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. ඒ අවශ්‍ය කරන පූර්ව ක්‍රියාමාර්ග අරන් තියෙනවා. මේ තත්ත්වය උඩ දේශපාලන වාසි ගන්න එපා.” අමාත්‍යවරයා පැවසීය.

ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීම සම්බන්ධයෙන් මෙරට පිහිටි විදේශ තානාපති කාර්යාල විසින් නිකුත් කළ නිවේදනයන් ගෙන් අනතුරුව එම ප්‍රදේශයේ පිහිටි වෙරළ තීරයේ අද (ඔක්:24) දිස්වන අයුරු’ඒවා තාවකාලික ආගමික ස්ථාන’

ශ්‍රී ලංකාවේ සංචාරය සඳහා පැමිණෙන ඊශ්‍රායල් ජාතිකයින්ට මෙරට තුළ ව්‍යාපාර සහ ආගමික ස්ථාන පවත්වාගෙන යෑමට නීතියෙන් අවසරයක් තිබේ ද යන්න බීබීසී සිංහල අමාත්‍ය විජිත හේරත් ගෙන් ප්‍රශ්න කළේය. ඊට ඔහු ලබා දුන්නේ මෙවැනි පිළිතුරකි.

” ඒවා ස්ථිර ලෙසම පවත්වාගෙන යන ඒවා නෙමෙයි. ඔක්තෝම්බර් මාසයේදී ඔවුන්ගේ ආගමික වශයෙන් විශේෂ දින කිහිපයක් තියෙනවා. ඒ නිසා ඔවුන් පවත්වාගෙන යන එවැනි ස්ථාන කිහිපයක් ගැන තොරතුරු ලැබිලා තියෙනවා. ආරුගම්බේත් ඒ වගේ ස්ථානයක්. ඔවුන් ආගමික වතාවත් කරලා පස්සේ භෝජන සංග්‍රහයක් තියලා විනෝද වෙලා යනවා. ඒවා තාවාකලිකව තියෙන එකක්, ස්ථිරව තියෙන එකක් නෙමෙයි. ඒ තැන් පිළිබඳව තොරතුරු තියෙනවා.”

‘සංචාරක වීසා ඔස්සේ ශ්‍රී ලංකාවට ඇවිල්ලා විවිධ ව්‍යාපාරවල යෙදෙන එක ගැන සිදුවීම් වාර්තා වෙනවා. විශේෂයෙන් චීනයේ ඉඳලා ලංකාවට ඇවිල්ලා නීති විරෝධී කටයුතු කිරීම වගේ සිදුවීම් තියෙනවා. මේවා ආගමන විගමන එකට වාර්තා වෙන්නේ නැහැ. නමුත් අපි ඒවා ගැන විමර්ශන කරනවා.” අමාත්‍යවරයා පැවසුවේය.මෙරට රැඳී සිටින ඊශ්‍රායල් ජාතිකයින් කොපමණ ද?

මේ අතර මෙරට රැඳී සිටි ඊශ්‍රායල් ජාතිකයින් 22 නෙකු ඔක්තෝම්බර් මස 23 වැනිදා රාත්‍රියේදී කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ මෙරටින් පිටත්ව ගොස් තිබේ.

අද(ඔක්තෝම්බර් මස 24 වැනිදා) මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සඳහන් කළේ මෙරට තුළ ඊශ්‍රායල් ජාතිකයින් 575 දෙනෙකු රැඳී සිටින බවට කරුණු තහවුරු වී ඇති බවයි.

(බීබීසී සිංහල)

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved