Connect with us

පුවත්

ආසියාව දෙකඩ කිරීමට විරුද්ධයි – ජනපති

Published

on

ගෝලීය ජනගහනයෙන් 60%කගේ නිවහන ලෙස සහ ගෝලීය වර්ධනයට ප්‍රධාන දායකත්වය සපයන ලෝකයේ විශාලතම ආර්ථිකය ලෙස ආසියාවේ වැදගත්කම පිළිබඳව වික්‍රමසිංහ මහතා අවධාරණය කර ඇත.

ඔහු මේ බව පවසා ඇත්තේ අද (26) දිනයේදී ජපානයේ තෝකියෝ අගනුවරදී පැවති “ආසියාවේ අනාගතය පිළිබඳ 28 වන ජාත්‍යන්තර සමුළුව (Nikkei Forum) අමතා විශේෂ දේශනයක් සිදු කරමිනි.

චීනයේ ප්‍රකෘතිමත්වීම, ඉන්දියාවේ දේශීය ඉල්ලුම සහ ජපානය සහ දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන්හි දායකත්වයේ සහායෙන් කලාපයේ අඛණ්ඩ වර්ධනය සඳහා ඇති හැකියාවද ඔහු අවධාරණය කර ඇත.

අභියෝග 3ක්

ආසියාව මුහුණ දෙනු ලබන ප්‍රධාන අභියෝග තුනක් පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ මානව හිමිකම්, දේශගුණික විපර්යාස සහ වෙළඳ ඒකාබද්ධතාවය ප්‍රධාන අභියෝග වන බව පෙන්වාදුන් ඔහු, ආසියානු රටවල මානව හිමිකම් පිළිබඳ විවිධ දේශපාලන ක්‍රම සහ නිර්වචනවලට ගරු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.

ආසියාවට සැලකිය යුතු තර්ජන එල්ල කරන දේශගුණික විපර්යාස පිළිබඳවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළ අතර, එය කලාපයේ උෂ්ණත්වය ඉහළ යාම, දරුණු කාලගුණික තත්ත්වයන් සහ මුහුදු මට්ටම ඉහළ යාම, ආසියානු රටවල ජීවනෝපාය, ආහාර සුරක්ෂිතතාව සහ අපනයන කෙරෙහි බලපෑම් ඇති කරන බව ද පැවසීය.

මෙම ශතවර්ෂයේ මැද භාගය වනවිට මුහුදු ජල මට්ටම ඉහළයාම ආසියා පැසිෆික් කලාපයේ බිලියනයකට ආසන්න ජනතාවකට බලපානු ඇතැයි ද, දේශගුණික විපර්යාසවලට ගොදුරු වූ රටවල් 15න් 8ක්ම ආසියාවෙන් වීම කණගාටුවට කරුණක් බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

ආසියාවේ ආර්ථික වැදගත්කම

ආසියාව ගෝලීය ආර්ථික බල කේන්ද්‍රය සහ වඩාත්ම ගතික කලාපය බවට පත්ව ඇති බවත්, එහි ආර්ථිකය දැනටමත් යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ ආර්ථිකයන් සමඟ සැසඳිය හැකි බවත් වික්‍රමසිංහ මහතා පෙන්වාදුන්නේය.

ආසියාව දෙකඩ කිරීමේ ප්‍රයත්නයන්ට විරුද්ධයි

සිය දේශනයේදී වෙළඳ ඒකාබද්ධතාව සහ ණය තිරසාරභාවය පිළිබඳව අවධානය යොමු කළ වික්‍රමසිංහ මහතා, ආසියානු රටවල් මුහුණ දෙන අවදානම් පිළිබඳවත්, ලෝක වෙළඳ සංවිධානය සමඟ නීතිරීති පදනම් කරගත් බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳවත් අවධාරණය කරමින් ආර්ථික බලහත්කාරය සහ බෙදීම් ඇතිකිරීම ප්‍රතික්ෂේප කළේය.

එක්සත් ජනපද-චීන එදිරිවාදිකම් සම්බන්ධයෙන්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ මේ බලවත් රාජ්‍යන් දෙකෙන් එකක් තෝරා ගැනීමට ආසියාතික රටවලට බල කිරීමට අවශ්‍ය නොවන බවයි.  එසේම  ආසියාන් රටවල් සහ චීනය අතර ආර්ථික අන්තර් රඳා පැවැත්ම ඉස්මතු කළ ජනාධිපතිවරයා ආසියාව දෙකඩ කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කළේය.

ආසියානු කලාපයට අවශ්‍යව ඇත්තේ ඉන්දු පැසිෆික්,  BRI (එක තීරයක් – එක මාවතක්) සහ ආසියාන් දැක්ම උකාහගත හැකි ආසියාවක් බවද ජනාධිපතිවරයා පැවසීය. BRI යනු ආර්ථිකමය වශයෙන් ආසියානු හා අප්‍රිකානු කලාප තුළ චීනයේ බලපෑම වැඩි කිරීමේ උපාය මාර්ගයක් බවද වික්‍රමසිංහ මහතා පැවසීය. BRI හි සාමාජිකයින් වන අපට චීනය සමඟ කිසිදු ආරක්ෂක විධිවිධානයකට එළැඹ නැති අතර, එවැන්නකට එළැඹීමටද අප අදහස් නොකරන්නෙමු,” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත්  පැවසීය.

ජපානය – චීනය – ඉන්දියාව හා ආසියාන් අතර විවෘත සංවාදයක්

ජනාධිපති වික්‍රමසිංහ මහතා ජපානයේ සහයෝගිතා ප්‍රවේශයට තම සහාය පළ කළ අතර ජපානය, චීනය, ඉන්දියාව සහ ආසියාන් සංවිධානය අතර විවෘත සංවාදයක් ද ඉල්ලා සිටියේය.

එය සාමකාමී සහ සමෘද්ධිමත් ආසියානු කලාපයක් බිහිවීම සඳහා තීරණාත්මක සාධකයක් වන බවද පැවසීය.

අසමගිය දුරු කළ එකම ආසියානු හඬක්

අසමගිය දුරු කළ එකම ආසියානු හඬක් COP 28දී ඉදිරිපත් විය යුතු බවත්, මෙම සමුළුවේ සාර්ථකත්වය රඳා පවතින්නේ ප්‍රධාන ආසියාතික ජාතීන්ට එකඟතාවයකට පැමිණීමට ඇති හැකියාව මත බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

බෙදීම් ප්‍රතික්ෂේප කිරීමටත් ආර්ථික ඔරොත්තුදීම් සහ සුරක්ෂිතතාවය සඳහා උපාය මාර්ග වෙනුවෙන් හිරෝෂිමා හිදී ජී7 නායකයන් ගත් තීරණ පිළිබඳ ශ්‍රී ලංකාව සිය ප්‍රසාදය පළ කර සිටියි.

ඒ අනුව ජනාධිපතිවරයා කියා සිටියේ  ජී7 කණ්ඩායම සංවර්ධනය වෙමින් පවතින රටවල් ඇතුළු ගෝලීය හවුල්කරුවන් සමඟ සංවාදයේ යෙදීමට සහ සහයෝගීතා ප්‍රවේශයක් අනුගමනය කිරීමට තීරණය  කර ඇති බවයි. ඒ සඳහා ලෝක වෙළෙඳ සංවිධානයෙහි නීති-පාදක බහුපාර්ශ්වික වෙළඳ ක්‍රමය අනුගමනය කිරීම සුදුසු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved