Connect with us

පුවත්

මිහින්තලා මැදමළුවේ ඇබැද්දියක් වුනේ ස්වදේශ කටයුතු රාජ්‍ය ඇමතිටයි (Update) 

Published

on

“ඇමති තාරක මිහින්තලා පුදබිමේ මැදමළුවේ මෝටර් රථය දමා පැන ගිහින්” යනුවෙන් ඊයේ (දෙසැම්බර් 25) අප වෙබ් අඩවියේ පලවූයේ වැරදීමකිනි. 

 ඉන් විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාට යම් සිත්තැවුලක් හෝ අපහසුතාවක් ඇතිවූයේ නම් අපි ශ්‍රී ලංකා මිරර් හුදෙක්ම කනගාටු වෙමු. 

 මෙසේ ඊයේ (25) මිහින්තලා පුද බිමේදී ඇබැද්දියකට මුහුණදීමට සිදුව ඇති රාජ්‍ය අමාත්‍යවරයා වන්නේ විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා නොව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය – අශෝක ප්‍රියන්ත මහතාය. 

 කෙසේවුවද, සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්‍ගෙන් ‘ශ්‍රී ලංකා මිරර්’ සිදුකළ විමසීමකදී උන්වහන්සේ පැවසූයේ පොලිසිය ලබාදුන් වැරදි තොරතුරක් මත සිද්ධියට පාදක වූයේ විදේශකටයුතු රාජ්‍ය අමාත්‍යවරයා බව කලින් පැවසූවද, එය ස්වදේශකටයුතු රාජ්‍ය අමත්‍යවරයා ලෙස නිවැරදි විය යුතු බවයි. 

 උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ මිහින්තලා පුදබිමේ ප්‍රධාන පොලිස් මුරපොළ වෙත WP – KU-7910 දරණ රතු පැහැති ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයකින් පැමිණි අයකු තමා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා බව පවසමින් ඔහුගේ මෝටර් රථය බලහත්කාරයෙන් රථ ගාලට ඇතුළු කර ඇති බවයි. 

 ඕනෑම අයකුට මිහින්තලා පුදබිම වන්දනාමාන කිරීමට අවසරයක් අවශ්‍ය නොවෙතත්, ප්‍රභූ පුද්ගලයකු එම පුදබිම වන්දනාමාන කිරීමේදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තමාව පෙර දැනුවත් කළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ. 

 මෙසේ තමන් වහන්සේට ද නොදන්වා බලහත්කාරයෙන් අදාළ මෝටර් රථය රථ ගාලේ නතර කිරීම සම්බන්ධයෙන් තම ගෝල හිමිනමක් තමාට දැනුම් දුන් බවත්, පසුව සිය ගෝල හිමි විසින් ඒ බව ලවුඩ්ස්පීකරයක් ඔස්සේ මුළු පුදබිමටම ඇසෙන සේ නිවේදනයක්ද සිදු කළ බවත් ධම්මරතන හිමියෝ කීහ. 

 එම නිවේදනයෙන් පසුව, මෙම ප්‍රභූ පැමිණීමට විරෝධයක් ලෙස මිහින්තලා පුදබිමේ මැද මළුවේ විදුලි පහන් නිවාදමන ලෙස එහි පැමිණ සිටි බැතිමතුන්ගෙන් ගෝල හිමිනමට ඉල්ලීම් කර ඇති බවත්, උන්වහන්සේ අදාළ ඉල්ලීම්වලට අනුව මැද මළුවේ විදුලි පහන් නිවා දමා ඇති බවත්, ධම්මරතන හිමියෝ වැඩිදුරටත් පැවසූහ. 

 කෙසේවුවද, පසුව ගාල්කළ මෝටර් රථය ළඟට ද බැතිමතුන් ගොස් ඇති බවත්, ඒ වන විට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා යැයි පැවසූ අය පහලට බැසගොස් සිටි බවත්, පසුව මෝටර් රථය පහලට ගොස් ඔහු සමඟ පිටත්ව ගොස් ඇතැයි ද උන්වහන්සේ අප සමඟ කියා සිටියහ.

——————————————-

(පෙර පුවත : 2023 දෙසැම්බර් 25 ප.ව. 9:06)

ඇමති තාරක මිහින්තලා පුදබිමේ මැදමළුවේ මෝටර් රථය දමා පැන ගිහින්

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාට අද (25) මිහින්තලා පුද බිමේදී ඇබැද්දියකට මුහුණදීමට සිදුව ඇතැයි වාර්තා වේ.

අමාත්‍යවරයා මිහින්තලේ විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන හිමියන්ට නොදන්වා අද පස්වරු 5.30ත් – 6.00ත් අතර මිහින්තලේ මැදමළුවට සිය මෝටර් රථය බලහත්කාරයෙන් ඇතුළු කර ඇති අතර එම සිද්ධියත් සමඟ ඔහුට එහි සිටි වන්දනාකරුවන්ගේ විරෝධයක් මතුව තිබේ.

පසුව ජනතාව එහි විහාරවාසී හිමිනමකගෙන් මැද මළුවේ විදුලි පහන් නිවාදමන ලෙස ද ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීමට අනුව ඒ හිමිනම විසින් විදුලියෙන් ක්‍රියාත්මක විදුලි පහන් නිවා දමා ඇති අතර කෙසේවුවද සූර්ය බලයෙන් ක්‍රියාත්මක විදුලි පහන් නිවා දැමීමට නොහැකි බව වන්දනාකරුවන්ට දන්වා තිබේ.

මේ සිද්ධියත් සමඟ මැද මළුවට විහාරාධිපති හිමිට නොදන්වා මෝටර් රථය ඇතුළු කළ තාරක බාලසූරිය රාජ්‍ය අමාත්‍යවරයා මෝටර් රථය ද එහි දමා පහලටම ගමන් කර ඇත.

එසේ පහලට බැසගිය රාජ්‍ය අමාත්‍යවරයා පසුව මැදමළුවේ වූ මෝටර් රථය පහලට ගෙන්වාගෙන විගස එම පුදබිමෙන් පිටව ගොස් ඇත්තේ ජනතාවගේ හූ හඬ මධ්‍යයේ බවද වාර්තා වේ.

කෙසේවුවද, මැද මළුවේ වූ මෝටර් රථය ජනතාව වටකර ගැනීම නිසා එහි සිටි රියැදුරු දැඩි ලෙස බියට පත්ව වෙව්ලමින් සිටි බවද වාර්තා වේ.

පුවත්

ජනාධිපති කාර්යාලයේ  අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ  දෙවන අදියර ඇරඹේ

Published

on

By

ජනාධිපති කාර්යාලයේ  සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන්  ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.

විකිණීමට නියමිත වාහන 1991 සිට 2016 දක්වා වූ විවිධ වර්ෂවල නිෂ්පාදිත වාහන ඇතුළත්ය.

මෙම වාහන අතර බී.එම්.ඩබ්ලිව්. මෝටර් රථ 02ක්, ෆෝර්ඩ් එවරස්ට් ජීප් රථ 02ක්, හුන්ඩායි ටෙරකන් ජීප් රථ 01ක්, ලෑන්ඩ් රෝවර් ජීප් රථ 02ක්, මිට්සුබිෂි මොන්ටේරෝ රථ 01ක්, නිසාන් පෙට්‍රල් රථ 03ක්, නිසාන් වර්ගයේ මෝටර් කාර් 02ක්, පෝර්ෂ් (Porsche) කේයින් මෝටර් රථ 01ක්, ස්සෑන් යං රෙක්ස්ටන් වර්ගයේ ජීප් රථ 05ක්, ලෑන්ඩ් කෘසර් සහරා වර්ගයේ ජීප් රථ 01ක්, වී 08 රථ 06ක්, සහ මිට්සුබිෂි රෝසා වර්ගයේ වායු සමීකරණය කළ බස් රථ 01ක් වේ.

මීට අදාළ ටෙන්ඩර් පත්‍රිකා මැයි 14 වැනිදා දක්වා කාර්යාල දිනයන්හිදී පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා  ජනාධිපති කාර්යාලයේ, සෙමා ගොඩනැගිල්ලේ, 2වන මහලේ පිහිටි මූල්‍ය අංශයෙන් ලබා ගත හැකිය.

එමෙන්ම මැයි 14 වැනිදා දක්වා අංක 93, ජාවත්ත පාරේ පිහිටි සළුසල ආයතන පරිශ්‍රයේදී එම වාහන පරීක්ෂා කිරීමට ද අවස්ථා සලසා ඇත.

ජනාධිපති කාර්යාලයේ අධි සුඛෝපභෝගී වාහන  වෙන්දේසියේ පළමු අදියර යටතේ
මීට පෙර සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අලෙවි කිරීමට අදාළ වෙන්දේසියක් පවත්වනු ලැබීය.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වාහන විකිණීමට තීරණය කර ඇති අතර, පෙර වෙන්දේසියේදී ඩිෆෙන්ඩර් ජීප් රථ 09ක් ඇතුළු විවිධ වර්ගයේ වාහන 15ක් විකුණා තිබේ.

මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩල වෙත ලබා දී තිබූ වාහන නොවන අතර,  හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධූර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  41 (1) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් භාවිතා කළ වාහන වේ.

මේ පිළිබඳව නිකුත් කර ඇති දැන්වීම මේ සමඟ අමුණා ඇත.

Continue Reading

පුවත්

විශ්වවිද්‍යාල සඳහා Online ලියාපදිංචිය අද සිට

Published

on

By

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත Online ක්‍රමයට විශ්වවිද්‍යාලවල ලියාපදිංචි කිරීම අද (09) සිට ආරම්භ වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

https://www.ugc.ac.lk/ යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ සඳහා පහසුකම් සලසා ගත හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කළේය.

එමෙන්ම ලබන 30වනදා මධ්‍යම රාත්‍රි 12.00 දක්වා ලියාපදිංචී වීම සිදු කිරීමට හැකියාව ඇත.

පසුගිය උසස් පෙළ විභාග ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිත පිරිස 43,300ක් බවයි වාර්තා වේ.

Continue Reading

පුවත්

පෙරට්ටුවේදී ඩෑන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගනී

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (09) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති හඳුනා ගැනීමේ පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් විසින් හඳුනාගෙන තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතාගේ නියෝගයකට අනුවය.

එහිදී සාක්ෂිකරුවන් තුන්දෙනෙකු විසින් මෙම සැකකරුවන් දෙදෙනා හඳුනාගත් බව අධිකරණයට දැනුම් දී ඇත.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියේය.

අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසීය.

මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්‍යානුකූල නොවන බවත් සඳහන් කරන ලදී.

සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ CCTV දර්ශනවලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කලේය.

සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර අදාළ සැකකරුවන් ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම විය.

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද් වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඉකුත් අප්‍රේල් (23) මියගියේය.

වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ප්‍රදේශයේ මහල් නිවාසයක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය විසින් පැවසීය.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඩෑන් ප්‍රියසාද් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් විය.

පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් යොදා ගනමින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි මූලික විමර්ශනවලදී අනාවරණය විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved