Connect with us

පුවත්

 ඇමති සමන්ත, ජනපති පත් කළ තල් සභාපතිගේ වැඩ තහනම් කරයි

Published

on

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයාට විරුද්ධව දිගින් දිගටම එල්ලවන චෝදනා හේතුවෙන් වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා විසින් ඊයේ (27) සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව සභාපතිවරයාගේ වැඩ තහනම් කර ඇතැයි වාර්තා වේ.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරන විනයාගමූර්ති සහදේවන් නමැත්තාගේ අවිධිමත් පරිපාලනය සම්බන්ධයෙන් ඇමැතිවරයා විසින් මීට පෙරද ඔහුට තරයේ අවවාද කර තිබිණි.

පෙරේදා (26) ද ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැතිවරයා විසින් ඔහුට අවවාද කර ඇතැයි පැවසේ.

මණ්ඩලයේ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් නැවත සේවයේ පිහිටුවීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් නොතකා කටයුතු කිරීම සහ වාර්ෂික වාර්තා බාරදීමට කටයුතු නොකිරීම ආදී චෝදනා රැසක් සභාපතිවරයාට එල්ලවී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද දූෂණ චෝදනා සහිත සේවකයන් සම්බන්ධව කොළඹ ප්‍රධාන කාර්යාලයේ තිබෙන ලිපි ගොනු යාපනය කාර්යාලයට රැගෙන යාමට එම සේවකයන්ම යෙදවීමට මෙම සභාපතිවරයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තා වේ.

යාපනයේ සේවක විරෝධය…

මීට පෙර, ජනාධිපතිවරයා තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කළ විනයාගමූර්ති සහදේවන් නැමැත්තා දූෂිතයකු බව කියමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක නිරත වූහ.

ඔහුට එම තනතුර දැරීමට කිසිම සුදුසුකමක් නොමැති බවත්, වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව ඉවත් කළ යුතු බවත් කියමින් විරෝධතාවයේ නිරත වූ තල් සංවර්ධන මණ්ඩලයේ යාපනයේ සේවක සේවිකාවන් මේ ගැන තොරතුරු සඳහන් කරමින් ජනාධිපතිවරයාට ලිපියක්ද යවා තිබිණි.

දෙවනි වරට තල් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් පත් කළ පුද්ගලයාගේ ජීවිතයේ ඉතිහාසය සොයා බලන ලෙසත් ඔහුගේ සමාජ භූමිකාව ගැන සොයා බලා කටයුතු කරන ලෙසත් එම ලිපියේ සඳහන්ව තිබූ බව පැවසේ.

මෙම පත්වීම් මැතිවරණ ක්ෂේත්‍රය තුළත් පසුගිය කාලයේදී ආන්දොලනයට පත්විය.

මෙම පත්වීම් සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (ටී.අයි.එස්.එල්.) මැතිවරණ කොමිෂන් සභාවටත් පැමිණිලි කර තිබිණි.

මුලින්ම තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනිදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි මහතා පත්කර තිබුණු අරත ඊට දින 12කට පසුව එම වසරේම ඔක්තෝබර් 22 වැනි දින ඔහුව ඉවත් කොට ප්‍රශ්නගත තත්ත්වය මතුකර ඇති විනයාගමූර්ති සහදේවන් මහතා ජනපතිවරයා විසින් පත් කර තිබිණි.

කෙසේවුවද, මෙලෙස ප්‍රධානීන් වෙනස් කිරීම සහ නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් පත් කිරීම මැතිවරණ කොමිෂන් සභාව පනවා ඇති සීමාවන් නොතකා විෂයභාර අමාත්‍යවරයා ක්‍රියා කිරීමක් බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය මැතිවරණ කොමිසමට දන්වා සිටියේය.

සබැඳි පුවත්

පුවත්

දේශබන්දු පරීක්ෂණ කමිටුවේ දෙපාර්ශවයේම සාක්ෂි මෙහෙයවීම අවසන්

Published

on

By

පොලිස්පති ටී.එම්.ඩබ්ලිව්. දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධුරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත් කළ පරීක්ෂණ කමිටුව ඉදිරියේ වගඋත්තරකාර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ පාර්ශ්වයේ සහ පැමිණිලි පාර්ශ්වයේ යන දෙපාර්ශ්වයේම සාක්ෂි මෙහෙයවීම ඊයේ (01) අවසන් විය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.පී. සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් සහ විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් පරීක්ෂණ කමිටුව අද රැස් වූ අතර මෙහිදී පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි ලබා ගැනීම සිදු විය.

මෙම සාක්ෂිකරුවන් දෙදෙනා රාජකාරී කටයුත්තකට විදේශගතව සිටි අතර ඔවුන්ගේ සාක්ෂි ලබාදීම ජුනි 26න් පසුව සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පරීක්ෂණ කමිටුවට සහභාගී වූ අතිරේක සොලිස්ටර් ජනරාල්, ජනාධිපති නීතිඥ දිලීප පීරිස්, නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රජිත පෙරේරා යන මහත්වරුන් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ නීතීඥ ආර්.එස්. වීරවික්‍රම මහතා පෙර එකඟ වූ පරිදි, අද දින මෙම සාක්ෂිකරුවන් දෙදෙනාගේ ද සාක්ෂි ලබාගැනීමට තීරණය කෙරිණි.

ඒසේම දෙපාර්ශ්වයේම ලිඛිත දේශන 2025 ජූලි 8 වැනිදා ප.ව. 3.30ට පෙර පරීක්ෂණ කමිටුව වෙත භාරදීමට නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් සහ වගඋත්තරකාර පොලිස්පතිවරයා යන දෙපාර්ශ්වයම එකඟ වූහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

මන්ත්‍රී අර්ච්චුනාට එරෙහි පෙත්සම විභාගයට අවසර

Published

on

By

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (02) අවසර දුන්නේය.

එහෙත් පෙත්සමෙන් ඉල්ලා තිබූ පරිදි අර්ච්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම හා ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් මෙම අවස්ථාවේදී නිකුත් නොකරන බව විනිසුන් මඩුල්ල ප්‍රකාශ කර ඇත.

මායාදුන්නේ කොරයා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගේ සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝග නිකුත් කරන ලදී.

අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ආශෝක් බරන් මහතා අධිකරණය හමුවේ සඳහන් කර තිබුණේ, වගඋත්තරකාර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී රජයේ වෛද්‍යවරයෙකු වශයෙන් සේවයකර වැඩ තහනමට ලක්ව සිටි බැවින් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව පාර්ලිමේන්තුවට තේරි පත්වීමට සුදුසුකම් නොමැති බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවේ අසුන් ගැනීම ඡන්දය ප්‍රකාශ කිරීමට නීතිමය හිමිකමක් නොමැති බවට නීතිඥවරයා තර්ක කර තිබුණි.

එහෙත් රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ සේනානි දයාරත්න මහතා සඳහන් කර තිබුණේ, සිය සේවා දායකයාව පාර්ලිමේන්තුවට තේරී පත්වන අවස්ථාවේදී ඔහු වැටුප් රහිතව වැඩසටහනට ලක්ව සිටි එබැවින් එම අවස්ථාවේ ඔහු රජයේ සේවකයෙකු වශයෙන් සැලකිය නොහැකි බවය.

ඒ අනුව ඔහුට පාර්ලිමේන්තුවට තේරී පත්වීමට නීතිමය බාධාවක් නොමැති බවට නීතිඥවරයා තර්ක කළේය.

දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, මෙම විභාගයට ගැනීමට අවසර දුන්නේය.

ඉන් අනතුරුව පෙත්සම අගෝස්තු මස 1 වනදා කැඳවීමටද නියම විය.

Continue Reading

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved