Connect with us

පුවත්

ඇමැති ලාල්කාන්ත‌ගෙන් විශේෂ කමිටුවක්

Published

on

වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීමට සහ වගාවන්ට හානි කරන සතුන් කලමනාකරණය සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීම සඳහා  කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ උපදෙස් පරිදි කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ මහතා විසින් විශේෂ කමිටුවක් පත්කර ඇත.

මෙම කමිටුවේ සභාපති ලෙස කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (කෘෂි සංවර්ධන) ඩී.එස් රත්නසිංහ මහත්මිය පත්කර ඇති අතර, තවත් සාමාජිකයින් 15 දෙනෙක් මේ සඳහා ඇතුලත් වේ.

කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පශු සම්පත්) පී. එස්. ප්‍රනාන්දු , කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) ජී.ජී.වී. ශ්‍යාමලී , පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය ජේ. ඒ. ඩී.ජේ. එස්.කේ. ජයකොඩි , හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ මහාචාර්යය ඒ. එල්. සන්දික , ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් (සේවා) කේ. ඒ. සුමිත් චන්දන , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි සංවර්ධන) ජේ.ඒ. තුසිත චන්දන , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි ව්‍යාපාර) අජිත් පුෂ්පකුමාර , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (පශු සම්පත්) වෛද්‍ය සංජික පෙරේරා , වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (සත්ව සෞඛ්‍ය) වෛද්‍ය තාරක ප්‍රසාද් , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (කෘෂි තාක්ෂණ) ටී. එච්. අමරසිංහ , කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ (තොරතුරු තාක්ෂණ) පී.ඩබ්. ප්‍රමුෂ්කා හිරුණි , ජන‍ලේඛන හා සංඛ්‍යාලේඛන  දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්ද්‍රානි ජයවික්‍රම , සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ වනජීවී දෙපාර්තමේන්තු සම්බන්ධීකාරක ලුතිනල් කර්නල් එච්.ටී.පී. කුමාරසිංහ ,කෘෂිකර්ම, පශු සම්පත්,ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් (කෘෂි තාක්ෂණ) ආචාර්ය ශිරෝමණී එදිරිමාන්න   මහත්ම මහත්මීහු මෙම  විශේෂ කමිටු‍වේ සාමාජිකයෝ වෙති.

මෙම කමිටුව විසින් ගනු ලබන සියලු නිර්දේශ මාර්තු මස අවසන් වීමට ප්‍රථම කෘෂීකර්ම අමාත්‍යවරයා වෙත භාර දීමට නියමිතය.

මෙම කමිටුව මඟින් මේ වනවිටත් වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි වළක්වා ගැනීම හා කෘෂි බෝග සඳහා හානි කරන සතුන් කලමනාකරණය පිළිබඳව අදහස් හා යෝජනා විද්වතුන්, පරිසර සංවිධාන, පරිසරවේදීන්, ගොවි මහතුන්, නව නිපැයුම්කරුවන් හා පුරවැසියන්ගෙන් ලබාගෙන ඒවා ඇගයීමට ලක්කරමින් ඇත.

මෙම කෘෂි බෝග සඳහා හානි කරන වන සත්ව ගහනය පිළිබඳව නිරවද්‍ය දත්ත පද්ධතියක් මේ වනවිට නොමැති වීම නිසා තෝරාගත් වනසතුන් කිහිපයක් සඳහා සංගණනයක් සිදු කිරීමේ අවශ්‍යතාවය කමිටුව විසින් හඳුනා ගෙන ඇත. මෙම සංගණනය ලබන මාර්තු මස සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, මෙහි සාර්ථකත්වය මැන බැලීම සඳහා පූර්ව පරීක්ෂාවක් ඉංගිරිය ග්‍රාම නිලධාරී වසමක් තෝරාගෙන පසුගියදා පැවැත්විණ.

එමෙන්ම පසු මාසයේ 27 වැනිදා මෙම  විෂයට අදාළ විශේෂඥයන්  පිරිසකගේ අදහස්  විමසීමක්  අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත් වූ අතර මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ  වනජීවීන් කළමනාකරණයට අදාළ කිසිදු ආයතනයක් මේ වනවිට නොමැති බවත් වනජීවීන් කළමනාකරණය පිළිබඳව කතිකාවතක් සමාජය තුළ ගොඩනැගිය යුතු බවත්ය. නිසි කළමණාකාරීත්වයක් නොමැතිව වසර ගණනාවක් තිස්සේ වර්ධනය වූ මෙම ගැටලුව් විසඳීම සඳහා අවශ්‍ය මැදිහත්වීම වර්තමාන රජය විසින් සිදු කරමින් මෙම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේදී කෙටිකාලීන සහ දිගුකාලීන ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී  ප්‍රකාශ කළේය.

පුවත්

මුහුදු පත්ල පිරිසිදු කිරීම ත්‍රිකුණාමලයෙන් ඇරඹේ

Published

on

By

ත්‍රිකුණාමලය පරෙවි දූපත ආශ්‍රිත ප්‍රදේශයේ මුහුදු පත්ල පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (02) පෙරවරුවේ ක්‍රියාත්මක කෙරිණි. සාගර ජීවීන් හට හිතකාමී පරිසරයක් සැකසීම මෙහි අපේක්ෂාවයි.

කොරල්පර පරිසර පද්ධති වලට දැඩි තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. 

ජගත් පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය සම්බන්ධීකරණය කළේය. 

පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, ශ්‍රී  ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටා ඇති “විශාල” සහ “කුඩා” පරෙවි දූපත” යන දූපත් දෙකකින් සමන්විත වේ.

සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර 471ක් පුරා පැතිරී ඇති නමුත් ගොඩබිම හෙක්ටෙයාර 9ක් පමණ වේ. විශාල දූපතේ කොරල්පරයක් දළ වශයෙන් මීටර් 200ත් 100ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී  ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර  උද්‍යානවලින් එකක් වන බැවින්, එය පිරිසිදු කිරීම කාලෝචිත මෙන්ම සුවිශේෂී වැදගත්කමක් සහිත කාර්යයක්  වේ.

මෙම පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මඟින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ශිල්පීය ක්‍රම, සංචාරක ව්‍යාපාරය නිසා ඇති වන කොරල් පරිහානිය ආදිය හදුනා ගත හැකිය. එසේම, දේශගුණික විපර්යාස හා  මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මතද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදු වේ.

ඒ අනුව, පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මුලපිරීමක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ  දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද  ක්‍රියාකාරී සහයෝගය මේ සඳහා ලැබිණි.

මෙම පිරිසිදු කිරීමේ කාර්යය, පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින්, පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයින් සහ අනෙකුත් සංවිධානවල ස්වේච්ඡා සේවකයින්ගේ එකමුතුවෙන් සිදු කෙරිණි.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්. ජී. එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ලංකාදීප)

Continue Reading

පුවත්

Starlink සේවා මෙරට ඇරඹීමට සියලු වැඩ සම්පූර්ණයි – එරංග

Published

on

By

ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙළ සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් මේ වන විට සම්පූර්ණ කර ඇතැයි ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ස්ටාර්ලින්ක් වෙතින් ලබා දීමට නියමිත තොරතුරු පුවරුව (Dashboard)ලැබුණු පසු මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කිරීමට හැකිවනු ඇති බවය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිංගප්පූරුවේ පැවැති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ ද්විපාර්ශ්වික හමුවකට එක් වෙමිනි.

මෙම හමුව සඳහා ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කර ඇති අතර ඒ අනුව ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමග ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්ථනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම, පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධවද අවධානය යොමුව ඇත.

එහිදී මෙම අවස්ථාවට එක් වෙමින් ස්ටෙෆාන් ලැන්ග් මහතා පවසා ඇත්තේ මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදි ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබා දෙන බවය.

(අරුණ)

Continue Reading

පුවත්

හල්ලොලුවගේ වාහනයට වෙඩිතැබීමේ සිද්ධියට තවත් 2ක් අත්ඩංගුවට

Published

on

By

තුසිත හල්ලොලුව මහතාගේ ජීප් රථයට වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 27 හැවිරිදි සහ 37 හැවිරිදි පුද්ගලයින් බව පොලිසිය පවසයි.

ඔවුන් කඩවත සහ ගණේමුල්ල යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී T-56 වර්ගයේ ජීව පතොරොම් 13ක් පුරවන ලද පතොරොම් ගැබක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

සැකකරුවන් හෙට (03) අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved