එට්කා ගිවිසුමට විරෝධය පළකර ජනතා විමුක්ති පෙරමුණට අතීතය නැවත මතක් කිරීමට කටයුතු කරන බව සර්වජන බලය පවසයි.
රාජ්‍ය නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ බලපෑම්වලට යටත් නොවී රටේ ස්වාධීනත්වය ආරක්ෂා කරගනිමින් කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවද එම පක්ෂය පවසයි.
සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය පෙන්වා දෙන්නේ බලය නැති අවධියේ නම් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබල වේගය ඉන්දියාවෙන් මෙරටට එල්ලවන බලපෑම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාකළ බවත්, ඉන්දියාව සමග ශ්‍රී ලංකාව ඇතිකර ගැනීමට යන ගිවිසුම්වලට දැඩි විරෝධයක් එල්ල කළ බවත් ය.
ඇය මේ බව කියා සිටියේ කොළඹ සර්වජන බලය මුලස්ථානයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි අනුරාධා යහම්පත් මෙසේ ද කියා සිටියාය.
” එට්කා ගිවිසුම ගේන්න හදද්දී ඒක එපා කියලා මුලින්ම පාරට ආවේ වර්තමාන ආණ්ඩුව. ඔවුන් තමයි ඒ වෙනුවෙන් වැඩියෙන්ම සටන් කළේ. අපි කියන්නේ නැහැ ඔවුන් දැන් කරන්න හදන්නේ ඒක ගෙන්න කියලා. නමුත් එය කරන්න කලින් අපි කියන්නේ. ඒ වගේම කියන්න ඕනේ කලින් හිටපු කිසිම රාජ්‍ය නායකයෙක් දහතුන්වැනි සංශෝධනය ගෙනාවේ නැහැ. ඔවුන් දන්නවා එය ගෙනාවොත් වෙන දේ. මේ ආණ්ඩුවත් එහෙම කරයි කියල අපි හිතනවා. අපි කියන්නේ ඉන්දියාව එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වන එක ඉතාම හොදයි හැබැයි ඉන්දියාවට ඕනේ විදියට මේ රට ගෙනියන්න බැහැ ”
මෙම මාධ්‍ය හමුවේදී අදහස් දක්වා සිටි සර්වජන බලයේ විධායක සභික අනුරුද්ධ හේරත්
” මාලිමාවේ අයගේ අධ්‍යාපන සහිතක බොරු කියල ඔප්පු වෙද්දීත් කියනවා කමක් නෑ අපි මාලිමාවට කියලා. විදුලි බිල අඩු නොකළත් කියනවා ආ කමක් නෑ අපි මාලිමාවට කියලා. නමුත් අපි ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබ මාලිමාව එක්ක ඉන්න ඒකට අපිට ප්‍රශ්නයක් නැහැ. නමුත් රටට අයහපතක් වෙනවනම් රටේ ස්වාධීනත්වයට අවුලක් වෙනවනම් ආරක්ෂවාට තර්ජනයක් වෙනවනම් ඒත් අපි මාලිමාවට කියල කියන්න එපා කියලා. වරදක් දුටු විට එරෙහි වෙන්න. මේ රට ඉන්දියාවේ රූකඩයක් කරන්න දෙන්න එපා”