Connect with us

පුවත්

ඉන්දියාවෙන් දැඩි විරෝධයක්!

Published

on

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (28) අලුයම ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් එල්ල කර තිබේ.

මේ සම්බන්ධයෙන් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කර නිවේදනයක දැක්වෙන්නේ මෙම සිද්ධියෙන් ධීවරයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සුළු තුවාල ලැබූ ධීවරයන් තිදෙනෙකුද ප්‍රතිකාර ලබා ඇති බවත්ය.

නව දිල්ලියේ සිටින වැඩ බලන ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුවරිය අද උදෑසන විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කර ඇකි බවත්, කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ද ශ්‍රී ලංකා රජයේ විදේශ අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කර ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඉන්දියානු රජය සැමවිටම ජීවනෝපාය පිළිබඳ අවධානය යොමු කරමින් ධීවරයන් සම්බන්ධ කරුණු සම්බන්ධයෙන් මානුෂීය ආකාරයකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කර ඇති බවත්, කිසිදු තත්ත්වයක් යටතේ බලය යොදාගැනීම පිළිගත නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් දෙරටෙහි රජයන් අතර පවතින අවබෝධතා දැඩිව අනුගමනය කළ යුතු බව එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරයි.

කලහකාරී හැසිරීමක් – නාවික හමුදාව

කෙසේවෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ ජනවාරි 27දා යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වු ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරය යාත්‍රා විශාල ප්‍රමාණයක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර,  එම යාත්‍රා මෙරට ‍මුහුදු සීමාවෙන් ඉවත් කිරීමට නාවික හමුදා යාත්‍රා යොදවා තිබූ බවයි. එසේ වුවද, තවදුරටත් එම මුහුදු ප්‍රදේශයේ අනවසර ධීවර කටයුතු සිදු කරමින් සිටි ඉන්දීය ධීවර යාත්‍රාවක් සමඟ ඉන්දීය ධීවරයින් 13ක් නාවික හමුදා භාරයට ගැනුන බව එහි දැක්වේ.

“එම ඉන්දීය ධීවර යාත්‍රාව නාවික හමුදා භාරයට ගැනීමට යාමේදී, නාවික හමුදාවේ නීත්‍යානුකූල නියෝගයන්ට අවනත නොවී, තවදුරටත් කලහාකාරී ලෙස හැසීරීම හේතුවෙන් එම යාත්‍රාව වෙත නාවික හමුදා කණ්ඩායමක් ගොඩවීම සිදු කෙරිණී. එහිදි නාවික හමුදාව එම යාත්‍රාව වෙත ගොඩවීම වැළැක්වීම සඳහා ඊට අවනත නොවි, නිත්‍යණූකූල රාජකාරීයට බාධා පමුණූවා, ඊට විශාල ප්‍රථිරෝධයක් දක්වමින් ආක්‍රමණශීලි ලෙස එම ධීවර යාත්‍රාව හසුරවමින් ඉන්දීය ධීවරයින් කලහාකාරීව හැසුරුණු අතර, නාවික හමුදාව වෙත පැවරී ඇති බලතල අනුව එම යාත්‍රාවට ගොඩවීමේදී, එම ධීවරයින් පිරිස සමූහයක් ලෙස ආක්‍රමණශිලීව පහරදීමට තැත්කර, නාවික හමුදා නිලධාරීන්ගේ ජීවිතයට අවධානමක් ඇති කරමින්, නාවික හමුදා නිලධාරියෙකු සතුව තිබු ගිනි අවියක් උදුරාගැනීමට උත්සහ කිරීමේදී, එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ධීවරයින් දෙදෙනෙකු හට සුළු තුවාල සිදු විය. නාවික හමුදාව විසින් එම ධීවරයින් දෙදෙනා වෙත මූලික ප්‍රථමාධාර ලබා දීමෙන් පසු, වැඩිදුර ප්‍රථිකාර සඳහා කඩිනමින් යාපනය ශික්‍ෂණ රෝහල‍ වෙත ඇතුලත් කිරීමට කටයුතු කෙරිණි. එම ධීවරයින්ගේ තත්වය බරපතල නොවන බව යාපනය රෝහල මඟින් තහවුරු කර ඇති අතර, නාවික හමුදාව විසින් සිද්ධිය සම්බන්ධයෙන් කන්කසංන්තුරය පොලීසිය වෙත පැමිණිල්ලක් ද සිදු කෙරිණි,” යැයිද  ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිල වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කරයි.

(ඡායා : navy.lk)

පුවත්

ඇතැම් දිස්ත්‍රික්කවලට වැසි

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (5) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

තවද ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට පැ.කි.මී. 30-40ත් අතර තරමක තද සුළං ඇතිවීමේ හැකියාවක් තිබෙන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Continue Reading

පුවත්

අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට යාමේදී ගාලුමුවදොර උණුසුම් තත්ත්වයක්

Published

on

By

කොළඹ, ගාලුමුවදොර පිහිටි අනවසර වෙළෙඳසැල් ඉවත් කිරීමට ඊයේ (04) පස්වරුවේ වරාය කළමනාකරණ උපදේශ සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් පැමිණීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

ඒ සෞඛ්‍ය ආරක්ෂිතව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවසර ඇතිව වෙළෙඳ කටයුතු කිරීම අරමුණු කරගෙන ගාලු මුවදොර වෙළෙඳුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමත් සමගිනි.

කෙසේ වෙතත් එම ප්‍රදේශයේ කලක පටන් වෙළෙඳාමේ නිරතවන පිරිස් එම තීරණයට විරෝධය පළ කෙරුණි.

එම ස්ථානය සඳහා වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් අද පස්වරුවේ පැමිණියේ පොලිස් නිලධාරීන් ද සමඟිනි.

මෙහිදී වෙළෙඳුන් පැවසුවේ කාලයක පටන් මෙම ස්ථානයේ වෙළෙඳාම් සිදුකරනු නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහතික ලබා ගැනීමට අවශ්‍ය බව පවසා තමන්ව මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට සැරසෙන බවය.

කෙසේ වෙතත් ඇතිවූ තත්ත්වය මත වරාය කළමනාකරණ උපදේශන සේවා පෞද්ගලික සමාගමේ නිලධාරීන් වෙළෙඳුන් වෙත දන්වා සිටියේ එළැඹෙන ඉරිදා දක්වා වෙළෙඳාම් කිරීමට අදාළ වෙළෙඳුන්ට අවසර දෙන බවයි.

Continue Reading

පුවත්

හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්ගේ සමීපතමයෝ 3ක් අත්අඩංගුවට

Published

on

By

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවලට මායිම් වූ හල්දුම්මුල්ල බෝගහපැලැස්ස රක්ෂිතයේ විශාල ඉඩම් ප්‍රමාණයක් දේශපාලන බලය යොදාගනිමින් අනවසරයෙන් අල්ලා ගැනීම සම්බන්ධයෙන් වූ විමර්ශනයකට අනුව හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකුගේ සමීපතමයන් තිදෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

දේශපාලන බලය යොදා අල්ලා ගන්නා ලද මේ ඉඩම් භුක්ති විඳීම සිදු වූ අතර, ඊට හිටපු ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල්වරයකු සම්බන්ධ බවට තොරතුරු හෙළිව තිබිණි. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරගෙන ගිය පරීක්ෂණ මත එහි ප්‍රධාන සැකකරුවන් ලෙස මේ පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය අතර කාන්තාවකද සිටින අතර, එක් අයකු අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කර ඇති බවද වාර්තා වේ.

(සිළුමිණ)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved