Connect with us

පුවත්

ඉන්දියාව හා චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ සාකච්ඡා සාර්ථකයි – ජනපති

Published

on

ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමට පැවැත්වෙන සාකච්ඡා සාර්ථක වී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(17) පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළේය.

ජනතාවට සහන සලසමින් ඔවුන් පීඩාවෙන් මුදා ගැනීම සඳහා නව දේශපාලන ක්‍රමයක් ඔස්සේ සාමුහිකව අත්වැල් බැඳ ගනිමුයැයි ද ජනාධිපතිවරයා සියලු මහජන නියෝජිතයන්ගෙන් එහිදී ඉල්ලා සිටියේය.

අසීරු ආර්ථික පසුබිමක් මධ්‍යයේ වුවද ජනතාවට සහන සැලසීමට රජය කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා මෙම වසරේ ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 30-40ක මුදලක් වෙන් කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.

රජයේ නිවැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් වී අස්වැන්නේ අතිරික්තයක් ලැබී ඇති බවත් අඩු ආදායම්ලාභී පවුල් මිලියන 02කට එක් පවුලක් සඳහා මාසයකට සහල් කිලෝග්‍රෑම් 10 බැගින් මාස 02ක කාලයක් ලබාදීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ඒ අනුව රජය සැලසුම් කර තිබෙන බවත් පැවසීය.

නිදහස් සැමරුම වෙනුවෙන් රජය මුදල් වැය කරන බවට ඇතැමුන් චෝදනා නැඟුවත් එය අනාගතය වෙනුවෙන් කෙරෙන ආයෝජනයක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිදහසේ සියවන සැමරුම දක්වා වූ වසර 25 දී රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණමය වැඩපිළිවෙළ වෙනුවෙන් නව ආයතන ගණනාවක් මෙන්ම නීති කිහිපයක් හඳුන්වාදීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

මේ වන විට අපේ ආර්ථිකය නිසි මගට ගැනීම සඳහා අපි කටයුතු කරගෙන යනවා. දැන් අපට තිබෙන්නේ ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු සඳහා ඉන්දියාවේ සහ චීනයේ එකඟතාව ලබා ගැනීමටයි. අපි ඒ සඳහා සාකච්ඡා කරගෙන යන අතර දැනට එම සාකච්ඡා සාර්ථක බව මට මෙම සභාවට ප්‍රකාශ කළ හැකියි.

අපි බලාපොරොත්තුවන ආදායම අපිට එකවර ලැබෙන්නේ නැහැ. ඒ සියලු දේ සමග මේ වැඩකටයුතු ඉදිරියට ක්‍රියාත්මක කිරීමයි අපේ අපේක්ෂාව.

වැටුප් ගෙවීම අපේ ප්‍රධානම කාර්යයක්. දෙවැනි තැන තිබෙන්නේ විශ්‍රාම වැටුප් ගෙවීමට. ඒ වගේම සමෘද්ධිය ලබාදිය යුතුයි. ඒ සමගම තවත් නව වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහාත් අපි මුදල් ලබාදිය යුතුයි.

දැන් අපිට චෝදනාවක් තිබෙනවා අපි ඖෂධ සඳහා මුදල් ලබා දෙන්නේ නැහැ කියලා. තවත් මිලියන 100ක් දෙන්න තිබෙනවා කියලා. ඇත්ත වශයෙන්ම සෞඛ්‍ය අංශයේ එක ගැටලුවක් තිබෙනවා. ඒ තමයි අපිට පසුගිය වසර කිහිපය සඳහා රුපියල් බිලියන 50ක බිලක් ගෙවීමට තිබෙනවා.

ඒ වුණත් අවශ්‍ය ඖෂධ ලබාදීමට අපි මේ වසරේදී රුපියල් බිලියන 30 – 40ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරනවා. කෙසේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මහා භාණ්ඩාගාරය එක්වෙලා මේ කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනවා . මෙම ඖෂධ ඇණවුම් කිරීමට ටික කාලයක් ගතවෙයි, අපිත් කැමති නැහැ අපේ රෝහල්වල අඩු පාඩු තිබෙනවට. ඒ වගේම ඖෂධ නැතිව ජනතාව මිය යනවට. ඒ නිසා ඒ වැඩකටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් අපි වෙන් කර තිබෙනවා.

පසුගිය වසරේ අපේ රටේ ආහාර හිඟයක් ඇතිවුණා. අපි බලාපොරොත්තු වුණා මේ ‍වසරේදීත් ආහාර හිඟයක් ඇතිවෙයි කියලා. කෙසේ හෝ අපි ගොවි ජනතාවට අවශ්‍ය පොහොර ලබා දුන්නා. දැන් අපට අස්වැන්නේ අතිරික්තයක් ඇති වී තිබෙනවා. පසුගිය මහ කන්නය මෙන්ම යල කන්න‍ය සාර්ථකවීම නිසා අපට මේ වී අතිරික්තය ලැබී තිබෙනවා.

දැන් අපට තිබෙන්නේ වී කිලෝ එක රුපියල් 100ක මට්ටමේ පවත්වාගෙන යාමට. ඒ සඳහා රුපියල් බිලියන 10ක් වෙන් කර තිබෙනවා. ඊට පෙර වෙන් කළේ රුපියල් බිලියන 05ක වගේ මුදලක්. මීට පෙර සිදු වුණේ මේ වී අතිරික්තය අළෙවි කිරීමයි. ඒත් අපි එසේ සිදු කරන්නේ නැහැ. මෙම මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුල් මිලියන 02කට සහල් කි.ග්‍රැම් 10 බැගින් ලබා දීමේ වැඩපිළිවෙළක් අපි සැලසුම් කර තිබෙනවා. ඊට වඩා ලබාදිය හැකිනම් මම කැමතියි. අපි මේ 75 වන නිදහස සමරන අවස්ථාවේ දී ජනතාවට කුසගින්නේ සිටීමට ඉඩ දෙන්න බැහැ. අපි ඒ සඳහා අවශ්‍ය මුදල් යොදවනවා.

මේ නිදහස් සැමරුම වෙනුවෙන් මුදල් ‍වියදම් කරනවා කියලා අද ඇතැම් අය දොස් කියනවා. එහෙත් අපි ජනතාවට මෙම සහන ලබාදිය යුතුයි.

ඒ වගේම ඊළග වසර කිහිපයේ දී අපිට තවත් බිලියන 10ක් පමණ වැය කිරීමට සිදු වෙනවා. අද නිදහසින් පසු 75 වසරක් ගත වී තිබෙනවා, නිදහසේ 100 වන සැමරුම වන විට මේ රටට අවශ්‍ය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් අපි ආයතන ගණනාවක් ඇති කිරීමට පියවර ගන්නවා.

ඒ අනුව ඉතිහාසය පිළිබඳ ආයතනයක් ස්ථාපිත කිරීමට අපි කටයුතු කරනවා. දැන් අපට තිබෙන ලොකුම චෝදනාවක් තමයි ඉතිහාසය අමතක වෙලා කියන එක. එ‍සේ නම් අපි එවැනි ආයතනයක් ඇති කළ යුතුයි.

ආර්ථික විද්‍යා හා වෙළෙඳ ආයතනයක් අපි ස්ථාපිත කරනවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ රටවල විවිධ ආයතන තිබෙනවා.

ඒ වගේම කාන්තා සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ ආයතනයක් පළමු වතාවට අපේ රටේ ඇති කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම අපේ නිලධාරින්ගේ පුහුණු කටයුතු සඳහා රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විශ්වවිද්‍යාලය ඇති කරනවා.

අපේ කෘෂිකර්මාන්තයේ නවීකරණයක් සිදු කරනවා නම් කෘෂි තාක්ෂණ විශ්වවිද්‍යාලයක් ඇති කළයුතුයි. ඒ ව‍‍ගේම දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය ඇති කිරීමට අපි පියවර ගන්නා අතර ඒ සඳහා සහාය ලබාදෙන බවට විදේශ රටවල් අප සමග දැනටමත් ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම ජාත්‍යන්තර මට්ටමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන යාම වෙනුවෙන් ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ඇති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

මේ කටයුතු සඳහා මුදල් අවශ්‍යයි. මේ සඳහා රුපියල් බිලියන 10කට වඩා මුදල් වැය විය හැකියි. මේ සඳහා අපි එකවර මුදල් යොදවන්නේ නැහැ. මේ ආරම්භ කරන්නේ මුදල් ලැබීමට තිබෙන ආයතන. ඉන් අනතුරුවයි අපිට ප්‍රතිඵල ලැබෙන්නේ.

අපේ මේ 75වන නිදහස් සැමරුම එතනින් අවසන් වන්නේ නැහැ. අනාගතය වෙනුවෙනුයි අපි ඒ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

ඒ වගේම අපි නව නීති කිහිපයක් ගෙන ඒමට කටයුතු කරනවා. කාන්තා පනත පිළිබඳ ජාතික කොමිෂන් සභාව, ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත, කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත මේ නීති පනත් 03 ගෙන ආ විට දකුණු ආසියාවේ කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වැඩිම පියවර ගෙන තිබෙන රට බවට අපේ රට පත්වෙනවා.

ඒ වගේම පරිසරය වෙනුවෙන් දේශගුණික විපර්යාස පිළිබඳ පනත, වනාන්තර ප්‍රතිරෝපණය සහ වෘක්ෂ ආවරණ පනත ගෙන එනවා. ජීවමාන අස්ථිත්ව පනත මඟින් මහවැලි ගඟ, සිංහරාජය, ශ්‍රීපාද අඩවිය, හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම යන ස්ථානවලටත් ජීවමාන අයිතිය ලැබෙනවා.

සාගර සම්පත් ගවේෂණය සහ කළමනාකරණය සඳහා නීති, මුතුරාජවෙල (සංරක්ෂණ) පනත මේ සියල්ල තුළින් මේ කලාපයේ හොඳම පරිසර නීති තිබෙන රට බවට අපේ රට පත්වෙනවා. අනාගත පරපුර අපෙන් ඉල්ලා සිටින්නේ මේ සම්පත් ආරක්ෂා කර දෙන්න කියලා.

ඒ වගේම අපි සමාජ සාධාරණත්වය පිළිබඳ කොමිෂන් සභා පනත හඳුන්වා දෙනවා. අපි සමාජ සාධාරණත්වය උදෙසා කටයුතු කළයුතුයි.

මේ වැඩසටහන්වලට අමතරව මේ වසරේදී නාගරික වනාත්තර 75ක් ඇති කිරීම වෙනුවෙන් හා ජාතික තරුණ වේදිකාව පිළිබඳ ව්‍යාපෘතියේ වැඩසටහන් වෙනුවෙන් මුදල් යෙදවිය යුතුයි. ඒ වගේම කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභීන් සදහා නිවාස 1996ක ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අපි කටයුතු කරනවා.

ර‍ටේ ආර්ථික ගැටලුවක් තිබුණත් ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් තමයි අපි මේ කටයුතු කරන්නේ. මේ නිදහසේ 75 වන සැමරුමේ දී මම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ අපේ දේශපාලන ක්‍රමය අපි දැන් වෙනස් කරමු කියලා. ජනතාව පීඩාවෙන් මුදා ගනිමින් ඔවුන්ට සහන සැලසීම සඳහා අපි එකතුවෙලා වැඩ කරමු. මේ සීමාසහිත සම්පත් ප්‍රමාණය සමග මෙවැනි ප්‍රගතියක් ලබා ගැනීමට අපට හැකිවුණා නම්, රටේ අනාගතය වෙනුවෙන් අපි සියලුදෙනා එකට එකතුවෙලා වැඩකරමු කියලා මම ඉල්ලා සිටිනවා.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved