Connect with us

පුවත්

ඉන්ධන සැපයීම ගැන ලංවිමෙන් පැහැදිලි කිරීමක්

Published

on

ලංකා විදුලිබල මණ්ඩලය තාප විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ, මෑත කාලීන පුවත් ලිපි කිහිපයක ‘ඉන්ධන’ යන වචනය වැරදි ලෙස අර්ථකතනය කිරීම පැහැදිලි කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය නිපදවීම සඳහා ඛනිජතෙල් ඉන්ධන වර්ග තුනක් භාවිතා කරන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

– උපුටාගැනීම – 

* බැර තෙල් (HFO) – 2024 වර්ෂයේදී සැප්තැම්බර් මස 30 වෙනි දිනට 715.3 GWh (මුළු විදුලි නිෂ්පාදනයෙන් 5.8 %) 

* නැප්තා (Naphtha) – 2024 වර්ෂයේදී සැප්තැම්බර් මස 30 වෙනි දිනට 235.5 GWh (මුළු විදුලි නිෂ්පාදනයෙන් 1.9 %) 

* ඩීසල් (Diesel) – 2024 වර්ෂයේදී සැප්තැම්බර් මස 30 වෙනි දිනට 133.1 GWh (මුළු විදුලි නිෂ්පාදනයෙන් 1.1 %)

බැර තෙල් (HFO) සහ නැප්තා (Naphtha) යන වර්ග දෙකම තෙල් පිරිපහදුවේ අතුරු නිෂ්පාදන වේ. 

වෙනත් සැපයුම්කරුවකු නොමැති බැවින් ලංකා විදුලිබල මණ්ඩලය මෙම ඉන්ධන CPC වෙතින් මිලදී ගන්නේ අන්නෝන්‍ය වශයෙන් එකඟ වූ මිලකටය. 

තරඟකාරී ලංසු තැබීම් මඟින් ලංකා විදුලිබල මණ්ඩලයට මිලදී ගත හැකි එකම ඉන්ධනය ඩීසල් වන අතර, ඩීසල් සඳහා පමණක් බෙදාහරින්නන් කිහිපදෙනෙකු සිටින අතර, ඔවුන්ගෙන් සමහරක් මෑතකදී සිය ව්‍යාපාර කටයුතු ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය මීට පෙර පැවති කළමනාකාරීත්වය යටතේ පවා විදුලි උත්පාදනය සඳහා තරඟකාරී ලංසු මඟින් ඩීසල් මිලදී ගෙන නොමැත.

විදුලි උත්පාදනය සඳහා තරගකාරී ලෙස ඩීසල් මිලදී ගැනීමට එරෙහිව නව කළමනාකාරීත්වය කිසිදු තීරණයක් ගෙන නොමැති බව අවධාරණය කරමු.

ලංකා විදුලිබල මණ්ඩලය ඩීසල් ඉන්ධනය ආර්ථික වශයෙන් ශක්‍ය විදුලි උත්පාදන විකල්පයක් ලෙස නොසලකයි. ඊට අමතරව පිරිසිදු බලශක්තිය වෙත සංක්‍රමණය වීම සඳහා ශ්‍රී ලංකාවේ විමෝචන ඉලක්ක සැලකිල්ලට ගනිමින් පරිවර්තනය වෙමින් පවතී. 

කෙසේ වෙතත්, වර්තමාන ජනන මිශ්‍රණය සැලකිල්ලට ගනිමින් සහ අනෙකුත් විශාල විදුලි බලාගාරවල බිදවැටුම් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතුවලදී පමණක් උපරිම ඉල්ලුම සපුරාලීම සඳහා ඩීසල් බලාගාරවල අවම භාවිතයක් අවශ්‍ය වේ.

විදුලි උත්පාදනය සඳහා ඩීසල් භාවිතා කිරීම අවම හා කෙටි කාලීනවනු ඇත. 2024 වර්ෂයේදී සැප්තැම්බර් මස 30 වෙනි දිනට ඩීසල් භාවිතයෙන් විදුලිය නිපදවා ඇත්තේ 1.1% ක ප්‍රමාණයක් පමණි.

– උපුටා ගැනීම ගැන අවසන් – 

කැබිනට් තීරණ

ශ්‍රීලංකන් ගැන සොයන්න ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක්

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගම සහ ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම තුළ පසුගිය කාලයේදි සිදුවි ඇති වංචා, දූෂණ හා අක්‍රමිකතා සෙවීම සඳහා ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවත් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ එලෙස අනුමැතිය හිමි වී ඇත.

සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම මඟින් රටේ ආර්ථික අභිවෘද්ධිය සඳහා දායකත්වයක් සැපයුව ද එය පවත්වාගෙන යාම සඳහා රජයට අධික වැය බරක් දැරීමට සිදුව ඇති අතර, එම සමාගම වාර්ෂිකව ලබන අධික පාඩුව රටේ ආර්ථිකයට දරා ගැනීමට අපහසු වී ඇත.

මෙම සමාගම ආර්ථිකමය වශයෙන් වාසිදායක, කාර්යක්ෂම හා ඵලදායී රාජ්‍ය ආයතනයක් බවට පත් කර, නවීන තාක්ෂණය භාවිත කරමින් සාර්ථක ලෙස පවත්වාගෙන යාම මහජන අභිලාෂය වී තිබේ.

ඒ සඳහා, සීමාසහිත ශ්‍රීලංකන් ගුවන් සමාගම වර්තමාන තත්ත්වයට පත් වීමට බලපෑ හේතු සම්බන්ධයෙන් පසුගිය කාලපරිච්ඡේදය තුළ සිදු වී ඇති ගනුදෙනු හා සිද්ධීන් පිළිබඳ විධිමත් අධ්‍යයනයක් හා ඇගයීමක් සිදුකළ යුතුය.

එසේම, ගුවන්තොටුපොළ මෙහෙයුම් සම්බන්ධයෙන් වගකීම් පැවරී ඇති සීමාසහිත ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පෞද්ගලික) සමාගමේ කටයුතු පිළිබඳව ද විමර්ශනය කිරීමේ අවශ්‍යතාව විවිධ පාර්ශ්වයන් ඔස්සේ රජයේ අවධානයට යොමු කර ඇත.

ඒ අනුව, 2010‑2025 කාලසීමාව තුළ ඉහත සඳහන් ආයතනවල සිදු වී ඇතැයි සැලකෙන වංචා, දූෂණ සහ අක්‍රමිකතා සොයා බලා නිර්දේශ සහිත සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා හිටපු විගණකාධිපති එච්.එම්.ගාමිණී විජේසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ජනාධිපති විශේෂ විමර්ශන කමිටුවක් පත් කිරීමට නියමිතය.

Continue Reading

කැබිනට් තීරණ

උසස් පෙළ උසස් ලෙස සමත්වූවන්ට විදෙස් සරසවි වරම්

Published

on

By

උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යාලයක හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව ” ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් – දියුණු මානව සම්පතක්” නිර්මාණය කිරීමේ අරමුණ යථාර්ථවත් කිරීම උදෙසා උසස් පෙළ විභාගය ඉහළින් සමත් වූ සිසුන් හට සිය ප්‍රථම උපාධිය ජාත්‍යන්තර ඉහළ ශ්‍රේණිගත කිරීමක් සහිත විදේශීය විශ්වවිද්‍යා‍වල හැදෑරීම සඳහා අවශ්‍ය ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025 අයවැය යෝජනාවක් මඟින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන්කර ඇති බව රජය පවසයි.

මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ අන්තර්ජාතික විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම් දර්ශකයන්හි පළමු ස්ථාන 500 අතර පවතින, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වීම් සිදුකෙරෙන විදේශීය විශ්වවිද්‍යාල වෙතින් උපරිම වසර 04ක් සඳහා උපාධි පාඨමාලා සම්පුර්ණ කිරීමට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට යෝජිතය.

එම වැඩසටහන මඟින් පස් අවුරුදු සැලැස්මක් යටතේ සිසුන් 200ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති අතර, එහි ප්‍රථම අදියර යටතේ 2025 වසර සඳහා සිසුන් 20ත් 50ත් අතර සංඛ්‍යාවක් තෝරා ගැනීමට අපේක්ෂිතය.

අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ප්‍රධාන විෂය ධාරාවන් යටතේ ඉහළම ඉසෙඩ් අගය (z – score) සහිත සිසුන්ට මේ සඳහා අයදුම් කිරීමට අවස්ථාව ලබා දෙනු ලබයි.

එකී අයදුම්පත් අතරින් සුදුසු සිසුන් තෝරා ගැනීම විශ්වවිද්‍යාල මහාචාර්යවරුන්ගෙන් සහ ආචාර්යවරුන්ගෙන් සමන්විත ප්‍රවීණ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් මඟින් සිදුකරනු ලබයි.

ඒ අනුව, යෝජිත ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

2026 අයවැය ඔක්තෝබරයේ දී

Published

on

By

2026 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත 2025 ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම 2025 නොවැම්බර් මාසයේ දී සිදුකිරීමටත්, තෙවන වර කියවීමේ අයවැයි විවාදය 2025 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පැවැත්වීමටත් හැකි වන අයුරින් 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

“නිෂ්පාදන ආර්ථිකයක් සහ සෑම දෙනාම ආර්ථික සංවර්ධනයට දායක කරගැනීම” යන තේමාව පදනම් කර ගනිමින් 2026–2030 රාජ්‍ය මුල්‍ය රාමුව හා රාජ්‍ය මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සහ ජාතික ප්‍රතිපත්ති රාමුව වන “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන ප්‍රතිපත්ති රාමුවට අනුගතව 2026 වර්ෂය සඳහා වන අයවැය සකස් කිරීමට අපේක්ෂිතය.

2026 අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේ දී ජාතික ප්‍රතිපත්ති රාමුවෙහි ඇතුළත් ප්‍රමුඛතාවන් සහ ග්‍රාමීය සංවර්ධන මූලාරම්භයන් කෙරෙහි මූලිකත්වයක් ලබා දීමට අපේක්ෂා කෙරේ.

2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ විධිවිධානයන්ට සහ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූලව අමාත්‍යාංශ විෂය පථයන් යටතේ ඒ ඒ අමාත්‍යාංශ විසින් හඳුනාගනු ලබන ව්‍යාපෘති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය ප්‍රතිපාදන සලසා දීම සඳහා සියලුම අමාත්‍යාංශ වෙතින් යෝජනා ලබාගැනීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved