Connect with us

පුවත්

ඉල්ලීම් දුන්නොත් වැට් බදු වැඩිවෙයි

Published

on

වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයන් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක වැට් බද්ද 20% – 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට සිදුවනු ඇති බවත්, මහජනතාව පීඩාවට පත් කරමින් එවැනි ඉල්ලීමක් සපුරාලීමට රජයට හැකියාවක් නොමැති බවත් මහා භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පැවසීය.

මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ බව සඳහන් කර සිටියේ රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සම්බන්ධව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ අද (08) පැවති සාකච්ඡාවට එක් වෙමිනි.

මේ වන විට රාජ්‍ය සේවයට අදාළ වෘත්තීය සමිති කිහිපයක් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ක්‍රියාත්මක කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වූ අතර වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති ඉල්ලීම් සඳහා ලබාදිය හැකි සාධනීය විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් කෙරිණ.

මෙම වසරේදී වැටුප් වැඩිකිරීමක් ලබාදීමේ හැකියාවක් නොමැති නමුත්, රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතාවන් පිළිබඳව සොයාබැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුව මගින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශ සැලකිල්ලට ගනිමින් 2025 අයවැය මඟින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනයක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවද මෙහිදී සඳහන් කෙරිණි.

රාජ්‍ය සේවකයන්ට රුපියල් දස දහසක වැටුප් වැඩි වීමක් ලබා දුනහොත් දැනට පවතින වියදමට අමතරව වාර්ෂිකව තවත් රුපියල් බිලියන 140ක් පමණ අවශ්‍ය වන බවත්, රුපියල් විසි දහසකින් වැටුප් වැඩි කළහොත් ඒ සඳහා තවත් රුපියල් බිලියන 280ක් අවශ්‍ය වන බවත් මහා භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දුන්නේය.

මෙම ආදායම සොයාගැනීමට නම් දැනට තිබෙන ආදායම උපරිම ලෙස කළමනාකරණය කර ගත්තද, බදු වැඩිකිරීමට ද සිදු වන බව පෙන්වා දුන් ඒ මහතා රුපියල් දස දහසකින් වැටුප් වැඩි කිරීමට නම් 2% ක පමණ වැට් බදු වැඩි කිරීමක් සිදු කළ යුතු බවද  සඳහන් කළේය.

එසේම වෘත්තිය සමිති ඉල්ලා සිටින වැටුප් වැඩි කිරීම සිදු කිරීමට නම් 3%කට වඩා වැට් බදු වැඩි කිරීමට සිදුවන බව පෙන්වා දුන් ඒ මහතා එය මෙම අවස්ථාවේ සිදු කළ නොහැක්කක් බවත් දැනටමත් වැට් බද්ද  18% ක් වැනි උපරිම මට්ටමක පවතින බවත් සඳහන් කළේය.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සමඟ මීට පෙර මෙන් මහ බැංකුවට මුදල් මුද්‍රණය කිරීමේ අවස්ථාවක් ද නොමැති බව පෙන්වා දුන් මහා භාණ්ඩාගාර ලේකම්වරයා එසේ සිදු කළහොත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන සාර්ථක කර ගැනීමට අවස්ථාව නොලැබෙන බවද කියා සිටියේය.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ද මෙහිදී අදහස් දැක්වු අතර මෙම වසරේදී රාජ්‍ය සේවකයන්ට නැවත වැටුප් වැඩි කිරීමක් සිදු කිරීම අසීරු කාර්යයක් වුවත් ලබන වසරේ අයවැයෙන් ඒ සඳහා ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපතිවරයා පැහැදිළිව ප්‍රකාශ කර තිබෙන බව ඒ මහතා සඳහන් කළේය.  

වැටුප් සම්බන්ධයෙන් පවතින විෂමතා අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා වෙනම විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව ද ඒ මහතා පැවසීය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved