Connect with us

පුවත්

උතුරු – නැගෙනහිර බිම්බෝම්බ ඉවත් කරන්න තවදුරටත් ජපානයේ සහය

Published

on

ජපන් රජයේ  “බිම් මට්ටමේ මානව ආරක්ෂණ ආධාර ප්‍රදාන වැඩසටහන යටතේ (GGP)” යටතේ බිම්බෝම්බ ඉවත් කිරීමේ ව්‍යාපෘති දෙකකට ආධාර ප්‍රදාන ගිවිසුම් අත්සන් කිරීමක් ඊයේ (27) කොළඹදී සිදුකරුණි.

මෙම අවස්ථාවට මෙරට සිටින ජපන් තානාපති – මිසුකොෂි හිදයකි මහතා, මැග් ආයතනයේ (MAG) මෙරට අධ්‍යක්ෂ ක්‍රිස්ටි මැක්ලෙනන් මෙනවිය සහ HALO භාරයේ වැඩසටහන් කළමනාකරු ස්ටීවන් හෝල් මහතා මෙම අවස්ථාවට එක්විය.

ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා සිය සහය ලබා දීම සඳහා MAG සහ HALO භාරය සමඟ එක්ව මෙම ව්‍යාපෘති දෙක සඳහා ජපන් රජය විසින් ඇමරිකානු ඩොලර් 729,925 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 238 ක) සම්පූර්ණ මුදලක් මෙම ආයතන දෙකට ලබා දී ඇත. ජපානය 2002 වසරේ සිට ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ප්‍රධාන දායකත්වය සපයනු ලබන අතර, දැනට ලබා දී ඇති මුළු ආධාර ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 44 ඉක්මවයි.

MAG සහ HALO ආයතන මෙම ව්‍යාපෘති දෙක හරහා උතුරු සහ නැගෙනහිර පළාත්වල 10,977 කට ආසන්න අභ්‍යන්තර අවතැන් වූවන් සඳහා නැවත පදිංචි කිරීම සහ ජීවනෝපාය ආධාර ලබා දීම සඳහා ඒක්ව දායක වී කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජපානයේ ශ්‍රී ලංකාව සඳහා වන නිල සංවර්ධන ආධාර ප්‍රතිපත්තියේ ප්‍රමුඛතා ක්ෂේත්‍රවලින් එකක් වන්නේ ගැටුම්වලින් පීඩාවට පත් ප්‍රදේශ සංවර්ධනය කිරීමයි.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාකාරකම්වල ප්‍රමුඛතම පරිත්‍යාගශීලියෙකු ලෙස ජපන් රජය සිය කාර්යභාරය ඉටු කරමින් සිටින බවත්, බිම් බෝම්බවලින් තොර ශ්‍රී ලංකාවක් සාක්ෂාත් කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය මේ තුළින් අඛණ්ඩව ලබා දෙන බවත් තානාපති මිසුකොෂි මහතා තරයේ අවධාරණය කළේය.

මෙම ආධාර ප්‍රදානය පිළිබඳව අදහස් දක්වමින්, ක්‍රිස්ටි මැක්ලෙනන් මහත්මිය මෙසේ ප්‍රකාශ කළාය :

“2002 වසරේ, ශ්‍රී ලංකා බිම්බෝම්බ ක්‍රියාකාරී වැඩසටහන ආරම්භයේ සිටම ජපානය බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්ෂේත්‍රයේ ප්‍රධාන පරිත්‍යාගශීලියෙකි. ජපන් රජයේ ආධාර තුළින් පමණක්, MAG විසින් වර්ග මීටර් 3,300,000කට අධික බිම්බෝම්බ වලින් දූෂිත භූමි ප්‍රමාණයක් දැනට නිදහස් කර ඇති අතර, දශක දෙකකට අධික කාලයක් පැවති ගැටුම්වලින් ඒම භූමියේ ඉතිරිව තිබූ පුපුරණ ද්‍රව්‍ය සහ යුද ශේෂයන් (ERW) 16,500කට වඩා ඉවත් කර ඇත. මෙම නව ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ අමතර වර්ග මීටර් 194,896ක භූමි ප්‍රමාණයක් එළිපෙහෙළි කර, නේවාසික සහ නැවත පැමිණෙන ප්‍රජාවන්ට ජීවිත තර්ජන හා තුවාල සිදුවීමේ සම්භිවිතාව අවම කර 5,577  දෙනෙකුගේ ජීවනෝපාය ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය හරහා සැකසූ ආරක්ෂිත භූමිය, කෘෂිකාර්මික සංවර්ධනය, යටිතල පහසුකම් සඳහා ප්‍රවේශය ලබා දීම මෙන්ම ස්වභාවික සම්පත් සඳහා යොදා ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙරට දිස්ත්‍රික්ක අටක් පුරා 1,000කට අධික කාර්ය මණ්ඩලයක් අප විසින් සේවයේ යොදවා ඇති අතර  බිම් බෝම්බ සහ අනෙකුත් ERW ව්‍යසනයෙන් රට මුදවා ගැනීමට උපකාර කිරීම සඳහා MAG 2002 සිට ශ්‍රී ලංකාවේ කටයුතු කර ඇත. අද දින ජපන් රජයෙන් මෙම විශේෂිත වූ, අඛණ්ඩ සහයෝගය ලැබීම ගැන අපි ආඩම්බර වන අතර ශ්‍රී ලංකාව බිම්බෝම්බ  වලින් නිදහස් වන තෙක් අපගේ හවුල්කාරිත්වය දිගටම පවතිනු ඇතැයි ද අපි බලාපොරොත්තු වෙමු.

මෙම ආධාර ප්‍රදානය පිළිබඳව ස්ටීවන් හෝල් මහතා මෙසේ පැවසීය :

“HALO භාරය, ජපන් රජයට, එහි අඛණ්ඩ විශ්වාසය සහ ත්‍යාගශීලී සහයෝගය වෙනුවෙන් ඉතාමත් කෘතඥ වෙනවා – ඔවුන් අපගේ දීර්ඝතම ආධාර සපයන්නායි. උතුරු ශ්‍රී ලංකාවේ යුද්ධයේ පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමට වසර 21ක් පුරා ලැබුනු මානුෂීය සහය  තුළින් HALO හට පුද්ගල නාශක බිම් බෝම්බ 283,000කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සහ විනාශ කිරීමට හැකි වූ අතර තවද, මීට පෙර බිම්බෝම්බ වලින් දූෂිත වූ භූමි ප්‍රමාණයෙන් කිලෝමීටර් 117ක් මුදා හැරීමට අප සමත් වී ඇත. ඒමෙන්ම 280,000 කට අධික අභ්‍යන්තර අවතැන් වූවන් ආරක්ෂිතව නැවත පදිංචි කිරීමට මෙමගින් හැකියාව ලැබී ඇත. තවද ජපානයෙන් ලැබෙන අරමුදල් දේශීය කාන්තාවන් සහ පිරිමින් සිය ගණනකට ස්ථාවර ආදායමක් සහ ජීවනෝපායක් ද සපයයි. HALO භාරයට සහ තවත් බිම්බෝම්බ ඉවත් කරනා ආයතන තුනකට ජපන් රජයෙන් ලැබෙන මෙම අඛණ්ඩ සහයෝගය, 2028 ජුනි 1 වන විට, හඳුනාගන්නා ලද සියලුම බිම්බෝම්බ සහ අනෙකුත් පුපුරණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ වගකීම් ඉටු කරමින්, පුද්ගල නාශක බිම්බෝම්බ තහනම් කිරීමේ ගිවිසුමට ශ්‍රී ලංකා රජය එක් පියවරක් සමීප කරවීමට මෙම වැඩසටහන පියවර ගෙන ඇත.

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved