Connect with us

පුවත්

“එයා වෙන කෙනෙක් ළඟට යයි කියලා බය හිතුණ නිසා මැරුවා”

Published

on

පෙම්වතියගේ ගෙල කපා මරා දැමුවේ ඇය තමා අතහැර යනු ඇති බවට පැවති බිය නිසා යැයි කොළඹ තුරඟ තරග පිටියේදී සිය පෙම්වතියගේ ගෙල කපා මරා දැමූ පෙම්වතා විසින් පොලිස් ප්‍රශ්න කිරීමේදී ඊයේ (17) පවසා තිබේ.

පෙම්වතා විසින් මෙසේ ගෙල කපා මරා දමා ඇත්තේ කොළඹ සරසවියේ විද්‍යා පීඨයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවියකගේය.

හෝමාගම කිරිවත්තුඩුව පුබුදු උයනේ පදිංචි චතුරි හංසිකා මල්ලිකාරච්චි (24) නමැති මේ සිසුවිය මෙසේ සිය පෙම්වතාගේ පිහිපහරකින් ඝාතනය වූයේ ඊයේ (17) සවස 1.00ට පමණය.

ඝාතනය වූ සිසුවියගේ මවුපියන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ලබා සිටින්නන්ය.

කිරිවත්තුඩුව අඹගස් හන්දියේ ඔසුසලක් ඔවුන් මේ විට පවත්වාගෙන යයි.

ඝාතනයට ලක් වූ චතුරි හංසිකා එම පවුලේ වැඩිමල් දරුවා වන අතර ඇයට තවත් නැඟණියක් සිටින බවත් ඇය තවමත් පාසල් යන ශිෂ්‍යයාවක් බවත් ප්‍රදේශවාසීහු පවසති.

නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ චතුරි හංසිකා කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයට තේරී පත්ව ඇත්තේ උසස් පෙළ ඉහළින්ම සමත්වය.

ඝාතනය වූ මේ සිසුවිය යූටියුබ් නාලිකාවක්ද පවත්වාගෙන යන බවත් එය අධ්‍යාපන නාළිකාවක් බවත් ඇගේ සරසවි මිතුරෝ සඳහන් කරති.

ඇගේ ගෙල කපා මරා දැමූ පෙම්වතාද කොළඹ සරසවියේ ඇය සමඟ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන සිසුවෙකි. වැල්ලම්පිටිය චිත්තම්පහුවේ පදිංචිකරුවකු වන ඔහු පසිඳු චතුරංග නමැති අයෙකි.

වැල්ලම්පිටිය, කොළොන්නාව, කොටිකාවත්ත, කිරිබත්ගොඩ ආදි ප්‍රදේශවල 9,10,11 ශ්‍රේණි සඳහා උපකාරක පන්ති පවත්වමින් මේ සිසුවා නමක්ද දිනාගෙන සිටින්නකු බව පොලිසිය කියයි.

“මට එයාව ඕනේ. එයා නැතිව බැහැ. මම එයාට අවංකවම හදවතින්මයි ආදරේ කළේ. එයා වෙන කෙනෙක් ගාවට යන්න හැදුවා“ මේ සිසුවාව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහු පොලිස් නිලධාරීන් හමුවේ මෙවැනි දෑ පවසමින් හඬා ඇතැයිද පොලිස් තොරතුරු සඳහන් කළේය.

මේ සිසුවා විසින් සිය පෙම්වතිය වෙනත් තරුණයකු සමඟ පෙම් සම්බන්ධයක් ඇති කර ගනීවි යැයි බියකින් සිට ඇති බවත් ඒ හේතුව නිසා ඇයට දැඩි තහංචි දමා තිබී ඇති බවත් විමර්ශනවලින් පෙනී ගොස් ඇත. ඇයට වෙනත් සිසුන් සහ පිරිමින් සමඟ කථා කිරීමටද ඔහු තහනම් කර තිබී ඇත.

“එයා මම කියපු දේවල් ඇහුවේ නැහැ. ඒ නිසා මට වෙන කරන්න දෙයක් තිබ්බේ නැහැ“ යැයිද සැකකාර සිසුවා පොලිස් ප්‍රශ්න කිරීමේදී පවසා තිබේ.

සිසුවියගේ ගෙල කැපූ පිහිය ඔහු විසින් වෙළෙඳසලකින් මිලදී ගෙන කල්තියාම ඇයව මරා දැමීමට සැලසුම් කරගෙන ඇති බවද විමර්ශනවලින් පෙනී ගොස් ඇත.

එම පිහිය ඔහු සිය බෑගයේ දමාගෙන ඊයේ (17) ඇය සමඟ තුරඟ තරග පිටියට දහවල් 12.30ට පමණ පැමිණ ඇත.

ඇය සමඟ කථාබහ කරමින් සිට ඇත.

එහිදීද සිසුවා විසින් සිය පෙම්වතියට නීති දමා සිර කිරීමට උත්සාහ දරා ඇති බවත් ඇය එම නීති පිළි ගැනීමටත් ඔහු සමඟ තවදුරටත් මෙසේ ඇසුරු කිරීමට නොහැකි බව පැවසීමත් සමඟ කලබල වී ඇගේ ගෙල කපා ඝාතනය කර ඇති බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

තුරඟ තරග ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල පඩිපෙළේ අසුන්ගෙන සිටියදී සවස 1.00ට පමණ මේ ඝාතනය සිදුව ඇති බව පොලිසිය කියයි.

සිය පෙම්වතියව ඝාතනය කිරීමෙන් පසු ඔහු සිය ගමන්මල්ලෙහි ලේ තැවුරුණු පිහිය දමාගෙන දෑතේ ගෑවුණු ලේ බෑගයේ පිහිදමින් තුරඟ තරග පිටියේ සිට කොළඹ සරසවිය දෙසට දිවගොස් ඇති බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

එම සැකකාර සිසුවා විශ්වවිද්‍යාල දෙසට දිව යන අයුරු ආරක්ෂක කැමරා කිහිපයකම සටහන් වී තිබී ඇත.

විශ්වවිද්‍යාලයට ගිය මේ සිසුවා පසුව එහි සිට වැල්ලම්පිටියේ පිහිටි නිවෙසට ගොස් සිය ජංගම දුරකතනය හා හැඳුනුම්පත නිවෙසේ තබා පිටව ගොස් ඇති බවද පොලිසිය කියයි.

එසේ ඔහු නිවෙසින් පිටව ගියේ කැලණි ගඟට පැන සියදිවි හානිකර ගැනීමේ සූදානමකින්දැයි සැකයක්ද පොලිස් විමර්ශනවලින් මතු වී තිබිණි.

නමුත් ඔහු නැවත නිවෙසට පැමිණ සිටියදී ආරක්ෂක කැමරා දර්ශනවලින් මේ සිසුවාගේ අනන්‍යතාව හඳුනාගත් පොලිස් කණ්ඩායමක් වැල්ලම්පිටියේ නිවෙසට පැමිණ තිබේ.

එම පොලිස් කණ්ඩායම වැල්ලම්පිටියේ නිවෙසට පැමිණෙන විට සැකකාර සිසුවා සාමාන්‍ය ලෙස එහි රැඳී සිටි ඇත.

පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඔහුගේ ගමන්මල්ල පරීක්ෂා කර තිබේ.

එහි තිබී සිසුවියගේ ගෙල කපා ඝාතනය කිරීමට යොදාගත් ලේ තැවුරුණු පිහියද පොලිසිය විසින් සොයාගෙන ඇත.

සිසුවියගේ ගෙල කැපීමෙන් පසු විසිරුණු ලේ බෑගයේද වැදී තිබෙනු ඇතැයි පොලිසිය කියයි.

මූලාශ්‍රය – දිනමිණ

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved