Connect with us

පුවත්

ඕමාන තානාපති කාර්යාල නිලධාරියා මෙරටට ගෙන්නන්නැයි පෙබරවාරියේදීත් කියලා!

Published

on

මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින ඔමාන තානාපති කාර්යාල නිලධාරියාට එරෙහිව පැමිණිලි මේ වසරේ පෙබරවාරි මාසයේ සිට ලැබී තිබුණද ඒ සදහා තීරණයක් ගැනීම ප්‍රමාද වී ඇති බව ඊයේ (22) පැවති රජයේ ගිණුම් කාරක සභාවේදී අනාවරණය  විය.

අතිරේක විගණකාධිපති. පී.එල්.කේ පෙරේරා මහතා මෙහිදී පෙන්වා දුන්නේ 2022.02.28 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයා විසින් මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලා ඇති බවයි.  එසේම මෙම පුද්ගයා සම්බන්ධයෙන් මුදල් වංචා, සහතික වංචා ආදිය වාර්තා වී තිබූ බවද අතිරේක විගණකාධිපතිවරයා පැවසීය.

 මේ අනුව මෙම පුද්ගලයා තනතුරේ රැදී සිටියහොත් පරීක්ෂණවලට බාධා විය හැකි බැවින් වහාම මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස  විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති  මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා ‍මෙම වසරේ පෙබරවාරි මසදී අමාත්‍යාංශයෙන් ඉල්ලීමක්ද කර ඇති බව මෙහිදී අනාවරණය විය. මාධ්‍ය ඔස්සේ මෙම සිදුවීමට විශාල ප්‍රචාරයක් ලැබෙන තුරු පියවර නොගැනීම සම්බන්ධයෙන්  කමිටුව දැඩි අප්‍රසාදය මීට අදාළ නිලධාරීන්ට පළ කළ සිටියහ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී  පවසා සිටියේ 2022.02.28 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපතිවරයාගේ ඉල්ලීමට අනුව මෙම නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර විගණන කාර්යාලය හරහා පරීක්ෂණයක්  සිදු කළද චෝදනා තහවුරු කිරීමට නොහැකි වූ බවයි.  ඔමානයේ මෙරට තානාපතිවරයාගෙන් වාර්තාවක් කැදවීමෙන් අනතුරුව සහ නොවැම්බර් මාසයේ 4 වැනිදා පොලිසියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලැබුණු පරීක්ෂණ වාර්තාව මත කාර්යාංශය මගින් නිලධාරියාගේ වැඩතහනමකට ලක් කළ බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහිදී  පවසා සිටියේය.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් කඩිනමින් පියවර නොගැනීම සම්බන්ධයෙන් කමිටුව දැඩි අප්‍රසාදය පළ කළ අතර ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය.

මෙහිදී කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ තමා මෙම අමාත්‍යාංශයට පැමිණියේ මෙම වසරේ මැයි මාසයෙන් පසුව වුවද වගකීම භාර ගන්නාබවයි. මෙහිදී කමිටුව පෙන්වා දුන්නේ ලේකම්වරයා වෙනස් වුවද නිලධාරීහු මෙහි වගකීම දැරිය යුතු බවයි.

හෙදියන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක විදෙස් රැකියා සදහා පවතින ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් නොමැති වීම පිළිබදවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. මෙහිදී කෝපා කමිටුව පෙන්වා දුන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වගකීම වන්නේ නුපුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම නොව  අදාළ අනෙකුත් සියලු අමාත්‍යාංශ සහ ආයතන සමග ඒකාබද්ධ ප්‍රවේශයකින් කටයුතු කර විදෙස් රැකියා සදහා ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම බවයි.

මේ අනුව කමිටු සභාපතිවරයා කම්කරු හා විදෙස් රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කළේ විදේශ කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අනෙකුත් අදාළ සියලු ආයතන සමග මනා සම්බන්ධීකරණයෙන් විදෙස් රැකියාවල පවතින ඉල්ලුමට සරිලන පරිදි පුහුණු ශ්‍රමිකයන් යැවීම සදහා වැඩපිළිවෙලක් මාස 2ක් තුළ සකස් කරන ලෙසයි. එසේම මේ සදහා කෝපා කමිටුවේ අනුකමිටුවක්ද පත් කරන බව කෝපා සභාපති කබීර් හෂීම් මහතා පැවසීය.

පුවත්

තීරුබදු අඩු කරගන්න බැරි වුණේ අහංකාරකම හින්දා

Published

on

By

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවේ ආනයන සඳහා වන තීරුබදු සියයට 30කින් ඉහල නැංවීම රජයේ නියෝජිතයින්ගේ දුර්වල හා ආත්මාර්ථකාමී සාකච්ඡාවල ප්‍රතිඵලයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පෙළපොත් විශේෂඥයින්, සැබෑ ලෝකයේ සංකීර්ණ සාකච්ඡා සඳහා යොමුකිරීමේ අයහපත් ප්‍රතිඵල මින් පෙන්නුම් කෙරෙන බව විපක්ෂ නායකවරයා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

ඔටිසම් තත්ත්වයෙන් පෙළෙන ළමුන් වෙනුවෙන් දිවා සුරැකුම් මධ්‍යස්ථාන

Published

on

By

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ ඒකාබද්ධ සැලැස්මක සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත ඉදිරිපත් කරන කරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන පිළිබඳව ප්‍රජාශක්ති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ඊයේ (09) පස්වරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ලේකම්වරයා විසින් මෙලෙස අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. මෙම වැඩසටහන, ඊට අදාළ රේඛීය අමාත්‍යාංශ සහ ආයතන මගින් ක්‍රියාත්මක කෙරෙන අතර ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සම්බන්ධීකරණ කටයුතු සිදු කෙරේ.

මෙහිදී, මෙවර අයවැයෙන් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට වෙන් කර තිබෙන රුපියල් මිලියන 250ක ප්‍රතිපාදන සමාජසේවා දෙපාර්තමේන්තුව මගින් දිස්ත්‍රික් ලේකම්වරුන්ට ලබා දීම, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව සම්පත් සංවර්ධන සැලැස්මක් සකස් කිරීම, මෙම වැඩසටහන අදාළ රේඛීය ආයතන සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට විද්‍යාත්මක පසුබිමක් සහිත නව මොඩලයක් සකස් කිරීම ඇතුළු කරුණු පිළිබඳව සාකච්ඡා විය. එම කරුණුවලින් සමන්විත යාන්ත්‍රණයක් සකස් කිරීමේ සංකල්පීය යෝජනාව සති දෙකක් ඇතුළත සකස් කරන ලෙසට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා එහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.ආර්. ඔල්ගා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක, අතිරේක ලේකම්  එච්.ඒ.හේමා පෙරේරා,  සමාජ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රජා සෞඛ්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වරුණි රසාදරි, ප්‍රජා සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආසිරි හේවාමාලගේ සහ රිජ්වේ ආර්යා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සංතුශිත සේනාධිපති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

පුවත්

සිංගිමලේ ජලාශයෙන් ජලය ලබා ගැනීම තාවකාලිකව නතර කරයි

Published

on

By

හැටන් – සිංගිමලේ ජාලාශයෙන් ජලය ලබා ගැනීම ජල සම්පාදන මණ්ඩලය විසින් තාවකාලිකව නතර කර තිබේ.

ඒ සිංගිමලේ ජලාශයට පාසල් සිසුවෙකු වැටී ජීවිතක්ෂයට පත්වීමත් සමගය.

එම සිද්ධියෙන් පසු අඹගමුව ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුලු පිරිසක් අද එම ජලාශ පරීක්ෂාවක යෙදී ඇති බව සඳහන්ය.

අනතුරුව සිදුකළ පරික්ෂාවකදී අනාවරණය වී ඇත්තේ දැනට සිංගිමලේ ජලාශයේ ජලය පානය සදහා සුදුසු නොවන බවටය.

එතෙක් වෙනත් ජල මූලාශ්‍රයකින් ජලය ලබා ගෙන පිරිපහදු කොට පාරිභෝගිකයන්ට සීමා සහිතව පානීය ජලය නිකුත් කිරීමට බලධාරීන් තීරණය කර තිබේ.

පසුගිය 09 වනදා සිංගිමලේ ජලාශයට වැටීමෙන් 18 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත් විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved