පාර්ලිමේන්තුවේ ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිකර ගත්, 2022 වසරේ මන්ත්‍රීවරිය සම්මානය ද ලැබූ මාතලේ රෝහිණී කවිරත්න ඔක්තෝබර් 28 දින නිවේදනයක් මගින් සල්ලි අච්චු ගැසීම ගැන බෝම්බය පත්තු කළාය.
පැය කිහිපයක් පියාපත් ලැබූ එය ප්‍රවෘත්තියට, පසුදා කැබිනට් මාධ්‍ය හමුවේ දී අමාත්‍යතුමා විජිත හේරත් උත්තර දුන්නේය. මහ බැංකුව නිශ්චිත ඉලක්කම් රහිතව ද්‍රවශීලතාව ගැන සඳහන් කර සංකල්පීය පැහැදිලි කිරීමක් සිදු කළේය.
මාලිමාවේ ආර්ථික කමිටු සමාජික රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය නන්දසිරි කිහිඹියහෙට්ටි සහ මහාචාර්ය වසන්ත අතුකෝරල ද, දක්ෂණ කඳවුරේ මහාචාර්ය අමින්ද මෙත්සිල ද මහ බැංකුව සිදු කර ඇත්තේ වක්‍ර මුදල් අච්චු ගැසීමක් බව කීවේය.
සැබවින්ම සිදුවෙමින් ඇත්තේ කුමක් ද?
පසුගි රජයේ අවසන් මාස දෙකේ ‘උද්ධමනකාරී විවෘත වෙළෙඳපොළ මෙහෙයුම් පරතරය‘ (inflationary open market operations) රු. බිලියන 100 – 120 ක් විය. 2024 ඔක්තෝබර් 31දිනට රු. බිලියන 200 ඉක්වවීය. ප්‍රශ්න ඇත්තේ එතැනය.
ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන ආයතනයකි. 2023 අංක 16 දරණ ශ්‍රී ලංකා මහ බැංකු පනත හේතුවෙන් අයවැය මූල්‍යනය සඳහා රජයේ සුරැකුම්පත් මිලදී ගැනීමට තුළින් අතිවන මුදල් අච්චු ගැසීම සිදු කළ නොහැකිය. ජනාධිපතිවරණය දින, ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශ්‍රී ලංකා රජයේ ආරක්ෂ බැඳුම්කර වල මුහුණත අගය (CBSL Holdings of Gov. securities Face Value) රු. බිලියන 2,515.62 කි. එය මේ දක්වා අඩු – වැඩි වී නැත. සල්ලි අච්චු ගසා නැතැයි කියන්නේ එම අර්ථයෙනි. වෙනදා මෙන් මුදල් අමාත්‍යාංශය ලේකම්ට මුදල් ඉල්ලන ලිපිය ලියා, මහ බැංකු අධිපති, සමඟ එදිනම ‘මුදල් මණ්ඩලයේ‘ වාඩි වී දැන් සල්ලි අච්චු ගැසිය නොහැකි නිසා මේ කතාව ඇත්තය.
නමුත්, මහ බැංකුව සල්ලි අච්චු ගහන එකම ක්‍රමය එය නොවේ. තවත්, නිත්‍යානුකුල එනම්, මහ බැංකු පනතේ මුදල් සම්පාදනය සම්බන්ධයෙන් වන තහනමට පරිබාහිර රජයට ණය දිය හැකිය. සත්‍යවශයෙන් මහ බැංකුම මේ කරන්නේ එයයි.
කැබිනට් ප්‍රකාශක විජිත හේරත්, රෝහිනී කවිරත්න ගේ නම හෝ එහි කරුණු පැහැදිලි නොකරමින් බියගම මුද්‍රණාලයේ සිදුවන මුදල් ඇමති අත්සන සහිත නෝට්ටුව ගැන ප්‍රකාශයක් කළේය. එය කිසිවෙකුත් පිළිගත්තේ දැයි සැක සහිතය.
මහ බැංකුව විසින් ඉතා පරිස්සම් සහගත ලෙස, වචන හසුරුවමින් තමන් කළ දේ, යාන්ත්‍රණය හා අවශ්‍යතාව පැහැදිලි කරනු ලැබීය. එහි ඉතා පැහැදිලිව කියවෙන යටිපෙල අරුත නම් ‘අපි විද්‍යාත්මක ලෙසත්, විධිමත් ලෙසත් එය සිදු කරනවා‘ යන්න මිස ප්‍රමුඛ තර්කය බිඳ දැමීම හෝ සැබෑ සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කිරීම නොවේ. පොලී අනුපාතය රොකට් වේගයෙන් ඉහළ යාම පාලනය එමගින් සිදුවිය හැකි බවද කියවුණි.
එක රැයක්, දවසක් දෙකක් තුල පොලී අනුපාත ඉහළ යන්නේ කෙසේ දැයි මහ බැංකුවේ වෘත්තිකයෝ දැන් පැහැදිලි කළ යුතුව ඇත. මහ බැංකුව ණය ලබා දීමේ සාමාන්‍ය පොලී අනුපාතයට වඩා අඩු පොලියකට, සල්ලි පොම්ප කරන්නේ ඇයි? දැයි ජනමාධ්‍ය මහ බැංකුවෙන් ඇසිය යුතුව ඇත.
සරළවම, මහ බැංකුව අඩු පොලියට අති විශාල මුදලක් පද්ධතියට පොම්පකර ඇත.
මුදල් මණ්ඩලය මෙම තීරණය ගැනීමේ දී, අවසාන ඉලක්කය කර ගත්තේ කුමක්දැයි රටට පැහැදිලි කළ යුතුය.
ගෝඨාභය – ලක්ෂ්මන් – කබ්රාල් යුගය
ගෝඨාභය ලංකාව හැර දමා පලා යන 2022 ජූලි මාසයේ දී, CBSL Holdings of Gov Securities (Face Value) (Rs. bn) 2,111.44 ක් විය. මෛත්‍රීපාල – රනිල් විසින් ගෝඨාභයට 2019 දී රට බාර දෙන විට එය රු. බිලියන 74.74 ක් විය. ගෝඨාභය රු. බිලියන 2,036.7 ක් අච්චු ගැසුවේය. මේ අපරාධය සිදු කරන විට මම සතිපතා රටේ ආර්ථිකයට ඇති විය හැකි ව්‍යසනය මාධ්‍ය මගින් අනාවරණය කළෙමි. අවසානයේ අජිත් කබ්රාල්ට, බැසිල් රාජපක්ෂ ඇතුළු ආර්ථික ඝාතකයින්ට නඩු පැවරිමි. රට බංකොළොත් විය.
ගෝඨාභය පාලන සමයේ එනම්, 2022 වසරේ දී රටේ ආර්ථිකයට නිකුත් කර තිබූ රුපියල් ප්‍රමාණය බිලියන 341 කි. 2024 ඔක්. 11 දින වන විට නිකුත් කර තිබූ මුදල් ප්‍රමාණය රු. බිලියන 175 කි.
පසුගිය මාසයේ ණය ගන්නා වේගයත්, භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ‘රෝල් ඕවර්‘ කරන වේගයත් ජනතාවට පෙනේ. දැනේ. සවිඥානික ජනතාවගේ මේ බිය සහ සැකය එහි ප්‍රතිඑලයකි. ඩබ්ලිව්.ඩී. ලක්ෂමන් – කබ්රාල් විසින් ආර්ථිකය අවුලට හෙළු අවධියේ දී සල්ලි අච්චු ගැසීමේ යාන්ත්‍රණ සියල්ලම ‘සාමාන්‍ය‘ යැයි හැගෙන තත්වයක් මතු විය. කබ්රාල් රට බංකොලොත් වන්නට මාස පහකට පෙර කියූ දේ තර්ක අමතක නැත. කබ්රාල් කියූ කතා තරම් බරපතල විහිළු තවම නම් මාලිමාවේ අපේක්ෂකයෙකු හෝ කර නැත. ආර්ථික ඝාතකයා යැයි විරුදාවලිය ලත් පී.බී.ජයසුන්දර අවසානයේ රාජ්‍ය සේවක වැටුප් කපන්නට යෝජනා කළ හැටි මතකය. සර්ව පාක්ෂික සමුළුවේ දී, බැසිල් රාජපක්ෂ – රනිල් වික්‍රමසිංහ අතර IMF ගැන සිදු වූ වචන හුවමාරුව ද අපට මතකය.
ගෝඨාභය රට බාරගත් දා සිට, පලා යන දින තෙක් රු. බිලියන 2,111.44 ක් අච්චු ගැසූවේය. රනිල් ගේ පාලනයේ අවසාන මාස 8 තුල අච්චු ගැසූ රු.බි. 228 ක් නැවත අවශෝධනය විය. (රු. බිලියන 2,743.62 සිට බි. 2,515.62 ක් දක්වා අඩුවිය) රනිල් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට අච්චු ගැසූ ශුද්ධ මුදල් ප්‍රමාණය රු. බි. 148.64 කි.
මාසයක් තුල රු.බි. 80 – 100 ක් පොම්ප කළ (අච්චු ගැසූ විට) විට බියක් දැනේන්නේ ඒ නිසාය.
2023 න් පසුව මහ බැංකුව සල්ලි අච්චු නවතා පද්ධතියේ වැඩි මුදල් ආපසු කැඳවීම, විදේශ සංචිත වර්ධනය කර ගැනීම, පොලී අනුපාත පාලනය, උද්ධමන පාලනය ගැන මහ බැංකුවට ප්‍රශංසා කර ඇත්තෙමි. පසුගිය සති හතර තුල බොහෝ දේ ආපසු හැරවෙමින් ඇති සෙයකි.
රනිල් ගේ ආණ්ඩුව බිංදුවට බැස්සවූ උද්ධමනය, නැවත 5% සීමාවට ගෙන ඒමට නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය හේතු වන බව මතුපිටින් පෙනෙන තත්වයයි. කුමන අර්ථයෙන් ගත්ත ද, මහ බැංකුව විසින් මේ කරන්නේ, සල්ලි පොම්ප කිරීම තුලින් භාණ්ඩ හා සේවා මිල ඉහළ නැංවීමය. රාජ්‍ය මුල්‍ය කළමනාකරණයට එය අත්‍යවශ්‍ය බව සත්‍යයකි.
2024 ජනවාරි මස රු. 100,000 කින් කළ දේ, අද රු. 95,000 කළ හැකි යැයි මහ බැංකු උද්ධමන වාර්තාව කියයි. ප්‍රශ්න ඇත්තේ තව මාස තුනකින් ජනවාරි (බෝතල් පත්තර) මාසයේ දී අද, රු. 95,000 කින් කරන දේ කරන්නට සල්ලි කොච්චර අවශ්‍ය වනු ඇති ද? යන්නය.
රජිත් කීර්ති තෙන්නකෝන්