Connect with us

පුවත්

කතරගම පඩුරුවලට කපුවෝ ඇර ගනිති; නිළමේ වොයිස් කට් බෙදයි

Published

on

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබේ.

දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම ඇති වී තිබේ.

මෙම මාසය බාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක යන අය ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් වී තිබේ. තවද මෙම පහරදීම සම්බන්ධයෙන් කතරගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කරන ලදී.

මේ සම්බන්ධව කතරගම පොලිසිය මගින් ගයාන් අරාපක්ෂ නමැති කපුවා ඊයේ (01) පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර තිබේ.

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළි වී ඇත.

පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නා බවත්, ඒ මුදල බෙදා ගැනීමට නොහැකි වූ විට විවිධ ගැටුම් හට ගන්නා බවත්,  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඥාතියකු වන රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතා මාධ්‍යට පවසා තිබේ.

ඔහු වැඩිදුරටත් මෙසෙද පවසා ඇත.

“කතරගම දේවාලයේ යතුර බස්නායක නිලමේ බාරයේ මෙච්චර කාලයක් තිබුණා. බස්නායක නිලමේ මාස ගණන බෙදලා දුන්නා. මට ඉස්සෙල්ලා හිටපු බස්නායක නිලමේගෙන් කපු මහත්තුරු යතුරු උදුරා ගත්තා. එයාට ගහලා නිලමේකමින් එලෙව්වා. මගේ කාලයේත් යතුරු උදුරාගත්ත. මම ගැටුමකට යන්නේ නැතිව උසාවි ගියා. දැන් නඩුව උසාවියේ යනවා. එතකම් ඒ අය ඕනෑ විදියට රාජකාරි බෙදා ගන්නවා. ඒ නිසා ඒ අය අතර ගැටුම් ඇතිවෙනවා. පෙරහර කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල වෙන්නේ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද කියලා’’

රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු රත්නායක පරපුර, ආරාපක්ෂ පරපුර, මුණසිංහ පරපුර යන පරම්පරා තුන කටයුතු කරන අතර ඇසළ මංගල්‍යයේදී තේවාව ගැනීම සඳහා වසර ගණනක පටන් මෙම පරපුරවල් අතර ගැටුම් පැවතුණ බව අනාවරණ වේ.

මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහර කාලයේ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද හමුදාවද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර ඇතැයි ද මේ අතර වාර්තා වේ.

අත්අඩංගුවට නොගන්නා බවට හිටපු පොලිස්පතිවරයකු වන පූජිත් ජයසුන්දර මහතා විසින්  ප්‍රසිද්ධ වේදිකාවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රතිඥා දුන් ‘නිලමේ’ නම් පුද්ගලයා මේ වත්මන් රුහුණු මහා කතරගම මහ දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර මහතාය.

එදින පොලිස්පතිවරයා ‘සර්’ නමින් ආමන්ත්‍රණය කරමින් දුරකථනයෙන් ඇමතුවේ නීතිය හා සාමය භාර අමාත්‍ය සාගල රත්නායක මහතාට යයි විශ්වාස කරන බව එවකට අගමැතිවරයාව සිටි වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරවු කර තිබිණි.

පොලිස්පතිවරයා ‘නිලමේගේ කේස් එක’ නමින් හැඳින්වුයේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් වික්‍රමරත්න ගුණසේකර පිළිබඳව බව දූෂණ විරෝධී පෙරමුණ හෙළිකළ අතර ඔහු අත්අඩංගුවට නොගන්නා මෙන් බලපෑම් එල්ලවීම මගින් එවකට පැවැති ‘යහපාලන රජය එළිපිටම හොරු රකින බව’ හෙළිවී ඇතැයි එම පෙරමුණේ උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා තිබිණි.

පුවත්

හිටපු ඇමති ෆවුසිට එරෙහි පෙත්සමකට දින නියම වේ

Published

on

By

ආපදා කළමනාකරන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ නෙදර්ලන්ත රජය මගින් පරිත්‍යාග කරල ලද සුඛෝපභෝගී ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් එවක අමාත්‍ය ඒ .එච්.එම්.ෆවුසි මහතා මහජනතාවගේ මූලික මිනිසා අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න විසින් ගොනුකර තිබු මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා නොවැම්බර් මස 4 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියෝග කළේය.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, මේනකා විජේසුන්දර, සම්පත් අබේකෝන් යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කරන ලදී.

වග උත්තරකාර ෆවුසි හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඔහුගේ නම විවෘත අධිකරණයේ අඬගසනු ලැබූ නමුත් එම අවස්ථාවේදී ඔහු අධිකරණයේ පෙනී නොසිටියේය.

පෙත්සම සම්බන්ධයෙන් වන නොතීසි සති හතරක් තුළ වග උත්තරකාර හිටපු අමාත්‍යවරයා වෙත යැවීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ඇමති ඒ .එච්.එම්. ෆවුසි , ඔහුගේ ‍ලේකම් වරිය ලෙස කටයුතු කළ සිත්ති මරීනා මොහොමඩ් ඇතුළු 08 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු කියා සිටින්නේ 2010 වසරේ ආපදා කළමනාකරණ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ නෙදර්ලන්ත රජය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පරිත්‍යාගයක් වශයෙන් සුඛෝපභෝගී මෝටර් රථයක් ලබා දුන් බවත් පසුව ඔහු එය තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගත් බවයි.

පසුව අමාත්‍යංශ අරමුදල් වලින් රුපියල් මිලියනයක පමණ මුදලක් වැය කර ඔහු එම වාහනය නඩත්තු කර තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

මෙම චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළ අතර ඔහු එම චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව මහාධිකරණය විසින් වසර 10 කට අත් හිටවූ සිර දඬුවම් නියම කළ බවත් පෙත්සමේ සඳහන් වේ.

අමාත්‍යවරයෙක් වශයෙන් ෆවුසි මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබූණද මෙම ක්‍රියාව තුළින් ඔහු එම ප්‍රතිඥාව උල්ලංඝනය කර තිබෙන බවත් ඒ තුළින් ඔහු රටේ ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටි.

Continue Reading

පුවත්

ලංකාවේ Starlink ආරම්භය ගැන ඉඟියක්

Published

on

By

සිංගප්පූරුවේ පැවති 2025 ආසියානු තාක්ෂණ සමුළුවට සමගාමීව, සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් වැදගත් ද්විපාර්ශ්වික හමුවක් සංවිධානය කරන ලදී.

මෙම හමුව සඳහා මෙරට ගරු ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සන්නිවේදන සහ තොරතුරු ප්‍රතිපත්ති සම්බන්ධීකාරක තානාපති ස්ටෙෆාන් ලැන්ග් යන මහත්වරු එක් වූහ.

ශ්‍රී ලංකා රජය ඩිජිටල් ලෙස පරිවර්තනය කිරීම සඳහා දරන පුළුල් උත්සාහයන් පිළිබඳව තානාපති ලැන්ග් මහතා අගය කළ අතරම ඒ සඳහා සහයෝගය පළ කර සිටියේය.

සාකච්ඡාවේ දී සාකච්ඡා කළ ප්‍රධාන කරුණක් වූයේ ශ්‍රී ලංකාවේ Starlink සේවාවන් ආරම්භ කිරීම සඳහා වන වැඩපිළිවෙලයි.

ස්ටාර්ලින්ක් මෙහෙයුම් දියත් කිරීම සඳහා රජය අවශ්‍ය සියලු ක්‍රියාවලීන් සම්පූර්ණ කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා මෙහිදී තහවුරු කළ අතර  ස්ටාර්ලින්ක් වෙතින් ලබාදීමට නියමිත තොරතුරු පුවරු (Dashboard) ලැබුණු පසු, මෙහෙයුම් ප්‍රමාදයකින් තොරව ආරම්භ කළ හැකි බව ද දන්වා සිටියේ ය.

ඊට අමතරව මෙහිදී තවත් උපායමාර්ගික ක්ෂේත්‍ර කිහිපයක් සාකච්ඡා කළ අතර ඒ අනුව, ගූගල් සහ මෙටා වැනි ප්‍රමුඛ ගෝලීය තාක්ෂණික සමාගම් සමඟ ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය සඳහා අඛණ්ඩ සහාය ලබා ගැනීම, රට තුළ දත්ත මධ්‍යස්ථාන පිහිටුවීම, AI මත පදනම් වූ දත්ත මධ්‍යස්ථාන සංවර්ධනය ඇතුළුව විවිධ අංශ හරහා කෘතිම බුද්ධිය (AI) ඒකාබද්ධ කිරීම, සයිබර් ආරක්ෂණ පනතේ දියුණුව සහ සයිබර් ආරක්ෂණ ඒජන්සිය ශක්තිමත් කිරීම,පවතින මාර්ගගත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම, දත්ත ආරක්ෂණ පනතට සංශෝධන එක් කිරීම සම්බන්ධයව අවධානය යොමු විය.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය සඳහා ඒවා අභියෝගාත්මක සහ සංකීර්ණ බව විස්තර කරමින් තානාපති ලැන්ග් මෙම මුලපිරීම්වල වැදගත්කම සහ අත්‍යාවශයතාවය අවධාරණය කළේය. මෙම පරිවර්තනීය ඩිජිටල් ප්‍රතිපත්ති සහ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටත් ඔහු තවදුරත් අවධාරණය කළේය.

මෙම හමුව සඳහා සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක, ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ චාන්සරි ප්‍රධානී අහමඩ් රාසි  සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ උපදේශක සුමුදු රත්නායක යන මහත්වරුන් සහභාගී වූහ.

Continue Reading

පුවත්

විදුලිබල පනතට එරෙහිව පෙත්සමක්

Published

on

By

රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලිබල පනත් කෙටුම් පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා පෙත්සමක් ගොනුකර තිබේ.

ඒ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසිනි.

මෙම පෙත්සම අද (02) ඒ.එච්.එම්.ඩී.නවාස්, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

පෙත්සම නැවත විභාගය සඳහා ලබන 06 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (02) නියෝග කරන ලදී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved