Connect with us

පුවත්

කදුරුවෙල ත්‍රෛභාෂා පාසල අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට

Published

on

ඉන්දීය රජයේ ආධාර යටතේ  පොළොන්නරුව, කදුරුවෙල ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින ත්‍රෛභාෂා ජාතික පාසලේ වර්තමාන තත්වය පිළිබඳ පිරික්සා බැලීමේ නිරීක්ෂණ චාරිකාවක් සහ එම පාසලේ ඉදිරි වැඩකටයුතු  පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පෙබරවාරි 14වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ මූලිකත්වයෙන් පැවැත්විණි.

කලාපයේ සියලු ජාතීන්, ආගම් නියෝජනය වන පරිදි සියලු දරුවන්ට අධ්‍යාපනය ලැබීමේ පහසුව අරමුණු කරගනිමින් ගොඩනැගෙමින් පැවති මෙම පාසලේ ඉදිකිරීම් කටයුතු  වසර කිහිපයක සිට මන්දගාමීව සිදුවීම සම්බන්ධව මෙහි දී අග්‍රාමාත්‍යවරියගේ අවධානයට යොමු විය.

ඉන්දියන් රජයේ අරමුදල් යටතේ ඉදිවෙන ඉදිරිපස ගොඩනැගිල්ල 75% වැඩ අවසන් අතර, එහි ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 150 ක් පමණ වැය වන බවත්, දෙවන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජයේ මුදලින් ඉදිකෙරෙන අතර එහි වැඩ 40% ක් අවසන් බවත්, ඉතිරි වැඩ නිම කිරීමට රුපියල් මිලියන 400 පමණ මුදලක් අවශ්‍ය බවත් ඉදිකිරීම් සමාගම විසින් පෙන්වා දෙන ලදි.

පාසල ආරම්භ වූ පසු එකවර සිසුන් 1600 ක් සඳහා අධ්‍යාපන කටයුතු වල නියැලීමේ පහසුකම් මෙහි ඇති අතර, විශේෂ අධ්‍යාපන ඒකක,  භාෂා පංති කාමර, e-learning පංති කාමර, නේවාසිකාගාර, පරිපාලන ගොඩනැගිල්ල, විද්‍යාගාර පහසුකම් සනීපාරක්ෂක පහසුකම් මෙන්ම ගුරු නිල නිවාස ඇතුළත්වන පරිදි පාසල නිර්මාණය කිරීමට සැළසුම් කර ඇති බව ඉදිකිරීම් සමාගමේ ඉන්ජිනේරුවන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කළේය.

මෙම සම්පත් විනාශ වීමට ඉඩ නොහැර  දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගොඩනැගීමට අවශ්‍ය  යෝජනා හා සැලසුම් කඩිනමින් ඉරිදිපත් කරන ලෙස අග්‍රාමාත්‍යවරිය විසින් බලධාරින් වෙත දැනුම් දෙන ලදී.

නිරීක්ෂණ කටයුතු සඳහා නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත්, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්මසිරි බණ්ඩාර, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි, අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව, උතුරු මැද පළාත් ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් සම්බන්ධ විය.

පුවත්

මැතිවරණ කොමිෂන් සභාවෙන් විශේෂ පණිවිඩයක්

Published

on

By

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් නාම යෝජනා භාරදීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා මැතිවරණ කොමිෂන් සභාව විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා දැනුම් දෙන්නේ ඒ අනුව නිවැරදිව හා පැහැදිලිව සම්පූර්ණ කරන ලද නාම යෝජනා පත්‍රයේ එක් පිටපතක් පමණක් ඒ සඳහා අමුණා තිබිය යුතු සියලු ඇමුණුම් සහිතව නියමිත කාලසීමාව තුළ අදාල දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරිවරයා වෙත භාරදෙන ලෙසය.

තරුණ අපේක්ෂකත්වය තහවුරු කිරීම සඳසා අතිරේක දිස්ත්‍රික්  රෙජිස්ට්‍රාර්වරයෙකු විසින් සහතික කරන ලද උප්පැන්න සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ යුතු අතර එසේ නොමැති විටක සාමදාන විනිශ්චයකාරවරයකු හෝ දිවුරුම් කොමසාරිස්වරයෙකු විසින් සහතික කල වයස සනාථ කෙරෙන දිවුරුම් ප්‍රකාශයක් නාම යෝජනා පත්‍රයට අමුණා තිබිය යුතු බවට දැනුම් දෙයි.

2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා නාම යෝජනා භාරගැනීම ලබන සඳුදා ආරම්භ වේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා ඡන්ද අපේක්ෂකයින්ට දැනුම් දෙන්නේ ලබන සඳුදා දිනයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වන බැවින් විභාග අපේක්ෂකයින්ට බාධා වන ලෙස කටයුතු කිරීමෙන් වලකින ලෙසය.

Continue Reading

පුවත්

ඖෂධ මිල සූත්‍රය  ක්‍රියාත්මක කිරීම් කටයුතු කඩිනම් කරන්න – කෝප් කමිටුව

Published

on

By

ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකින් තොරව වේගවත් යාන්ත්‍රණයක් ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට නිකුත් කර ඇති බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මේ පිලිබඳ අනාවරණය වූයේ ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ 2022, 2023 සහ 2024 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී හදිසි ඹෟෂධ මිලදීගැනීම සම්බන්ධයෙන් ජාතික ඹෟෂධ නියාමන අධිකාරියේ මැදිහත්වීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය. මේ අනුව ලියාපදිංචිය නිදහස් කිරීමේ සහතික (WOR) විධිමත් කමිටු අනුමතියකට යටත් කිරීමේ ක්‍රමවේදයෙන් බැහැරව වේගවත් යාන්ත්‍රණ‍යක් (Fast Track) ඔස්සේ විශේෂ ක්‍රමවේදයකට (Special pathway) නිකුත් කර ඇති බවත් මේ මගින් ප්‍රධාන විධායක නිලධාරියාගේ තනි කැමැත්තට ලියාපදිංචියෙන් නිදහස් කිරීමේ ලිපි නිකුත් කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය ඇති බවත් කෝප් කමිටුව පෙන්වා දෙන ලදි.

විශේෂයෙන්ම 2022 වර්ෂයේ සිටි ප්‍රධාන විධායක නිලධාරියා මෙම ක්‍රමවේදය වෙනුවෙන් මැදිහත්වී ඇත් බව මෙහිදී අනාවරණය වූ අතර එම කාල සීම‍ාව තුළ කොළඔ පිහිටි ප්‍රධාන හෝටලයක පැවත්වූ රාත්‍රී භෝජන සංග්‍රහයකදී ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් සඳහා අනුමතිය ලබාගැනීමට සැලසුම්කොට තිබූ බවත් මෙහිදී අනාවරණය විය.නමුත් මේ සඳහා අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ වෛද්‍යවරුන්ගේ විරෝධය පළ වී ඇති බවත් එබැවින් මේ සම්බන්ධයෙන් තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක් පවතින බවත් මෙහිදී අනාවරණය විය.

මේ පිළිබඳ දීර්ඝව සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී අදාළ කාලසීමාවේ ජාතික ඹෟෂධ නියාමනය අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය කෝප් කමිටුවට ගෙන්වීමට තීරණය කෙරුණි.

එසේම සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග භාවිතය නිසා ඇතිවන රෝගී තත්ත්වයන් පවතින බැවින් සුවඳ විලවුන් සහ ක්‍රීම් වර්ග නියාමනය කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු බව කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දුන්හ. නමුත් කිසිඳු ආයතනයකට මේ සම්බන්ධයෙන් නියාමනය කිරීමේ නීතිමය බලතල නොමැති බව කමිටුවේදී අනාවරණය වූ අතර මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන නීතිමය ප්‍රතිපාදන සකස්කොට තම ආයතනයට බලතල දෙන ලෙස නිලධාරීන් පෙන්වා දුන්නේය. මේ අනුව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස කෝප් කමිටුව අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

තවද ඖෂධ මිල සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මිල නියාමන අංශයක් 2022 වර්ෂය දක්වා නොපැවති බවත් 2022 වර්ෂයේදී එම අංශය ස්ථාපිත කිරීමෙන් පසුව කලාපීය වශයෙන් ඖෂධ මිල සංසන්දනය කරන බවයි. මෙහිදී කාරක සභාව පෙන්වා දුන්නේ ඖෂධ මිල සූත්‍රය සම්බන්ධයෙන් පවතින බාධාවන් ඉවත් කර හැකි ඉක්මනින් එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන ලෙසයි.

ඖෂධ ගෙන්වීමෙන් පසු ගෙන්වූ ඖෂධ පරීක්ෂා කිරීම සම්බන්ධයෙන් පැමිණි නිලධාරීන්ගෙන් කාරක සභාව විමසූ අතර මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම පරීක්ෂාකිරීම් සඳහා විද්‍යාගාර‍ පහසුකම් සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවයි. මෙහිදී අධිකාරිය සතුව පවතින මුදල් සංචිත ප්‍රමාණය කෝප් කමිටුව විමසූ අතර රුපියල් බිලියන 7ක සංචිත පවතින බව නිලධාරීහු පැවසූහ. එබැවින් අධිකාරියේ මුදල් සංචිත යොදාගෙන හෝ ඹෟෂධ ගෙන්වූ පසු පරීක්ෂා කිරීමට විද්‍යාගාර‍යක් සකස්කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබා දෙන ලදි.

එසේම කාර්යක්ෂමව කටයුතු කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව සකස්කරගැනීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතේ පවතින දුර්වලතා මගහරවාගැනීමට ඉක්මනින් කටයුතු කරන ලෙසත් කෝප් කමිටුව උපදෙස් ලබාදෙන ලදි.

මීට අමතරව ජාතික ඹෟෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට කෝප් අනු කමිටුවක් පත්කිරීමට කටයුතු කරන බවද මෙහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා පැවසූ අතර ඉදිරියේදී එම අනු කමිටුවේ සාමාජිකයින් නම්කර දැනුම්දෙන බව පැවසීය.

මෙම කාරක සභා රැස්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.කේ.එම්. අස්ලම්,සමන්මලී ගුණසිංහ, කෝසල නුවන් ජයවීර, රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ, ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන, තිළිණ සමරකෝන් සහ චන්දිම හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

ශාන් පුතා රඳවාගෙන ප්‍රශ්න කරයි

Published

on

By

පිස්තෝල ගිනිඅවියක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් පසුව දින 07ක රැදවුම් නියෝග ලබාගෙන තිබේ.

ශාන් පුතා නැමැත්තාව මිලිමීටර 9 වර්ගයේ ගිනිඅවියන් සමග හෝමාගම පොලීසිය විසින් ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබුණි.

එමෙන්ම ගිනිඅවිය ලබාදුන් බව කියන මන්නාරම පොලීසියට අනුයුක්තව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් හා ශාන් පුතා නැමැත්තාගේ කළමනාකරුද මෙහිදී අත්අඩංගුවට පත්විය.

අදාළ පොලිස් කොස්තාපල්වරයා මාතර කොටුවිල පොලිස් ස්ථානයෙන් අදාළ ගිනිඅවිය සොරාගෙන විත් රැප් ගායකයාට ලබාදී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණි.

ඊයේ (14) රාත්‍රී 10ට පමණ සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර තිබුණි.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් වන්නේ, ගොඩගම ප්‍රදේශයේ පදිංචි අමිල කෞෂාන් ගුණරත්න නොහොත් ශාන් පුතා, රැප් ගායක ශාන් පුතාගේ කළමනාකරු ලෙස කටයුතු කරන ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචි කේෂර ඉෂාන්, හෝමාගම පදිංචි 27 හැවිදිරි සැකකාර පොලිස් කොස්තාපල් චන්දික ශ්‍රිමාල් යන අය ය.  

සැකකරුවන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කිරීමෙන් පසුව මාතර මහේස්ත්‍රාත්වරයාගේ නිල නිවසට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස දින 07ක් රැඳවුම් නියෝග ලබාදී කොටවිල පොලිස් ස්ථානයේ රඳවා වැඩිදුර විමර්ශන සිදුකරයි.

සබැඳි පුවත්

රැප් ගායක ශාන් පුතා අත්අඩංගුවට

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved