Connect with us

පුවත්

නාමල් CIDයෙන් පිටවෙයි(UPDATE)

Published

on

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන් පිටවී ගොස් තිබේ.

ඔහු අද (26) පෙරවරු 9ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.

ඒ අනුව පැය 05කට අධික කාලයක් මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ ලබාදී තිබේ.

2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් ඇ-330 ගුවන් යානා 06ක් සහ ඇ- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී එයාර්බස් සමාගම සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම අතර සිදුවූ  අයථා මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් පසුගිය සමයේ චෝදනා එල්ල විය.

ඒ එයාර්බස් සමාගමට අදාළව විදෙස් අධිකරණයක පැවති නඩු කටයුත්තකට ඉදිරිපත් වී තිබූ ලිපිලේඛන හරහාය.

එම ලිපිලේඛනවල එයාර් බස් සමාගම විසින් මෙම ගුවන් යානා අලෙවි කිරීමට පෙර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්නගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මියට අල්ලසක් ලබාදී ඇති බවට සඳහන්වේ.

එම තොරතුරුවලට අනුව මෙම ගුවන් යානා ගනුදෙනුව සිදුකිරීමට පෙර එයාර්බස් සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 16ක අල්ලස් මුදලක් කපිල චන්ද්‍රෙස්න මහතාගේ බිරිඳට ලබාදීමට සාකච්ඡා කර ඇති අතර ඒ සඳහාම බෘනායි හී පිහිටුවූ සමාගමකට අවම වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් බැර කර තිබෙන බවද අනාවරණ කර තිබුණි.

ඒ අනුව ප්‍රශ්නගත ගනුදෙනුව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කළ අතර 2020 වසරේ පෙබරවාරි 06 වනදා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රෙස්න සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

පසුව ඔවුන් ඇප මත මුදා හැරුණු අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීති කෘත්‍යය අඛණ්ඩව සලකා බැලීම සිදුවිය.

මෙවැනි පසුබිමක ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණි.

(පෙර පුවත 2025 පෙබරවාරි 26 පෙ.ව.9.47)


නාමල් CIDයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

ඒ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට නව ගුවන් යානා ඇණියක් ප්‍රතිස්ථාපනය කිරීමේදී සිදු වූ බව කියන මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සදහාය.

රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

(පෙර පුවත 2025 පෙබරවාරි 26 පෙ.ව.9.03)


කපිලගේ වැඩක් ගැන අහන්න නාමල් අද CIDයට කැඳවලා!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (26) කැඳවා තිබේ.

ඒ, ශ්‍රීලංකන් සමාගමට කුප්‍රකට කපිල චන්ද්‍රසේන මැදිහත්ව සිදු කළ එයාර්බස් ගනුදෙනුව පිළිබඳ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය කියා සිටී.

2013 වසරේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර් බස් 10ක් ගන්න ගනුදෙනුවක් සිදු කෙරුණි.

බ්‍රිතාන්‍යයේ බරපතළ වංචා විමර්ශන කාර්යාලය කළ පරීක්ෂණයකදී හෙළිවුයේ, මේ ගනුදෙනුව හා සම්බන්ධව අමෙරිකානු ඩොලර් මිලියන 16.84 ක් අල්ලස් ගනුදෙනුවක් සිදුව ඇති බවයි.

එවක සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ  කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ බෘෘනායි ගිනුමකට ඩොලර් මිලියන 2ක් බැරවී තිබු බව ද විමර්ශනවලදී හෙළිවී තිබුණි.

වැඩිදුරටත් අනාවරණය වූයේ, අදාළ ගිණුමෙන් තවත් ගිණුම්වලට මුදල් හුවමාරු වී ඇති බවයි.

අදාල ගනුදෙනුව සම්බන්ධයෙන් පසුගිය වකවානුවේදී අධිකරණ ක්‍රියාමාර්ග මෙන්ම අත්අඩංගුවට ගැනීම් හා ඇප නියමවීම් සිදු වූ අතර නාමල් රාජපක්ෂ මහතා නැවත අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත්තේ මෙවන් පසුබිමකයි.

කැබිනට් තීරණ

ඌරන්ට කාර්ය සාධක බලකායක්

Published

on

By

අප්‍රිකානු සූකර උණ හේතුවෙන් කඩා වැටී ඇති සූකර කර්මාන්තය නඟාසිටුවීමට කාර්ය සාධක බළකායක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

2024 ඔක්තෝබර් මාසයේ දී අධි ව්‍යාධිජනක වසංගත රෝගයක් ලෙස අප්‍රිකානු සූකර උණ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බස්නාහිර පළාතෙන් වාර්තා වූ අතර පසුව එය සෙසු පළාත්වලට ව්‍යාප්ත වුණි.

මෙම රෝගය හේතුවෙන් ආසාදිත ගොවිපොළක සතුන්ගේ මරණ අනුපාතය 100% දක්වා ඉහළ යෑමේ හැකියාවක් පවතී.

මේ වනවිට වාර්තා වී ඇති දත්ත අනුව සූකර ගොවිපොළ 1,594ක රෝගය වාර්තා වී ඇති අතර, ඌරන් 61,695ක් මරණයට පත්ව ඇත.

එමෙන්ම මෙම රෝගය වනාන්තර ආශ්‍රිත වල් ඌරන්ට ද ආසාදනය වී වල් ඌරන් විශාල සංඛ්‍යාවක් මරණයට පත්ව ඇතැයි වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

මේ වනවිටත් රෝගයේ ව්‍යාප්තිය හා රෝග කාරක වෛරස පරිසරය තුළ සංසරණය වීම හා රෝග ව්‍යාප්තිය පිළිබඳව නිවැරදි විද්‍යාත්මක තොරතුරු නොමැති වීම හේතුවෙන් සූකර ගොවිපොළ නැවත ආරම්භ කිරීම දැඩි අවදානම් සහිත තත්ත්වයට පත්ව ඇතැයි රජය සඳහන් කරයි.

එබැවින් සූකර කර්මාන්තය යළි නඟාසිටුවීමට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිලේක ලේකම්ගේ සම සභාපතීත්වයෙන් යුතුව සහ අදාළ අනෙකුත් පාර්ශවයන්ගේ නියෝජනයෙන් සමන්විතව කාර්ය සාධක බළකායක් පත්කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

පුවත්

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

Published

on

By

2014 වසරේ ධීවර අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අගෝස්තු මස 29 වන දා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද දින නියම කළේ ය.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටී නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ, විත්තිකරුවන්ට එරෙහිව ඇති චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවශ්‍ය බැවින් ඒ සඳහා දිනයක් ලබා දෙන ලෙසයි.

චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන් මහාධිකරණ විනිසුරුවරයා නඩුව නැවත අගෝස්තු ම 29 වනදා කැඳවීමට දින නියම කළේ ය.

2014 අගෝස්තු මස 01 වනදා සහ එම වසරේ නොවැම්බර් මස 01 වන දා අතර කාලසීමාව තුළ මෝදර ධීවර වරාය පුද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ  විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව චෝදනා පහක් ගොනු කර තිබේ.

Continue Reading

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved