Connect with us

පුවත්

කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණය කරන්න – කෝපා

Published

on

නවීණ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින්  කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මසක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ගරු ලසන්ත අලගියවන්න මහතා ඊයේ (26)  ශ්‍රී ලංකා පොලිසියට දැනුම් දුන්නේය.

2019, 2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලිසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා කමිටුවට) ඊයේ (26) කැඳවූ  අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව පැවසීය. ‍මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ජේෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

පොලිස් දෙපාර්තමේන්තුව මීට පෙර 2016 වසරේදී කෝපා කමිටුව හමුවට කැඳවා තිබූ අවස්ථාවේදී මේ සම්බන්ධ නිර්දේශයක් ලබා දී තිබුන ද තවමත් එය ක්‍රියාත්මක නොවීම පිළිබද මෙහිදී ප්‍රශ්න කෙරිණි. පොලිස්පතිවරයා මෙහිදී අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය සදහා තනි තොරතුරු තාක්ෂණ පද්ධතියක් සැකසීම අපහසු බැවින් කොටස් වශයෙන් තොරතුරු තාක්ෂණ පද්ධති හදුන්වා දීමට පියවර ගන්නා බවයි. ඒ අනුව පැමිණිල්ලක් ලබා දීමේ සිට අධිකරණ කටයුතුවල තත්ත්වය දක්වා විස්තර ලබා ගත හැකි නව නියමු ව්‍යාපෘතියක් මේ වන විට හැටන් සහ නුවරඑළිය පොලිස් ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක  බව පොලිස්පතිවරයා පැවසීය.

මෙහිදී කාරක සභා සභාපතිවරයා අවධාරණය කළේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඇතුළු අනෙකුත් ආයතන ඒකාබද්ධ කොට අදාළ තොරතුරු ක්ෂණිකව ලබා ගතහැකි තොරතුරු තාක්ෂණ පද්ධතියක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවයි. ඒ අනුව දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙල සහ යෝජිත සැලැස්ම පිළිබද වාර්තාවක් මසක් ඇතුළත කමිටුවට ලබා දෙන ලෙස උපදෙස් දුන්නේය.

ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා පොලිස් නිලධාරීන්ගේ හිගය ඇතුළු ගැටලු පිළිබදව ද මෙහිදී අවධානය යොමුවිය. කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියන් 2419 ක පුරප්පාඩු පවතින බවත් 2023 වසරේ මෙම ප්‍රමාණය සම්පූර්ණ කිරීමට යෝජිතව තිබුනත් වත්මන් ආර්ථික තත්ත්වය මත එය සිදුකිරීමට නොහැකි වූ  බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී පොලිස්පතිවරයා පවසා සිටියේ පොලිසිය තුළ තිබූ පැරණි තත්ත්වය වෙනස් කොට අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සදහා අවස්ථාව ලබා දීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙල ආරම්භකොට ඇති බවයි. ඒ අනුව අනාගත කාන්තා පොලිස්පතිවරියක් බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.

එසේම පොලිසිය සතු කල් ඉකුත් වූ කඳුළු ගෑස් (tear gas) පිළිබදව මෙහිදී අවධානය යොමු විය. කල් ඉකුත් වූ කඳුළු ගෑස් අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කොට ඇති බවත් කිසිවිටකත් ඒවා භාවිතා නොකරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු දැනුම් දුන්හ. මේ අනුව ලංකාවේ සියලු පොලිස් ස්ථානවල පවතින කල් ඉකුත්වූ කදුලු ගෑස් අපහරණයට කටයුතු කරන ලෙස කමිටුව උපදෙස් දුන්නේය.

එසේම ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව මෙම කදුලු ගෑස් ඇතුළු මහජන කැරලි කෝලහල පාලනයේදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව ද වාර්තාවක් සකස් කොට කෝපා කමිටුවට ඉදිරිපත් කරන ලෙස කමිටු සභාපතිවරයා දැනුම් දුන්නේය.

පොලිස් නිලධාරීන්ගේ භාෂා කුසලතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව පිළිබදව ද මෙහිදි විශේෂ අවධානය යොමු විය. දමිල සහ ඉංග්‍රීසි භාෂා කුසලතාව පොලිස් නිලධාරීන්ට ලබා දීමේ වැඩසටහන් රැසක් මේ වන විට ආරම්භ කොට ඇති බව ජේ‍්‍යෂ්ඨ පොලිස් නිලධාරීහු පෙන්වා දුන්හ. එම කටයුතු වඩාත් විධිමත් කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කරන ලදී.

පොලිසියේ උසස්වීම්වලට අදාළ ගැටලු, පොලිස් ත්‍යාග අරමුදල කළමනාකරණය, මාර්ග අනතුරු පාලනය, අපරාධ පාලනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක ගැටලු සහ ඒවාට විසදුම් පිළිබදව ද මෙහිදී සාකච්ඡා විය.

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading

කැබිනට් තීරණ

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න (UPDATE)

Published

on

By

ඊයේ (ජූනි 02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය :


(පෙර පුවත 2025 ජූනි ප.ව.12.49 )

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩ ඉරිඟු සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved