Connect with us

පුවත්

කලීඩා ශියා නිදහස්; හසීනා පැනගොස් ඇත්තේ ඉන්දියාව‍ට; වත්මන් තත්ත්වය

Published

on

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් ද පලා යෑමත්, හමුදාව එරට බලය අත්පත් කර ගැනීමත් සමඟය.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ හමුදාපති ජනරාල් වකාර් උස් සමාන්, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමඟ එක් වී සාකච්ඡා පැවැත්වීමෙන් ද අනතුරුවය. 

මෙම හමුවට බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමී පක්ෂයේ සාමාජිකයන් ද එක් වී සිටි බව පැවැසෙයි. ෂෙයික් හසීනාගේ පලා යෑමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව හමුදාව පවසා තිබේ.

රටින් පලා ගිය හසීනා ඉන්දියාවේ….

මේ අතර, රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ.

ෂෙයික් හසීනා, උත්සාහ ගත්තේ, දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමටය. ඒ සඳහා අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද පැවැසෙයි. 

විරෝධතා හමුවේ ෂෙයික් හසීනා බංග්ලාදේශයෙන් පලා ගියේ සොහොයුරිය රෙහානා සමඟය. රෙහානා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. 

“මාර්ච් ටු ඩකා”….

බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කළේ රජයේ රැකියා කෝටා ක්‍රමවේදයට විරෝධය පළකරමිනි.

ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන රට පුරා පැතිර ගිය එම විරෝධතා අතරතුරදී 300කට ආසන්න පිරිසක් මරණයට පත්වුණි.

අර්බුදයට තුඩුදුන් රැකියා කෝටා ක්‍රමවේදය අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ විරෝධතා පාලනයට රජය අනුගමනය කළ එම දැඩි මර්දනකාරී පිළිවෙතට ජාත්‍යන්තරයෙන් පවා එල්ලවූ විවේචන හමුවේ ය.

නමුත් ඉන් නොනැවතුණු ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැකියා කෝටාවට එරෙහි විරෝධතාව රජයට එරෙහි දැවැන්ත විරෝධතාවක් බවට පරිවර්තනය කරමින් යළි උද්ඝෝෂණ ආරම්භ කළේ මීට දින කිහිපයකට පෙරාතුවය.

ඒ, පෙර විරෝධතා අතරතුර මියගිය පිරිසට යුක්තිය ඉටුකර ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිනි ෂෙයික් හසීනාට බල කරමිනි.

නගර රැසක දී ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙවර විරෝධතාවේ නිරත වූයේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ ද සහාය ඇතිව ය.

ගෙවුණු දෙසතිය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ගණන 10,000ක් පමණ බව විදෙස් මාධ්‍යවල සඳහන්ය.

රටපුරා නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගෙන පෙරේදා පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව රටපුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවීමටත් අන්තර්ජාල සබඳතා අවලංගු කිරීමටත් රජය පියවර ගත්තේය.

ඇඳිරිනීතිය මැද ශිෂ්‍ය ක්‍රියාකාරීන් රජයට එරෙහිව ඊයේත් දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වූයේ “මාර්ච් ටු ඩකා” නමිනි.

එය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළත් අතිශය ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් පාලනයට ආරක්ෂක අංශ සමත් වුණේ නැත.

පසුව විරෝධතාකරුවන් ඩකා අගනුවර අගමැති නිල නිවසට කඩා වැදුණි.

ඔවුන් එහි කඩා වදින විටත් අගමැතිනිය ආරක්ෂිත ස්ථානයක් වෙත නික්ම ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගමැති නිල නිවස පරිශ්‍රයේ පිහිටා ඇති ශෙයික් මුජිබර් රහුමාන් පිළිරුව විරෝධතාකරුවන් විසින් බිඳ දැමුවේය.

මුජිබර් රහුමාන් යනු බංග්ලාදේශයේ නිදහසේ පුරෝගාමියා සහ නිදහස් බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා වන අතර ඔහු වත්මන් අගමැතිනි ෂෙයික් හසීනාගේ පියාය.

අගමැති නිල නිවසට කඩාවැදුණු විරෝධතාකරුවන් එහි දේපොළවලට හානි කරමින් හැසිරුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇතැමුන් එහි භාණ්ඩ සොරකම් කළ බවත් විදෙස් මාධ්‍යවල සඳහන් වුණි.

විරෝධතාකරුවන් ඩකා අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද කඩාවැදී තිබුණි.

දේශපාලන විචාරකයින් මත පළ කර තිබුණේ ලේ වැගිරීමකින් තොරව ෂෙයික් හසීනා කිසිවිටෙකත් සිය ධුරයෙන් ඉවත් නොවන බවටය.

ෂෙයික් හසීනා බංග්ලාදේශ අගමැති ධුරයට පත්වුණේ 2009 වසරේදීය.

ඇයගේ වසර 15ක පාලනය තුළ එරට ආර්ථිකය වේගවත්ව වර්ධනය වූ බව වාර්තාවලින් පෙනීගියත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා එල්ලවුණි.

අඛණ්ඩව සිව්වන වරටත් මේ වසරේ ඇය අගමැති ධුරයට පත්වුවද මැතිවරණ ප්‍රතිඵල දූෂිත බව එල්ලවූ ප්‍රසිද්ධ චෝදනාවකි.

15 වසරක පාලන කාලය තුළ ඇය මුහුණදුන් මෙම දැවැන්තම විරෝධතාව නිර්මාණය වන්නේ එවැනි තත්ත්වයක් හේතුවෙනි.

විරෝධතා මැද අගමැතිනිය පළායද්දී හසීනා රජයේ ඉහළ නිලධාරීන් රැසක් ද අද රටින් පිටවගොස් තිබුණි.

පසුව බංග්ලාදේශයේ පාලනය භාරගත් එරට හමුදා නායකයා ජාතිය අමතමින් කියාසිටියේ කඩිනමින් අන්තර්වාර පාලනයක් පිහිටුවන බවය.

“අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. මම සියලුම පක්ෂවල දේශපාලන නායකයින්ට සාකච්ඡා සඳහා ආරාධනා කළා. අපි අන්තර්වාර රජයක් පිහිටුවීමට තීරණය කළා. ඒ අනුව රට ඉදිරියේ දී පාලනය වන්නේ අන්තර්වාර රජයක් යටතේයි.”

මේ අතර ෂෙයික් හසීනාගේ අනාගත සැලසුම් ගැන අදහස් දක්වමින් ඇයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ, සිය මව නැවත වරක් දේශපාලනය නොකිරීමට ඉඩඇති බවය.

හසීනාගේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කළ ඔහු බීබීසී පුවත් සේවය සමග ඒ බව පවසා තිබුණි.

පුවත්

විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පතට ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය

Published

on

By

ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත ඊයේ (17) රැස්වූ  යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී සලකා බලන ලද අතර ලබන 24 වැනිදා දෙවැනිවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අදාළ අනුමතිය හිමිවිය.  

ඒ එම කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (17) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය. 

මෙම කාරක සභා රැස්වීම සඳහා බලශක්ති අමාත්‍යාංශය, නීතිපති දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළු ආයතන ගණනාවක් නියෝජනය කරමින් නිලධාරීහු පැමිණ සිටියහ. මෙහිදී මහජන උපයෝගීතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබූ යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වූ අතර එහිදී කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එකඟතාවය පළ විය.

නීතිපති දෙපාර්තමේන්තුවද කමිටුව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කළ අතර මීට පෙර කාරක සභාවේදී එකඟවූ සංශෝධනද සමඟ පනත් කෙටුම්පත කාරක සභාවේ අනුමතියට ඉදිරිපත් කර තිබිණි. නව පනත් කෙටුම්පතට අනුව ඉඩම් අයිතිය, පාරිභොගික අයිතීන් ආදි කරුණු ගණනාවක් පිළිබඳව දීර්ඝ ලෙස මෙහිදී සාකච්ඡා කෙරිණි. 

එසේම පනත සම්මත වීමෙන් පසු පාරිභෝගීක අයීතීන් පිළිබඳ රෙගුලාසි සෑදීම සඳහා මසක කාලයක් තුළදී විදුලිබල අමාත්‍යාංශය සහ  මහජන උපයෝගීතා කොමිෂන් සභාව එක්ව කටයුතු කරන ලෙස විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාට කාරක සභාව විසින් නි‍ර්දේශ කරන ලදී.       

මෙම කාරක සභා රැස්වීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර ජයමහ, අජිත් පී පෙරේරා, අසිත නිරෝෂණ එගොඩ විතාන, මංජුල සුරවීර ආරච්චි සහ ශාන්ත පද්ම කුමාර සුබසිංහ යන මහත්වරු ද කාරක සභාවේ සභාපතිවරයාගේ අනුමතිය මත මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද  සහභාගී වූහ.        

Continue Reading

පුවත්

ගාල්ල ජාතික රෝහල් වකුගඩු ඒකකයේ රෝගීන් දැඩි පීඩාවක

Published

on

By

ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අත්‍යවශ්‍ය ඖෂධ හිඟ වීමෙන් තමන් දැඩි පීඩාවට පත්වී ඇතැයි රෝගීහු පවසති.

ඔවුන් පවසන්නේ වකුගඩු රෝගීන්ට රුධිර වර්ධනය සඳහා ලබාදෙන Erythropoietin 4000iu එන්නත මේ වන විට රෝහලේ නොමැති බවත් ඒවා ලැබෙන දිනයක් පිළිබඳව ද තමන් නොදන්නා බවය.

එබැවින් මෙම එන්නත පිටත ෆාමසිවලින් රුපියල් 4000ත් 5000ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බව ඔවුහු පවසති. ඔවුන් පවසන්නේ බහුතර පිරිසකට එම අධික මිල ගණන් වැය කරමින් මෙම එන්නත මිළදී ගැනීමේ හැකියාවක් නොමැති බැවින් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවය. 

තවද වකුගඩු රෝගීන් හට ලබා දෙන ඖෂධවල අඩුවක් ද පවතින අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර රෝගීන් සඳහා ලබාදෙන ප්‍රතිජීවක ඖෂධ වර්ග හිඟතාවයක් ද පවතින බව එහි පැමිණෙන රෝගීහු පවසති.

වකුගඩු රෝගීන් සඳහා ඉදිකරන ලද ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ බාහිර රෝගී ප්‍රතිකාර අංශයේ පවතින අඩුපාඩු රැසක් හේතුවෙන් වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ද දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇතිබව වාර්තා වේ.

2021 වසරේ විවෘත කරන ලද රුපියල් මිලියන 794ක වියදමින් ඉදිකළ මෙම නව වකුගඩු ඒකකය මහල් 09කින් යුක්ත වන අතර මෙහි බිම් මහළ වකුගඩු ඒකකයේ බාහිර රෝගී ප්‍රතිකාර සායන සඳහා යොදා ගනු ලබයි.

ගාල්ල ජාතික රෝහලක් වූ නමුත් දැනට වකුගඩු සායනයේ පවතින සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ හිඟකම හේතුවෙන් තමන්ට සායනවල දිගු වේලාවක්  රැඳී සිටීමට රෝගීන්ට සිදුව ඇති අතර සායනයේ අවම කාර්ය මණ්ඩලය, වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය උපරිමයෙන්ම සිය රාජකාරිය ඉටු කරන බවද රෝගීහු පවසති.

වකුගඩු රෝගීන් වන තමන්ට ජලය පානය කිරීම සීමා කර ඇති බැවින් මෙලෙස දිගු වෙලාවක් පෝලිම්වල රැඳී සිටීම දැඩි අපහසු ක්‍රියාවක් බවත් ඒ හේතුවෙන් තමන් ශාරීරිකව හා මානසිකව පීඩාවට පත්වන බවට රෝගීහු මැසිවිලි නගති.

මෙම රෝගීන් විසින් සෞඛ්‍ය බලධාරීන් වෙතින් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම අත්‍යවශ්‍ය ඖෂධ ගැටලුව ඇතුළු මෙම ඒකකයේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙසය.

Continue Reading

පුවත්

පාසල් දැරිවියන් ගැබ් ගැනීම ශීඝ්‍රයෙන් ඉහළට

Published

on

By

මෑත කාලීනව පාසල් දැරිවියන් අතර ගැබ් ගැනීම් ඉහළ යාමක් පෙන්නුම් කර ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය පවසයි.

අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය පැවසුවේ පාසල් දැරිවියන් ගැබ් ගැනීම ඉහළ යාම මෙන්ම පාසල් මව්වරුන් ප්‍රමාණයද ඉහළ යාමක් පෙන්නුම් පෙන්නුම් කරන බවය.

මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමගද සාකච්ඡා කර නව යොවුන් දැරිවියන් සහ නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්ධව වඩාත් හොඳ පැහැදිළි අවබෝධයක් ලබා දීමට අවධානය යොමු වී ඇතැයිද අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මහත්මිය,

“මෑතකදි ගත්තොත් අපේ පාසල් යන වයසේ දරුවන්ගේ ගැබ් ගැනීම් ප්‍රමාණය ඉතාමත් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම පාසල් මව්වරුන්ගේ ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. වයස 18ට අඩු දරුවන් ගැබ් ගැනීම නිසා මේ වින්දිතභාවයට පත්වන දරුවන්ගේ සංකූලතා පවා තිබෙනවා. මේ තත්ත්වයන් එක්ක ඉදිරි සමාජයේදී මව්පිය රැකවරණය අහිමි නොයෙකුත් සංකූලතාවන්ට මුහුණ දෙන ඒ වගේම අත්හල සහ අනාත දරුවන් බිහිවීම වළක්වා ගැනීම සඳහා තමයි අපි රජයක් හැටියට කටයුතු කරන්නේ. 

අපි අධ්‍යාපන අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරමින් පවතිනවා මේ නව යොවුන් දැරිවියන්ට, නව යොවුන් පාසල් දරුවන්ට ලිංගිකත්වය සම්බන්දව හොඳ පැහැදිලි අවබෝධයක් ලබා දිය යුතුයි කියන එක. 

මේ ලොකේට දරුවෙකු බිහි කරාට පස්සේ ඒකේ පූර්ණ වගකීම ගැහැණියකට, කාන්තාවකට විතරක් නෙමේ තියන්නේ හැබැයි සමාජයේ අනාත හෝ අත්හල දරුවෙකු හැටියට දාලා යන එකේ පාපය, සාපය හා සමාජ දෝශාරෝපණය සහ වින්දිතභාවට පත්වෙන්නේ ගැහැණියකට, දරුවෙකුට ඒ නිසා ඔබට දෙන්න තියන පළවෙනි උපදේශය තමයි ඔබට සබඳතා පවත්වන්න පුළුවන් නමුත් ඔබට වගකීම් සහගතව පවුල් බැඳියාව තුළ දරුවෙකු බිහිකරන්න නොහැකි නම් ගර්භාෂයට ආවට පස්සේ කළලය නැති කිරීම සාපරාධි මනුෂ්‍ය ඝාතනයක් වෙනවා. ඒ නිසා ගැබ් ගැනිම වළක්වා ගැනීමට හැකි විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරන්න ඒ හැර මේ දරුවන් අනාත හෝ අත්හලභාවයට පත් කරලා වින්දිත දරුවන් හැටියට සමාජයට අතහැර දමන්න එපා..”

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved