Connect with us

පුවත්

කලීඩා ශියා නිදහස්; හසීනා පැනගොස් ඇත්තේ ඉන්දියාව‍ට; වත්මන් තත්ත්වය

Published

on

බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා ෂියා ඇතුළු, සිර දඩුවම් විඳිමින් සිටි එරට විපක්ෂ දේශපාලන ක්‍රියාකාරීන් සියලු දෙනා නිදහස් කිරීමට බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් නියෝග කර තිබේ.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ ශිෂ්‍ය විරෝධතා හමුවේ, බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා, ධුරයෙන් ඉල්ලා අස්වී, රටින් ද පලා යෑමත්, හමුදාව එරට බලය අත්පත් කර ගැනීමත් සමඟය.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහබුදීන් මෙසේ නියෝග කළේ හමුදාපති ජනරාල් වකාර් උස් සමාන්, නාවික හමුදාපති සහ ගුවන් හමුදාපති සමඟ එක් වී සාකච්ඡා පැවැත්වීමෙන් ද අනතුරුවය. 

මෙම හමුවට බංග්ලාදේශ ජාතික පක්ෂයේ සාමාජිකයන් සහ තවත් විපක්ෂ දේශපාලන පක්ෂයක් වන ජමාත් ඊ ඉස්ලාමී පක්ෂයේ සාමාජිකයන් ද එක් වී සිටි බව පැවැසෙයි. ෂෙයික් හසීනාගේ පලා යෑමෙන් පසු අන්තර්වාර රජයක් පිහිටුවීමට පියවර ගන්නා බව හමුදාව පවසා තිබේ.

රටින් පලා ගිය හසීනා ඉන්දියාවේ….

මේ අතර, රටින් පලා ගිය ෂෙයික් හසීනා, ඉන්දීය රජයේ අනුග්‍රහය යටතේ, තවමත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ.

ෂෙයික් හසීනා, උත්සාහ ගත්තේ, දේශපාලන රැකවරණ යටතේ, එක්සත් රාජධානිය බලා යෑමටය. ඒ සඳහා අවස්ථාව ලැබෙන තුරු හසීනා ඉන්දියාවේ රැඳී සිටින බව ද පැවැසෙයි. 

විරෝධතා හමුවේ ෂෙයික් හසීනා බංග්ලාදේශයෙන් පලා ගියේ සොහොයුරිය රෙහානා සමඟය. රෙහානා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි. 

“මාර්ච් ටු ඩකා”….

බංග්ලාදේශ සරසවි සිසුන් ගෙවුණු ජූලි මාසයේ දී දැවැන්ත විරෝධතාවක් ආරම්භ කළේ රජයේ රැකියා කෝටා ක්‍රමවේදයට විරෝධය පළකරමිනි.

ඩකා අගනුවර කේන්ද්‍ර කරගෙන රට පුරා පැතිර ගිය එම විරෝධතා අතරතුරදී 300කට ආසන්න පිරිසක් මරණයට පත්වුණි.

අර්බුදයට තුඩුදුන් රැකියා කෝටා ක්‍රමවේදය අවලංගු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ විරෝධතා පාලනයට රජය අනුගමනය කළ එම දැඩි මර්දනකාරී පිළිවෙතට ජාත්‍යන්තරයෙන් පවා එල්ලවූ විවේචන හමුවේ ය.

නමුත් ඉන් නොනැවතුණු ශිෂ්‍ය ක්‍රියාකාරීන් රැකියා කෝටාවට එරෙහි විරෝධතාව රජයට එරෙහි දැවැන්ත විරෝධතාවක් බවට පරිවර්තනය කරමින් යළි උද්ඝෝෂණ ආරම්භ කළේ මීට දින කිහිපයකට පෙරාතුවය.

ඒ, පෙර විරෝධතා අතරතුර මියගිය පිරිසට යුක්තිය ඉටුකර ධුරයෙන් ඉවත්වන්නැයි අගමැතිනි ෂෙයික් හසීනාට බල කරමිනි.

නගර රැසක දී ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙවර විරෝධතාවේ නිරත වූයේ එරට ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ ද සහාය ඇතිව ය.

ගෙවුණු දෙසතිය තුළ පමණක් අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් ගණන 10,000ක් පමණ බව විදෙස් මාධ්‍යවල සඳහන්ය.

රටපුරා නොසන්සුන් තත්ත්වය සැලකිල්ලට ගෙන පෙරේදා පස්වරුවේ සිට දින නියමයක් නොමැතිව රටපුරා ක්‍රියාත්මක වන පරිදි ඇඳිරිනීතිය පැනවීමටත් අන්තර්ජාල සබඳතා අවලංගු කිරීමටත් රජය පියවර ගත්තේය.

ඇඳිරිනීතිය මැද ශිෂ්‍ය ක්‍රියාකාරීන් රජයට එරෙහිව ඊයේත් දැවැන්ත විරෝධතා පා ගමනක් පැවැත්වූයේ “මාර්ච් ටු ඩකා” නමිනි.

එය විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කළත් අතිශය ප්‍රචණ්ඩකාරී විරෝධතාකරුවන් පාලනයට ආරක්ෂක අංශ සමත් වුණේ නැත.

පසුව විරෝධතාකරුවන් ඩකා අගනුවර අගමැති නිල නිවසට කඩා වැදුණි.

ඔවුන් එහි කඩා වදින විටත් අගමැතිනිය ආරක්ෂිත ස්ථානයක් වෙත නික්ම ගොස් තිබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අගමැති නිල නිවස පරිශ්‍රයේ පිහිටා ඇති ශෙයික් මුජිබර් රහුමාන් පිළිරුව විරෝධතාකරුවන් විසින් බිඳ දැමුවේය.

මුජිබර් රහුමාන් යනු බංග්ලාදේශයේ නිදහසේ පුරෝගාමියා සහ නිදහස් බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා වන අතර ඔහු වත්මන් අගමැතිනි ෂෙයික් හසීනාගේ පියාය.

අගමැති නිල නිවසට කඩාවැදුණු විරෝධතාකරුවන් එහි දේපොළවලට හානි කරමින් හැසිරුණු ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඇතැමුන් එහි භාණ්ඩ සොරකම් කළ බවත් විදෙස් මාධ්‍යවල සඳහන් වුණි.

විරෝධතාකරුවන් ඩකා අගනුවර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලටද කඩාවැදී තිබුණි.

දේශපාලන විචාරකයින් මත පළ කර තිබුණේ ලේ වැගිරීමකින් තොරව ෂෙයික් හසීනා කිසිවිටෙකත් සිය ධුරයෙන් ඉවත් නොවන බවටය.

ෂෙයික් හසීනා බංග්ලාදේශ අගමැති ධුරයට පත්වුණේ 2009 වසරේදීය.

ඇයගේ වසර 15ක පාලනය තුළ එරට ආර්ථිකය වේගවත්ව වර්ධනය වූ බව වාර්තාවලින් පෙනීගියත් ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට චෝදනා එල්ලවුණි.

අඛණ්ඩව සිව්වන වරටත් මේ වසරේ ඇය අගමැති ධුරයට පත්වුවද මැතිවරණ ප්‍රතිඵල දූෂිත බව එල්ලවූ ප්‍රසිද්ධ චෝදනාවකි.

15 වසරක පාලන කාලය තුළ ඇය මුහුණදුන් මෙම දැවැන්තම විරෝධතාව නිර්මාණය වන්නේ එවැනි තත්ත්වයක් හේතුවෙනි.

විරෝධතා මැද අගමැතිනිය පළායද්දී හසීනා රජයේ ඉහළ නිලධාරීන් රැසක් ද අද රටින් පිටවගොස් තිබුණි.

පසුව බංග්ලාදේශයේ පාලනය භාරගත් එරට හමුදා නායකයා ජාතිය අමතමින් කියාසිටියේ කඩිනමින් අන්තර්වාර පාලනයක් පිහිටුවන බවය.

“අගමැතිනි ෂෙයික් හසීනා සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. මම සියලුම පක්ෂවල දේශපාලන නායකයින්ට සාකච්ඡා සඳහා ආරාධනා කළා. අපි අන්තර්වාර රජයක් පිහිටුවීමට තීරණය කළා. ඒ අනුව රට ඉදිරියේ දී පාලනය වන්නේ අන්තර්වාර රජයක් යටතේයි.”

මේ අතර ෂෙයික් හසීනාගේ අනාගත සැලසුම් ගැන අදහස් දක්වමින් ඇයගේ පුත්‍රයා සඳහන් කර ඇත්තේ, සිය මව නැවත වරක් දේශපාලනය නොකිරීමට ඉඩඇති බවය.

හසීනාගේ ප්‍රධාන උපදේශකයා ලෙස කටයුතු කළ ඔහු බීබීසී පුවත් සේවය සමග ඒ බව පවසා තිබුණි.

පුවත්

‘ඉනිය භාරතී’ අත්අඩංගුවට

Published

on

By

හිටපු නැගෙනහිර පළාත් සභා මන්‍ත්‍රී කේ.පුෂ්පකුමාර් හෙවත් ‘ඉනිය භාරතී’ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්‍ අත්අඩංගුවට ගෙන තිබේ.

මනුෂ්‍ය ඝාතන චෝදනා යටතේ  සිදු කෙරෙන පරීක්ෂණවලට අදාළව ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් 2006 දෙසැම්බර් 15 වන දින කොළඹදී පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ චෝදනාව මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට, දෙමළ ජනතා විමුක්ති කොටි සංවිධානයේ නායක සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් පසුගිය අප්‍රේල් 8 වන දින මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාස 03ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.

පිල්ලෙයාන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත ඉනිය භාරතී හෙවත් කුමාරස්වාමි පුෂ්පකුමාර් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

කලක් LTTE සංවිධානයේ ඉදිරි පෙළ නායකයෙකු ලෙස කටයුතු කළ ඉනිය භාරතී පසුව කරුණා අම්මාන් සමග LTTE සංවිධානය අතහැර පැමිණි අයෙකු වේ.

මේ අතර 2005 සහ 2009 අතර කාලය තුළ තිරුක්කෝවිල් සහ විනයාගපුරම් ප්‍රදේශවල පුද්ගලයින් කිහිප දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් ‘ඉනිය භාරතීට චෝදනා කර ඇති අතර ඔහුට එරෙහිව අධිකරණයේ නඩුවක් ගොනු කර තිබීම විශේෂත්වයකි.

Continue Reading

පුවත්

ටිරාන්ට මරණ තර්ජන

Published

on

By

හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මරණ තර්ජන එල්ල කර ඇතැයි වාර්තා වේ.

ඊයේ (05)  ඩුබායි හි සිට පාතාල නායකයකුගෙන් ලැබුණු දුරකථන ඇමතුම් කිහිපයක් මගින් මේ මරණීය තර්ජන එල්ල කර ඇති බව පැවසේ.

ටිරාන් අලස් මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයාව සිටියදී රටින් පලාගොස් සිටින සියළුම පාතාල නායකයින් හා පාතාල සාමාජිකයින් නැවත මෙරටට ගෙන්වීමට අවශ්‍ය නියෝග දීම පිළිබඳව ප්‍රකාශ කරමින් මෙම මරණ තර්ජනය කර ඇති බව වාර්තා වේ.

මේ වනවිට මේ සිදුවීම පිළිබඳව පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් විශේෂ අංශ දැනුවත් කර ඇති අතර මරණීය තර්ජනය පිලිබදව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද පැවසේ.

Continue Reading

පුවත්

කතානායක චෝදනාවලට උත්තර බදියි

Published

on

By

කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව කතානායක කාර්යාලය පවසයි.

කතානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා හෝ භාවිත නොකරන බවත් කතානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ කතානායක කාර්යාලයේදී පවත්වන බවත් සදහන් කරයි

එම කාර්යාලය මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුව සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

එතෙක් පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කතානායකවරයාගේම යෝජනාවකට අනුව කතානායකවරයාට ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන වන ලෙස ලබා දීමට 2025 මැයි 02 දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කරන ලදී. ඒ අනුව වත්මන් කථානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දන්වා සිටියි. තවද, ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි නිල වාහන දෙක (වාහන අංක CAN 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථානායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී තිබේ.

කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්,සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධිවිධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමිවේ.

තවද, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන් ආහාර වලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි. කථානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කථානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබයි. එමෙන්ම කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචිවී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාරව ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved