Connect with us

පුවත්

කළුතර පාසල් සිසුවිය මැරුවේ සීසර් කෙනෙක්!

Published

on

කළුතර ප්‍රදේශයේ හෝටල් කාමරයකට ගොස් 16 හැවිරිදි බාල වයස්කාර පෙම්වතිය නිරුවත් කර තුන්වන මහලෙන් පහළට තල්ලු කර මරා දැමූ බව කියන 29 හැවිරිදි සැකකරු මෙම දැරිය ටික්ටෝක් මගින් දින දෙකකට පෙර හඳුනාගත් අයකු බව වාර්තා වේ.

මෙරට ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක ගෙවීමට අපහසු වාහන අත්පත් කරගන්නා (සීසර්) පුද්ගලයකු වන මෙම සැකකරු විවාහක පුද්ගලයකු බවත් කළුතර දකුණ පොලිසිය සඳහන් කරයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කළුතර නාගොඩ රෝහල ආසන්නයේ පදිංචි කළුතර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකි.

ටික්ටොක් සමාජ මාධ්‍යට වීඩියෝ එක් කරන සිසුවිය මෙම පුද්ගලයා එම සමාජ මාධ්‍ය ඔස්සේම දින දෙකකට පෙර දැන හදුනාගෙන ඇති බවත් ඒ අනුව ඇයට හෝටලයකට යාමට එන්නැයි ඇරයුම් කර තිබෙන බවත් පොලිසිය පවසයි.

මේ අනුව මෙම දැරිය සිය පෙම්වතා සමගින් පෙරේදා (06) සවස 06 ට පමණ කළුතර ගාලු පාරේ පිහිටි හෝටලයකට පැමිණ ඇත. බාලවයස්කාරියක නිසා ඇය කළුතර නාගොඩ ප්‍රදේශයේ පදිංචි තම නිවසට යාබදව පදිංචි 20 හැවිරිදි තරුණියකගේ ජාතික හැඳුනුම්පතක් පෙන්වා හෝටලයේ තුන්වන මහලෙන් වෙන්කරගත් වායු සමීකරණය කළ කාමරයකට ගොස් තිබෙන බවත් විමර්ශන මගින් අනාවරණය වී ඇත.

මෙම යුවළ සමගින් තවත් 19 හැවිරිදි තරුණියක් 22 හැවිරිදි සිය පෙම්වතා සමගින් මෙම හෝටලයේම යාබද වායු සමීකරණ කාමරය වෙන්කරවා ගෙන ඇති බවත් මොවුන් සිවු දෙනාම එක් කාමරයක සිට ජොනිවෝකර් රෙඩ් ලේබල් වර්ගයේ විස්කි බෝතලයක්ද මෙහි සිට පානය කර ඇති බවත් හෝටල් සේවකයකු පොලිසිය හමුවේ සඳහන් කර ඇත.

මත්පැන් පානයෙන් පසු අනෙක් යුවළ යාබද කාමරයට ගොස් මඳ වේලාවක් එතුළ රැඳී සිට පිටව ගොස් ඇත. 

එසේම 16 හැවිරිදි දැරිය සමගින් සිටි පෙම්වතාද දැඩි කලබලයකින් හෝටලයේ සිට දිව යන ආකාරයද එහි සේවකයන් දැක ඇත.

දෙවන මහලේ ජනේලයකින් නිරුවත් කාන්තා මළසිරුරක් දුම්රිය මාර්ගයේ වැටී තිබෙන බවට හෝටලයට ආහාර ගැනීම සඳහා පැමිණි පුද්ගලයකු දැක ඒ බව හෝටල් කාර්ය මණ්ඩලයට පැවසීමෙන් අනතුරුව ඔවුන් 119 හදිසි ඇමතුම් අංශයට ඒ බව දැනුම් දී ඇත. 

අනතුරුව කළුතර දකුණ පොලිසියේ නිලධාරින් 1990 සුව සැරිය ගිලන් රථයක් සමග එම ස්ථානයට පැමිණ පරික්ෂා කිරීමේදී එහි වැටී සිටි දැරිය මිය ගොස් ඇති බවට නිරීක්ෂණය වී ඇත.

කළුතර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ගේ මෙහෙයවීම මත සිදුකළ විමර්ශනවලට අනුව මෙම හෝටලයට මොවුන් හා පැමිණි 19 හැවිරිදි තරුණිය සහ ඇයගේ 22 හැවිරිදි පෙම්වතාත්, ඝාතනයට ලක්වූ දැරිය හා සම්බන්ධයක් පවත්වාගෙන ගිය 29 හැවිරිදි පුද්ගලයාගේ බිරිඳත් පොලිසිය භාරයට ගෙන තිබිණි.

තමන් එම කාමරයේ මත්පැන් පානය කර වෙන්කරගත් කාමරයට ගිය බවත් එහි වේලාවක් රැඳී සිට හෝටලයෙන් පිටව ගිය බවත් එහිදී සැකකාර යුවළ පවසා ඇත. 

එසේම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන 29 හැවිරිදි පෙම්වතාගේ විවාහක බිරිඳ ද පවසා ඇත්තේ තම සැමියා මෙවන් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව නොදන්නා බවය. 

ඔහු පෙරේදා දහවල් නිවසට පැමිණ රුපියල් දෙදහසක මුදලක්ද ඉල්ලාගෙන තමන්ට පරිස්සමෙන් ඉන්න යැයි කියමින් පිටව ගිය බවද ඇය පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කර ඇත.

කෙසේ වෙතත් සිසුවිය හා හෝටලයට ආ මිතුරු යුවළ සිසුවිය වැටී සිටි දුම්රිය පාර අසලට පැමිණ ඇයගේ මළ සිරුර දුම්රිය පාරෙන් මඳක් ඉවත්කර පිටවී ගොස් පැයකට පමණ පසු පොලිසියට පැමිණ භාරවී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ඝාතනය සිදුකළැයි කියන සැකකරු සුදු පාටට හුරු මෝටර් රථයකින් පලාගිය බවට තොරතුරු ලැබී ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි.

මියගිය තරුණිය කළුතර ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ සහෝදරියකගේ දියණියක බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මූලාශ්‍රය – අරුණ

පුවත්

කතානායක චෝදනාවලට උත්තර බදියි

Published

on

By

කතානායකවරයා කොළඹ ලොරිස් පටුමගේ පදිංචි නිවසේ කුලිය ඔහුගේ වැටුපෙන් ගෙවන බව කතානායක කාර්යාලය පවසයි.

කතානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා හෝ භාවිත නොකරන බවත් කතානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ කතානායක කාර්යාලයේදී පවත්වන බවත් සදහන් කරයි

එම කාර්යාලය මෙසේ පැවසුවේ පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට සහ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට පාර්ලිමේන්තුව සපයා ඇති පහසුකම් පිළිබඳ මාධ්‍යවල පළවන විවිධ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමිනි.

එම නිවේදනයේ මෙසේද දැක්වේ.

එතෙක් පැවති අසීමිත ඉන්ධන පහසුකම වෙනුවට වත්මන් කතානායකවරයාගේම යෝජනාවකට අනුව කතානායකවරයාට ලබා දෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන පහසුකම්වලට සමාන වන ලෙස ලබා දීමට 2025 මැයි 02 දින කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් පැවති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලීය උපදේශක කාරක සභාවේදී තීරණය කරන ලදී. ඒ අනුව වත්මන් කථානායකවරයා වෙත නිකුත් කෙරෙන ඉන්ධන පහසුකම කැබිනට් අමාත්‍යවරයෙකුට ලබාදෙන ඉන්ධන පහසුකමට සමානව මසකට ලීටර 900 දක්වා අඩු කර තිබෙන බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දන්වා සිටියි. තවද, ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කරන ලද පීඑස්/සීඑස්ඒ/00/1/4/12 දරන 2025.01.21 දිනැති චක්‍රලේඛ ප්‍රකාරව කථානායකවරයාට හිමි නිල වාහන දෙක (වාහන අංක CAN 8753/CBI 5198) එතුමා විසින් භාවිත කරන අතර, කථානායක මාධ්‍ය අංශයේ භාවිතය සඳහා වාහන අංක NC 4923 දරන වෑන් රථය ලබාදී තිබේ.

කථානායකවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා බඳවාගෙන ඇති නිලධාරීන් සංඛ්‍යාව 08 දෙනෙක් වන අතර, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්,සම්බන්ධීකරණ ලේකම්, මාධ්‍ය ලේකම් සහ මහජන සම්බන්ධතා නිලධාරී යන තනතුරු සඳහා අදාළ රජයේ චක්‍රලේඛවල විධිවිධාන ප්‍රකාරව නිල වාහන සහ ඉන්ධන පහසුකම් හිමිවේ.

තවද, පාර්ලිමේන්තුවෙන් ලබාදෙන ආහාර සඳහා පාර්ලිමේන්තුවේ අනෙකුත් විධායක නිලධාරීන් හා සමානව කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයාගේ මාසික වැටුපෙන් ආහාර වලට අදාළ නියමිත මුදල අය කෙරෙන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය සඳහන් කරයි. කථානායකවරයා සිය නිල නිවස පෞද්ගලිකව හෝ රැස්වීම් සඳහා හෝ වෙනත් කටයුත්තක් සඳහා භාවිත නොකරන අතර කථානායකවරයාට අදාළ සියළු නිල රැස්වීම් සහ රාජතාන්ත්‍රික හමුවීම් සියල්ල පාර්ලිමේතුවේ පිහිටි කථානායක කාර්යාලයේදී පවත්වනු ලබයි. එමෙන්ම කථානායකවරයා දැනට තාවකාලිකව පදිංචිවී සිටින කොළඹ 04, ලෝරිස් පටුමගේ පිහිටා ඇති නිවස සඳහා අදාළ මාසික කුලිය 2007.04.20 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 22/2006 ප්‍රකාරව ඔහුගේ වැටුපෙන් මාසිකව ගෙවනු ලබන බවද පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දෙයි.

Continue Reading

පුවත්

ඇමතිලා වෑකන්දේ දමා වාරිමාර්ගය ඉබියතුරු දාලා 

Published

on

By

අනුරාධපුර නුවර වැවේ සංචාරයක් නිමාකර යළි වෑකන්ද මතින් පිටව යෑමට පැමිණි මැති ඇමැති පිරිසක් වෑකන්ද තුළ දමා එහි ගේට්ටු වසා ඉබි යතුරු දමා වසා දැමීම නිසා එම පිරිස දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර  උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතා ඇතුළු කණ්ඩායමක් එම සංචාරයට එක්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කය සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීමේ අරමුණෙන් රජය විසින් ගෙන යන දැනුවත් කිරීම සඳහා සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව  සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස නුවර වැවේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබේ.  

එහිදී  නුවර වැව් බැම්ම හරහා යාමට ඇති මාර්ගය දෙපැත්තෙන් ගේට්ටු දෙකක් දමා වසා ඇති ආකාරය එම පිරිස නිරීක්ෂණය කළහ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව  වැව් බැම්මේ එක් ගේට්ටුවක් විවෘත කිරීමෙන් අනතුරුව සංචාරක නියෝජ්‍ය ඇමතිවරයා ඇතුළු පිරිස වැවේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කළ අතර නැවත පිටතට යාමට සූදානම් වූ අවස්ථාවේදී එම ගේට්ටු යළි ඉබි යතුරු දමා වසා දැමීම හේතුවෙන් එම පිරිස දැඩි අපහසුතාවයට ලක් වූහ.

Continue Reading

පුවත්

ටෙක්සාස් හි ගංවතුරෙන් ළමයි 15ක් ඇතුළු 43ක් ජීවිතක්ෂයට

Published

on

By

අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඇති වූ හදිසි ගංවතුර තත්ත්වයෙන් ළමුන් 15 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 43 දෙනෙකු මිය ගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

පැවති වර්ෂාපතනයත් සමග ඉකුත් සිකුරාදා අලුයම ග්වාඩලූප් ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් මෙම හදිසි ගංවතුර තත්ත්වය ඇති වූ අතර දිවි ගලවා ගත් පුද්ගලයින් සොයා දැඩි සෝදිසි මෙහෙයුම් සිදුවෙමින් පවතින බව පැවසේ.

අතුරුදන්වූවන් සොයා හෙලිකොප්ටර් යානා 14ක්, ඩ්‍රෝන යානා 12ක්, ගලවා ගැනීමේ බෝට්ටු සහ ගලවා ගැනීමේ කණ්ඩායම් නවයක් සමඟ සහන සේවකයින් 500කට වැඩි පිරිසක් ද යොදවා ඇති අතර මේ වන විට පුද්ගලයින් 850ක් පමණ බේරාගෙන ඇති බව වාර්තා වේ.

ගලවා ගැනීමේ මෙහෙයුම්වලදී වැඩි අවධානයක් යොමු කර ඇත්තේ ටෙක්සාස්හි ග්වාඩලූප් ගං ඉවුරේ පිහිටා තිබූ කඳවුරක් වන අතර, එහි සිටි වයස අවුරුදු 12ට අඩු ගැහැණු ළමයින් ඇතුළුව 27 දෙනෙකු අතුරුදන් වී ඇත.

මේ අතර ඇතිවූ හදිසි අවස්ථාවට ප්‍රතිචාර දැක්වීම සඳහා තම පරිපාලනය, පළාත් පාලන ආයතන සමඟ සමීපව කටයුතු කරන බවත්, ඕනෑම ආධාරයක් ලබා දීමට සුදානම් බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

ගංවතුර තත්ත්වය හේතුවෙන් ටෙක්සාස් ප්‍රාන්තයේ විදුලියද ඇනහිට ඇති අතර මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා මතුව ඇති බවද විදෙස් මාධ්‍යවල දැක්වේ.

ජාතික කාලගුණ සේවය පැවසුවේ ජලගැලීමෙන් තවමත් පීඩාවට පත් ඇතැම් ප්‍රදේශවලට දැඩි වර්ෂාපතනයක් ලැබිය හැකි බවත් ඒ හේතුවෙන් මධ්‍යම ටෙක්සාස්හි ගංවතුර තත්ත්වය තවත් ඉහළ යා හැකි බවයි.

හදිසි ගංවතුර හේතුවෙන් කඳුකර රට සහ කොන්චෝ නිම්න ප්‍රදේශ සඳහා ද ආපදා අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබෙන බවද පැවසේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved