කළුතර දැරියගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිටි ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ ශරීර ඇප මත මුදාහැරීමට
කළුතර මහේස්ත්‍රාත් නීතා හේමමාලි හාල්පන්දෙණිය මහත්මිය නියෝග කළාය.
එහිදී නියෝග කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ලැගුම්හල් අයිතිකරුගේ බිරිඳ මුදාහැරීමටය.
එම සිද්ධියට අදාළ සැකකාරිය ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු අද යළි කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත.
එහිදී අධිකරණය නියෝග කර ඇත්තේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එම දැරියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ මෝටර් රථය රැගෙන ගිය මිතුරා එළඹෙන 26 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකරන ලෙසටය.
සිද්ධියේ ප්‍රධාන සැකකරු වන, දැරිය මියයන අවස්ථාවේ ඇය සමඟ ලැගුම්හල තුළ රැදී සිටි පුද්ගලයා මේ වන විට පසුවන්නේ රිමාන්ඩ් භාරයේය.
මෙම සැකකරුවන් සිව්දෙනා අද (15) කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන ආවේ දැඩි ආරක්ෂාවක් මධ්‍යයේය.
සැකකරුවන් අධිකරණයට රැගෙන එන මොහොතේ, මියගිය දැරියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවක නියැලී සිටියේය.
ගාලුපාරේ මීටර් 50ක පමණ දුරකට පෙලගැසී සිටී විරෝධතාකරුවන් මියගිය දැරියට “සාධාරණය ඉටුකරනු”, “පොලීසිය විමර්ශන නිසියාකාරව සිදුකරනු”, “ප්‍රමිතියකින් තොර ගොඩනැගිල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක වනු” යන මැයෙන් විරෝධතා පුවරු අතැතිව නිහඬ විරෝධතාව විනාඩි 30ක් පමණ සිදුකර විසිර ගියහ.