Connect with us

පුවත්

ක්ලබ් වසන්ත මැරුවේ මධුෂ් ගැන පොලිසියට ඔත්තු දුන් නිසා බව වෙඩික්කරුවෝ කියයි

Published

on

සුරේන්ද්‍ර වසන්ත හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සඳහා පැමිණි දෙවැනි වෙඩික්කරු හා වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු පොලිසියට පාපොච්චාරණයක් කර තිබේ.

මෙම පුද්ගලයින් දෙදෙනා පානදුර පිංවත්ත ප්‍රදේශයේ බස් නැවතුම්පොළක් අසල රැඳී සිටින බවට පානදුර කොට්ඨාසය භාර ජ්‍යේෂඨ පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරක් මත ඊයේ (28) රාත්‍රියේදී අත්අඩංගුවට ගැනුණි. 

ඔවුන්ගෙන් අයෙක් 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා හෙවත් ‘පොඩි බලයා’  සහ වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථයේ රියදුරු වූ 29 හැවිරිදි මදුශංඛ ද සිල්වා නොහොත් ‘බහිරවයා’ නම් දෙදෙනාය.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්නකිරීම්වලදී අනාවරණ වී ඇත්තේ, පොලීසිය මාධ්‍ය හරහා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග තමන්ට සැඟව සිටීමට තැනක් නොතිබූ බවය.

ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනකදී තමන් ඇතුළු පිරිස ඩුබායිහී සිටින පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණි බවද ඔවුන් පොලීසිය හමුවේ පවසා තිබේ.

එම නිවසට පැමිණි අයෙකු විසින් පසුදින උදෑසන ඝාතනය කළයුතු පුද්ගලයාගේ ඡායාරූපයක් පෙන්වූ බවත් ඡායාරූපයේ සිටින පුද්ගලයා ක්ලබ් වසන්ත බවට එහිදී හඳුනානොගත් බවත් ඔවුන් පවසා ඇති බව සඳහන් ය.

අනතුරුව KPI ලෙස සටහන් කරන ලද උණ්ඩ යෙදූ මැගසින් සහිත ටී.56 ගිනි අවි දෙක වෙඩික්කරුවන්ට ලබාදී ඔහු එම ස්ථානයෙන් පිටව ගිය බවට සැකකරුවන් පාපෝච්චාරණය කළ බව පොලීසිය පැවසීය.

ඒ අනුව පසුගිය ජුලි මස 8 වනදා උදෑසන වෙඩික්කරුවන් දෙදෙනා ‘බහිරවයා’ නමැත්තා සමගින් මෝටර් රථයකින් අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානයට ගොස් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර තිබේ.

එහිදී පළමුව ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ ‘පොඩි බලයා’ නමැති වෙඩික්කරු සිතා ඇත්තේ, කේ. සුජීවාගේ සැමියා ක්ලබ් වසන්තගේ පෞද්ගලික ආරක්ෂකයෙක් බවටය.

ඒ අනුව ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කළ සැකකරු අනතුරුව සිය පළමු මැගසිනයේ උණ්ඩ අවසන්වන තෙක් ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවට පොලීසියට පවසා තිබේ.

පසුව ඔහු පසුපස සිටි අනෙක් වෙඩික්කරුද ක්ලබ් වසන්තට වෙඩි තැබූ බව ඔහු පවසා ඇත.

අනතුරුව ඔවුන් මෝටර් රථයෙන් පැමිණ වෑන් රථයකට නැඟ කඩවතට ගොස් එහි සිට මාතර දක්වා බස් රථයකින් පළාගොස් තිබේ.

මාතරදී ඔවුන් සතුව තිබූ ගිනිඅවි වෙනත් අයෙකු පැමිණ රැගෙන ගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

පසුව ඔවුන් කතරගම ප්‍රදේශයේ සැඟව සිටියදී ‘ලොකු පැටී’ ඩුබායී සිට දුරකථනයෙන් අමතා ඔවුන්ට සුබ පතා තිබේ.

එමෙන්ම කතරගමදී ප්‍රවෘත්ති ප්‍රකාශ නැරඹීමේදී තමන් විසින් ඝාතනය කර ඇත්තේ ක්ලබ් වසන්ත නමැත්තා යැයි දැනගත් බවට ඔවුන් පොලීසිය හමුවේ හෙළිකර ඇත.

ඝාතනය වෙනුවෙන් අවස්ථා කිහිපයකදී මොවුන්ට රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් ලබාදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.

පසුව පිරිස මාතරට පැමිණ වෙන්වී ගොස් ඇති අතර පොලීසිය මොවුන් අත්අඩංගුවට ගැනීමට මහජන සහාය පැතීමත් සමග නැවත එක් වී විවිධ ස්ථානවල සැඟව සිට ඇති බව කියයි.

එහිදී තමන් දෙදෙනාට බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වූ අමල් සිල්වා නැමැත්තාගේ නිවසේ නවාතැන් ගන්නා ලෙසට ඩුබායි සිට උපදෙස් ලැබුණු බවද ඔවුන් පොලීසිය හමුවේ අනාවරණ කර තිබුණි.

දින 20කට අධික කාලයක් ඔවුන් එහි රැඳී සිට ඇති අතර අමල් සිල්වා විසින් ඔවුන්ගේ භාවිතය සඳහා දුරකථනයක් ද ලබාදී තිබුණු බවද පොලීසිය පැවසීය.

ඒ අනුව බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තේය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ, ‘කංජිපානි ඉම්රාන්’ පැවසූ බව සඳහන් කරමින් ‘ජූඩ්’ නැමැත්තෙකු තමන්ට දුරකථන ඇමතුමක් ලබාදී පුද්ගලයන් දෙදෙනෙකුව තමන් වෙත එවා ආරක්ෂාව සපයන ලෙස පැවසූ බවය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා අතුරුගිරිය පොලීසිය වෙත භාරදී ඇති අතර එහිදී සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් හා KPI ලෙස සටහන් කරන ලද ටී 56 උණ්ඩ තොගයක් සොයාගැනුණේ ඔවුන් ඝාතනයට පෙර නවාතැන්ගෙන සිටි අතුරුගිරිය නිවසේ සඟවා තිබියදීය.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති ගයංග මාරපන මහතාගේ උපදෙස් මත සිදු කෙරෙයි.

මේ අතර ක්ලබ් වසන්ත ඝාතන සිද්ධියට පසුගිය 22වනදා ත්‍රස්ත මර්දන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් වෙඩික්කරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී ඔහු වැදගත් තොරතුරු රැසක් අනාවරණ කර තිබුණි.

ඔහු පවසා ඇත්තේ, මාකඳුරේ මදූෂ් ඩුබායී හිදී පැවැත් වූ සාදයට ක්ලබ් වසන්තට ද ආරාධනා කර තිබූ අතර ඔහු ඊට නොගොස් ඒ පිළිබඳව ආරක්ෂක අංශ වෙත ඔත්තු ලබාදීම හේතුවෙන් ‘ලොකු පැටීගේ’ අනුදැනුම මත මෙම ඝාතනය සිදුකළ බවය.

මූලාශ්‍රය – අද දෙරණ

සබැඳි පුවත්
ක්ලබ් වසන්ත ඝාතනයට හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට(Update) 

පුවත්

හිටපු මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්ට ඇප

Published

on

By

ශ්‍රී ලංකා රේගුවේ නිෂ්කාශනය නොවී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු මෝටර් රථ කොමසාරිස් ජෙනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු සැකකරුවන් හතර දෙනෙකු ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

ඒ අනුව සැකකරුවන් තුන් දෙනෙකු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් හා එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කල මහෙස්ත්‍රාත්වරිය සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය හමුවට භාර දෙන ලෙසත් නියෝග කළාය.

ඉන් අනතුරුව නඩුව යළි නොවැම්බර් 14 යළි කැඳවීමටද මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

Continue Reading

පුවත්

ගොවි විශ්‍රාම වැටුප ගැන නිවේදනයක්

Published

on

By

විශ්‍රාම වැටුප් අහිමිවී සිටින ගොවීන් සඳහා මේ මස සිට එම විශ්‍රාම වැටුප් ලබාදීමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

සිය ගැටලුව සම්බන්ධයෙන් ගොවීන් රජය වෙත කළ ඉල්ලීම් සලකා බලා එම විශ්‍රාම වැටුප් ගෙවීමට පියවර ගෙන ඇති බව එම මණ්ඩලය සඳහන් කළේය.

2012 /2013 කාලය තුළ ගොවි විශ්‍රාම වැටුප් අරමුදලට සිදුවු බලපෑම හේතුවෙන් විශ්‍රාම වැටුප් ගෙවීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීම මත විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට දායක වී සිටින ගොවීන්ගේ පසුවාරික අයකිරීමේ ක්‍රියාවලිය අඩාල වී ඇති බව සඳහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් එම යෝජනා ක්‍රමය යටතේ දායකත්වය ලබා සිටි ගොවීන්ට වාරික නිසි පරිදි ගෙවීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් වයස අවුරුදු 60 සම්පුර්ණ වන අවස්ථාවේ දී නොකඩවා කන්න දෙකක් තුළ වාරික 5ක් නියමිත දිනට නොගෙවීම මත ගෙවිය යුතු සම්පුර්ණ වාරික මුදලින් සියයට 75කට නොඅඩු වාරික ප්‍රමාණයක් ගෙවා ඇති ගොවීන්ට වැටුප් හිමිකම් අහිමි වී තිබුණි.

කෙසේවෙතත් මෙම වාරික ගෙවීමට නොහැකි වීම ගොවීන්ගේ අතපසුවීමක් නොවන බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය පෙන්වා දුනි.

ඒ අනුව අදාළ ඉල්ලීම් සලකා බලා සියයට 75ට වැඩි වාරික මුදලක් ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීම සඳහා ගෙවා ඇති ගොවීන් වෙනුවෙන් අදාළ වාරික මුදලට ගැලපෙන ප්‍රතිශතාත්මක මුදලක් විශ්‍රාම වැටුප ලෙස ලබා දීම සම්බන්ධයෙන් කෘෂි කර්ම අමාත්‍යවරයා දැනුවත් කර තිබේ.

ඒ අනුව ගොවි විශ්‍රාම වැටුප් උපදේශක කාරක සභාව වෙත යොමුකර එහි නිර්දේශ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මාසිකව ගොවි විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ අවස්ථාව මේ මස සිට ගොවීන්ට ලබාදීමට කටයුතු සංවිධානය කර ඇති බව ගොවි ජන රක්ෂණ මණ්ඩලය සඳහන් කළේය.

Continue Reading

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved