Connect with us

පුවත්

කිසිවෙකු මඟ නොහැර සහන දෙන්න – ජනපති

Published

on

අඩු ආදායම්ලාභී පවුල් වෙත සහල් ලබාදීමේ වැඩසටහනේදී අවශ්‍යතා සහිත කිසිවෙකු මඟ නොහැරෙන පරිදි කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

එසේම පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් (28 50,000) සඳහා සහල් ලබා දීම වෙනුවෙන් ප්‍රමාණවත් වී තොග මිලදී ගැනීම, රුපියල් බිලියන 20 ක උපරිමයකට යටත්ව සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙනු ලැබිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් අද (14) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

මිලදී ගන්නා වී තොග සහල් කර විනිවිද භාවයක් සහිත යාන්ත්‍රණයක් හරහා අඩු ආදායම්ලාභීන්ට ලබාදීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මාසයකට සහල් කිලෝ ග්‍රෑම් 10 බැගින් මාස දෙකක් නොමිලේ ලබාදීමේ වැඩසටහන යටතේ වී මෙට්‍රික් ටොන් 61,600 ක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 10,000ක් වෙන්කිරීමට මීට පෙර තීරණය කර තිබිණි.

නමුත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වූයේ මෙම වැඩසටහන සඳහා පවුල් විසි අට ලක්ෂ පනස් දහසක් හඳුනා ගෙන ඇති බවයි.

ඒ අනුව අඩු ආදායම්ලාභී සියලුදෙනා වෙනුවෙන් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා :

ආහාර සුරක්ෂිතතා වැඩසටහන යටතේ පවුල් 2 850 000ක් සඳහා ලබා දීමට රුපියල් බිලියන 20ක් වටිනා වී තොග මිලදී ගැනීමට බලාපොරොත්තු වෙනවා. සහතික මිලක් ලබා දෙමින් වී මිල ආරක්ෂා කිරීමත් ඉන් අපේක්ෂා කරනවා.

මෙහි පළමු කටයුත්ත වන්නේ වී තොග මිලදී ගැනීමයි. වී තොග මිලදී ගැනීමේ කාර්යය දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දී තිබෙනවා. රජය සහල් අළෙවි කිරීමට පියවර ගන්නේ නැහැ. දුප්පත් පවුල් සඳහා නොමිලේ සහල් ලබාදීමට රජය කටයුතු කරනවා. මෙම වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශ ගණනාවක් එක්ව කටයුතු කරනවා.

නමුත් මේ සඳහා පූර්ණ කාලීනව යෙදවීමට කණ්ඩායමක් අවශ්‍යයයි. ඒ වෙනුවෙන් ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් නිදහස් කර ගැනීමට ආරක්ෂක අංශ සමඟ පැවැත්වු සාකච්ඡාවේදී එකඟත්වය පළ කෙරුණා.

දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි සුදුසුකම් ලැබූ අයට සහල් බෙදාහැරීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කළ යුතුයි. වී මිලදී ගැනීම සම්බන්ධයෙන් මහා පරිමාණ වී මෝල් හිමියන් සිදුකරන අනවශ්‍ය බලපෑම්වලට ඉඩ දිය නොහැකියි. ඒ වගේම අඩු ආදායම්ලාභී පවුල් වෙත ලබා දෙන මෙම ප්‍රදානය “සහන සහල්” ලෙස නම් කර ඒවා නැවත විකිණීමට නොහැකි වන ලෙස කටයුතු කිරීම ඉතා වැදගත්. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අදහස් ලබා ගැනීමත්, දිස්ත්‍රික් ලේකම්වරුන් සමඟ සාකච්ඡා කිරීමත් සිදු කෙරෙනවා.

මේ වැඩසටහන ඉදිරියට ගෙන යාම සඳහා නිවැරදි දත්ත ලබා ගැනීම ඉතා වැදගත්. ඒ සඳහා ග්‍රාමීය මට්ටමින් රාජ්‍ය නිලධාරීන් ඉදිරිපත් නොවන්නේ නම් කොන්ත්‍රාත් පදනම යටතේ කණ්ඩායමක් බඳවා ගෙන හෝ දත්ත එක් රැස් කිරීමේ කටයුතු කඩිනම් කළ යුතුයි.

ඉදිරි පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ දී ඔවුන්ට ප්‍රමුඛතාව ලබා දිය යුතුයි. විශ්‍රාම ලැබූ රාජ්‍ය නිලධාරීන්ගේ සහාය ද මේ සඳහා ලබා ගැනීමේ හැකියාව පවතිනවා. නිශ්චිත කාල රාමුවුක් තුළ මෙම කටයුතු අවසන් කිරීමට සැලසුම් කළයුතුයි.

පුවත්

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තිය ගැන ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

ජාතික ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමේ වගකීම ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්, විද්වතුන් හා මාධ්‍ය සංවිධාන වෙත පැවරෙන බව ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

ඊට පහසුකම් සැලසීම පමණක් ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

Continue Reading

පුවත්

ශ්‍රී ලංකාව BRICS වලට උනන්දුවක් තියෙනවද? මට නම් දැනෙන්නෙ නැහැ – රුසියානු තානාපති

Published

on

By

BRICS සම්මුතිය සමග එක්වීමට උනන්දුවක් දක්වන්නේ නම් රටක් ලෙස ශ්‍රී ලංකාව ඊට ප්‍රායෝගිකව පියවර ගත යුතු බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවාන් ජගර්යාන් මහතා පවසයි.

කොළඹදී ඊයේ පැවති විශේෂ සමුළුවක ප්‍රශ්නෝත්තර වටයේදී ඔහු මේ බව කියා සිටියේය.

“ජාත්‍යන්තර නීතීය තුළ බලය යෙදවීම රුසියානු කෝණයෙන්” යන විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අධ්‍යයන මධ්‍යස්ථානයේදී ඊයේ පැවැත්වුණි.

එහිදී  මාධ්‍යවේදීයෙකු විසින් ශ්‍රී ලංකාව BRICS සමග සම්බන්ධ වෙන්නේ කවදාදැයි විමසා සිටියේය.

ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති ලෙවාන් ජගර්යාන් මහතා – “මේ ප්‍රශ්නය මගෙන් කිහිප සැරයක්ම අහලා තියෙනවා.මම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ 01 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවෙන්න ගියා රුසියානු ජනාධිපතිතුමාගේ ආරාධනා පත්‍රයකුත් අරගෙන BRICS සමුළුවට සහභාගී වෙන්න කියලා. මම භාෂා පරිවර්තක සමඟ තමයි කතා කළේ. මම දන්නේ නෑ එයා හරියට පරිවර්තනය කළාද කියලා.ජනාධිපතිවරයා මට කිව්වා මහ මැතිවරණය පැවැත්වෙන නිසා ඔහුට රුසියාවට එන්න වෙන්නේ නැහැ කියලා. BRICS සමඟ සම්බන්ධ වෙනවා නම් රුසියාවෙන් විතරක් නෙවෙයි සාමාජික රටවල් සියලුදෙනාගේ සම්මුතියක් තියෙන්න ඕනේ සහ ඒකට පියවර ගණනාවක් තියෙනවා.”

“රුසියාව,චීනය ශ්‍රී ලංකාවට සහයෝගය දෙනවා නමුත් ඒක කරන්න ඉතින් ඔබගේ පැත්තෙනුත් උනන්දුවක් තියෙන්නේ ඕනේ.එහෙම උනන්දුවක් තියෙනවාද? මට නම් දැනෙන්නේ නැහැ.කරුණාකරලා ප්‍රායෝගික පියවර ටිකක් ගන්න. තව දෙයක් ෂැංහයි සහයෝගිතා සංවිධානය ගැනත් ටිකක් අවධානය දෙන්න කියලා ඔබේ රටට කියනවා.”

මාධ්‍යවේදියා – වසර 3ක පමණ සිට යුක්‍රේනයේ කලාප කිහිපයක රුසියාව සිය අණසක පැතිරවූවා. ඒ කලාපවල අනාගතය කුමක්ද?

“ශ්‍රී ලංකාවේ රුසියානු තනාපති – රුසියානු ව්‍යවස්ථාවට අනුව ඩොනෙස්ක්,ලොහාන්ස්ක්,කර්ෂෝන් සහ සපොරෂියා කලාපය අයිති වෙන්නේ රුසියාවට. යුක්‍රේන හමුදාව සමහර තැන්වල ඉන්නවා ඒ අය ඉවත්විය යුතුයි. ඒ කලාප පිළිබඳ අපි සාකච්ඡා කරන්නේ නැහැ, විශේෂයෙන් ඒවා යළි ලබාදීම පිළිබඳව සාකච්ඡා කරන්නේ නැහැ.”

මූලාශ්‍රය  – අද දෙරණ

Continue Reading

පුවත්

පළාත් පාලන සභාපතිලාගේ නම් අතුළත් ගැසට්ටුව නිකුත් කරයි

Published

on

By

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් පළාත් පාලන ආයතන සඳහා නගරාධිපති, නියෝජ්‍ය නගරාධිපති, සභාපති සහ උප සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඒ අනුව දිස්ත්‍රික්ක 21ක් සඳහා පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කර බහුතරය ලබා ගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතුරින් අදාළ තනතුරු සඳහා වූ නම් ගැසට් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව කටයුතු කර ඇත.

එම ගැසට් නිවේදනය පහතින්,

පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ by poornima

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved