Connect with us

පුවත්

කෘෂි ලේකම් කාර්යාලයක් ස්ථාපිත කරන්න ජනපතිගෙන් උපදෙස් 

Published

on

කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළේ දී  මතුව ඇති ගැටලු නීත්‍යානුකූලව නිරාකරණය කර ගැනීම සඳහා කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයක් කඩිනමින් ස්ථාපිත කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ නවීකරණය සඳහා ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම  පිළිබඳ ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක් වෙමිනි. 

ජනාධිපති මාධ්‍ය අංශය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙසේද දැක්වේ.

කෘෂි නවීකරණ වැඩපිළිවෙළ හා සම්බන්ධව සිටින ජනාධිපති කාර්යාලයේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ අනෙකුත් රේඛීය අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරුන් හා සමාන්තර ශ්‍රේණිවල නිලධාරින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය සඳහා නම් කරන ලෙස ජනාධිපති ලේකම්වරයා වෙත උපදෙස් දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම කටයුතු සඳහා පුද්ගලික අංශය ද දායක කර ගැනීමේ වැදගත්කම පෙන්වා දුන්නේය. 

මේ වන විට ත්‍රිවිධ හමුදාව ද කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ අනුගතව කටයුතු කරන බව  ජනාධිපතිවරයා කියා සිටියේය.

තේ, පොල්, රබර්, වී, කුරුඳු, ධීවර වැනි ක්ෂේත්‍රවල සිදුකරන ලද පර්යේෂණ අනුසාරයෙන්  රාජ්‍ය සහ පෞද්ගලික අංශය එක්ව ක්‍රියාත්මක කර ඇති ක්‍රියාකාරකම් ද ඇතුළත් කරමින් මෙම කෘෂි නවීකරණ ලේකම් කාර්යාලයේ ක්‍රියාකාරකම් එළිදක්වන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට වැඩිදුරටත් උපදෙස් දුන්නේය. 

මෙහිදී රාජ්‍ය අංශයේ මඟපෙන්වීම හා තාක්ෂණික සහාය ඇතිව පෞද්ගලික අංශය ද දායක කර ගනිමින්  පළාත් පාලන ආයතනවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඒ ඒ ක්ෂේත්‍රවලට අදාළ නියමු ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

කෘෂි නවීකරණ ලේකම් කාර්යාලය පිහිටුවීම සහ එහි වැඩකටයුතුවල ප්‍රගතිය ලබන ජුලි මාසය වන විට තමන් වෙත වාර්තා කරන ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට දැනුම් දෙනු ලැබීය.

එමෙන්ම  මෙම කෘෂිකාර්මික කටයුතු වලට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ ඉල්ලීම් මෙම කෘෂි නවීකරණ  ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව,  එමගින් සුදුසු විසඳුම් යෝජනා කර තමන් වෙත ලබා දෙන ලෙස ද වැඩිදුරටත් උපදෙස් දෙනු ලැබීය. 

රුහුණු විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගාමිණී සේනානායක මහතාගේ සභාපතීත්වයෙන් යුතුව පත්කරන ලද කෘෂි නවීකරණය කමිටුව විසින් කෘෂිකර්ම නවෝත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අදාළව ගනු ලැබූ තිරණ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි. 

මෙම කෘෂි නවෝත්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පෞද්ගලික අංශයේ විද්වතුන්, පර්යේෂකයන්  මෙන්ම රාජ්‍ය යාන්ත්‍රනය තුළ විෂය පිළිබඳ අත්දැකීම් බහුල නිලධාරීන් සහ තරුණ ප්‍රජාව ද සහභාගී කරවා ගැනීමේ වැදගත්කම ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. 

වැවිලි කර්මාන්ත, ධීවර කර්මාන්තය, මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්ත, විසිතුරු මල් පැල වගාව, එළවළු, පලතුරු හා ධාන්‍ය වර්ග නිෂ්පාදන කර්මාන්ත, කිරි, බිත්තර නිෂ්පාදනය ඇතුළු සියලු ක්ෂේත්‍ර නවීකරණයට ලක් විය යුතු බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

2048 සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා කෘෂි අංශය තුළ සිදු කළ යුතු නවීකරණ වැඩපිළිවෙල පිළිබඳ අදාල ක්ෂේත්‍රයන්හි ව්‍යාපාරික ප්‍රජාව ද සම්බන්ධ කර ගනිමින් අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පත් කරන ලද උප කමිටු හරහා සාකච්ඡා කර ගනු ලබන තීරණ තමා වෙත දැනුම් දෙන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. 

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක,  ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු ප්‍රමුඛ කෘෂි ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

පුවත්

රවීගේ බැඳුම්කර නඩුව යළි විභාගයට

Published

on

By

2015 /2016 වසරවලදී සිදුවූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහාධිකරණයේ පවරා ඇති නඩුව විභාගයට ගැනීමට නියම කළේය.

මහාධිකරණයේ ගොනුකොට ඇති අධි චෝදනා පත්‍රය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාව අහෝසි කරන්නැයි ඉල්ලමින් නීතිපතිවරයා ගොනු කර තිබූ  විශේෂ අභියාචන පෙත්සමක් විභාගයට ගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගේ හමුවේ පැවැති මෙම විශේෂ අභියාචන පෙත්සම් විභාගයෙන් අනතුරුව අදාළ නියෝගය ප්‍රකාශයට පත් කෙරිණී.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තූරේරාජා සහ ජනක් ද සිල්වා මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසින් ප්‍රකාශිත නඩු තීන්දුවේ මෙසේ සඳහන් වේ.

ශ්‍රී ලංකා මහා බැංකුව 2015/2026 වසර වලදී කළ බැඳුම්කර වෙන්දේසියේදී සිදුකරන ලදැයි කියන මුදල් වංචාව සම්බන්ධයෙන් එවකට මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා විසින් රහස් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කෙරිණි.

විමර්ශනවලින් පසු සිද්ධිය සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කළ පැමිණිල්ලකට අනුව එවකට මුදල් අමාත්‍යවරයාව සිටි රවි කරුණානායක මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙරුණු අතර එම නියෝගයෙන් අගතියට පත් රවී කරුණානායක මහතා එම වරෙන්තුව බලරහිත කරන රිට්ආඥාවන් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාදනාධිකරණයට රිට් පෙත්සමක් ගොනු කෙරිණී.

(ලංකාදීප)

Continue Reading

පුවත්

නාවික හමුදාව සහ සංවිධානාත්මක කණ්ඩායමක් අතර උණුසුම් තත්ත්වයක්

Published

on

By

ත්‍රිකුණාමලය කුච්චවේලි මුහුදු ප්‍රදේශයේදී නීතිවිරෝධී ක්‍රම භාවිත කරමින් මසුන් අල්ලමින් සිටි ධීවරයන් සමග යාත්‍රා 11ක් නාවික හමුදා භාරයට ගැනීමට ඊයේ (03) මෙහෙයුමක් දියත් කර තිබේ.

එහිදී නාවික හමුදා යාත්‍රාව වට කරමින් සංවිධානාත්මක කණ්ඩායමක් පැමිණ අදාළ එක් යාත්‍රාවක් පැහැරගෙන යෑමට තැත් කර ඇත.

මෙහිදී අදාළ කණ්ඩායම සහ නාවික හමුදාව අතර පොරබැදීමක් සිදුවී ඇති අතර එහිදී නාවික හමුදාව නීත්‍යානුකූලව කටයුතු කිරීමට උත්සාහ දරා තිබේ.

පසුව නාවික හමුදා නිලධාරීන්ගේ ගිනිඅවි උදුරා ගැනීමට තැත් කිරීමත් සමග නාවික හමුදාව අහසට වෙඩිතබා තත්ත්වය පාලනය කිරීමට කටයුතු කර තිබුණි.

එහිදී අදාළ කණ්ඩායම ප්‍රකෝපකාරී ලෙස හැසිරීමත් සමග එක් නාවික හමුදා සෙබෙලෙකුගේ ගිනිඅවිය ක්‍රියාත්මක වී පුද්ගලයෙකුට වෙඩිවැදී තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා ත්‍රිකුණාමලය මහ රෝහලට ඇතුලත් කර තිබෙන අතර ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 23 හැවිරිදි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබේ.

මේ අතර අදාළ සිද්ධිය මුල් කරගනිමින් කුච්චවේලි ප්‍රදේශයේදී ධීවරයින් උද්ඝෝෂණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Continue Reading

පුවත්

ගණේමුල්ල සංජීව ඝාතනයේ වෙඩික්කරු පෙරට්ටුවේදී හඳුනා නොගනී

Published

on

By

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැති හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (04) ඉදිරිපත් කළේය.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහිදී හඳුනාගැනීම සඳහා සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කළ අතර, ඔවුන් විසින් සැකකරු හඳුනා නොගත් බව වාර්තා වේ.

ඉන් අනතුරුව මෙම සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මියගේ නිල මැදිරියට ඉදිරිපත් කර තිබේ.

එහිදී සැකකරු මේ මස 6වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය විසින් නියම කළේය.

එදින මෙම සැකකරු ස්කයිප් තාක්ෂණය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved