Connect with us

පුවත්

කොක්කුතුඩුවායි මිනීවළෙන් තවත් මිනිස් අස්ථි කොටස් සමග පතුරම් උණ්ඩ දෙකක් හමුවෙයි

Published

on

දැනට පූර්ණ මිනිස් සිරුරක අස්ථි කොටස් මතුකර ගෙන ඇති අතර, අදාළ අස්ථි කූඩුව ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇඳුමකට සමාන ඇදුමකින් සැරසී සිට ඇතැ යි නිරීක්ෂණය වන බව කැණීම් නිලධාරීහු පවසති

මුලතිව් ප්‍රදේශයේ කොක්කුතුඩුවායිහි මිනිස් අස්ථි හමුවූ ස්ථානයෙන් තවත් මිනිස් අස්ථි කොටස් කිහිපයක් ඊයේ (සැප්. 07) මතුකර ගැනීමට හැකිවූ බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව ප්‍රකාශ කරයි.

කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානයේ දෙවැනි වරට කැණීම් ආරම්භ කිරීමෙන් පසු ගතවූ දෙවැනි දිනයේ දී මිනිස් අස්ථි කොටස් කිහිපයක් මතුකර ගැනීමට හැකිවූ බව ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා පැවසුවේ ය.

අස්ථි කොටස් හමුවූ ස්ථානයෙන් පතුරම් උණ්ඩයැ යි සැක කෙරෙන කොටස් දෙකක් ද හමුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ද අධිකරණ වෛද්‍ය වාසුදේව ප්‍රකාශ කළේ ය.

පූර්ණ මිනිස් සිරුරක අස්ථි කොටස් දැනට මතුකර ගැනීමට හැකිව ඇති අතර, අදාළ අස්ථි කූඩුව ආරක්ෂක අංශ භාවිතා කරන කැලෑ ඇඳුමකට සමාන ඇඳුමකින් සැරසී සිට ඇති බව ද නිරීක්ෂණය වන බව කැණීම් නිලධාරීහු පවසති.

මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ, කොක්කුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් දෙවැනි වරට කැණීම් කටයුතු පසුගිය හයවැනිදා නැවත ආරම්භ කෙරිණ.

මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණයට යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව, මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනසභාපති වාසුදේව, යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්. පිරනවන් ඇතුළු කණ්ඩායමක් කැණීම් කටයුතු සිදුකරති.

කෝකිලායි පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා බොම්බ නිශ්ක්‍රීය අංශය, පුරාවිද්‍ය නිලධාරීන්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැණීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙයි.

මුලතිව් කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් ද?

මේ අස්ථි කොටස් හමුවූ ස්ථානය මුලතිව් මහේස්ත්‍රාත් ටි. ප්‍රදීපන් සැප්තැම්බර් පස්වැනිදා සවස පරීක්ෂා කරනු ලැබීය. අස්ථි හමුවූ ස්ථානයේ ආරක්ෂිත ආවරණයක් ඉදිකිරීම ද එදින උදෑසන සිදුකෙරිණි.

විශේෂඥ කණ්ඩායමක් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අගොස්තු 10 වැනිදා අදාළ ස්ථානය පරීක්ෂා කළ අතර, එහි වාර්තාවක් අගෝස්තු 17 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් නැවත ආරම්භ කරන ලෙස මුලතිව් මහේස්ත්‍රාත්වරයා අදාළ විශේෂඥ කමිටු වාර්තාව අනුව නියෝග කරනු ලැබුවේ ය.

මීට පෙර කොක්කුතුඩුවායි අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කැණීම් කටයුතු සිදුකිරීම මුලතිව් මහේස්ත්‍රාත් ටි. සරනවරාජාගේ අධීක්ෂණය යටතේ ජුලි 06 ආරම්භ කෙරිණ.

ජල සම්පාදන මණ්ඩල මුලතිව් දිස්ත්‍රික් කාර්යාල සේවකයින් පිරිසක් විසින් කොක්කුතුඩාවායි ප්‍රදේශයේ ජල නල එළීමකට කාණුවක් සකස් කිරීමේදී පළමු වරට ජුනි 29 වැනිදා අදාළ ස්ථානයේ දී අස්ථි කොටස් හමුවී තිබුණි.

අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් මුලතිව්,කෝකිලායි පොලිසිය වෙත දැනුම්දීමෙන් අනතුරුව කෝකිලායි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය දැනුවත් කළේය.

පොලිසියේ දැනුවත් කිරීම් අනුව මුලතිව් මහේස්ත්‍රාත් ටි.සරවනරාජා, අස්ථි කොටස් හමුවු ස්ථානය ජුනි 30 වැනිදා නිරීක්ෂණය කළ අතර, අදාළ ස්ථානයේ කැණීම් සිදුකරන ලෙසට නියෝග කළේය.

ඒ අනුව මුලතිව් මහේස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ,පොලිස් නිලධාරීන්,පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිශ්ක්‍රීය අංශය,පොලිස් අපරාධ පරීක්ෂණ නිලධාරීන්,පුරාවිද්‍ය නිලධාරීන්, යුද හමුදා සාමාජිකයින්,මුලතිව් දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා අතුරුදහන්වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥ කණ්ඩායමක් ඉදිරියේ මෙදින කැණීම් කටයුතු ආරම්භ කෙරිණ.

සමූහ මිනිවළ තුළින් අස්ථි කොටස් හා කාන්තා ඇදුම් කොටස් හමුවීම

අදාළ ස්ථානය තුළින් මිනිස් අස්ථි කොටස් හා ඇඳුම් කොටස් කිහිපයක් මුලිකව නිරීක්ෂණය වන බව පොලිසිය පවසයි.

ආරක්ෂක අංශ විසින් යුද කටයුතු වෙනුවෙන් භාවිතා කරන කැළෑ ඇදුමට සමාන ඇදුම් කොටස් කිහිපයක් අස්ථි කොටස් හමුවු ස්ථානයේ නිරීක්ෂණය වන බවද පොලිසිය සඳහන් කළේය.

හමුදාවට භාරවීමෙන් අනතුරුව මියගිය එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක්ද ?

සමූහ මිනිවළ යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක් විය හැකි බව අතුරුදහන්වූවන්ගේ ඥාතීන් හා මුලතිව් ජනතාව සැක කරන බව මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටි.රවිහරන් බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

“අස්ථි කොටස් හමුවු ස්ථානයේ කාන්තාවන්ගේ ඇදුම්වලට සමාන ඇදුම් කොටස් නිරීක්ෂණය වීම හරහා තමයි ජනතාවට ඒ සැකය ඇතිවෙලා තිබෙන්නේ. යුද්ධ කාලයේ 1984 අවුරුද්දේ ඉඳලා 2011,2012 විතර වෙනකම් ඔය පැත්තේ යුද හමුදාව ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නෑ.ඒ කාලයේ ජන ශූන්‍ය ප්‍රදේශයක් තමයි කොක්කුතුඩුවායි ප්‍රදේශය.ඒ කාලයේ ඔය පැත්තේ සිදුවුණ දේ දන්නේ ආරක්ෂක අංශ විතරයි.”

“අවසන් යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් එල්.ටී.ටී සාමාජිකාවන් බහුතරයක් දෙනා යුද්ධය නිමා වී වසර 14 ක් ගතවුවත් තවමත් අතුරුදහන් වෙලා ඉන්නවා.ඒ අයට සිද්ධවුණ දෙයක් තවමත් අභිරහසක්. යුධ සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් අතුරුදහන්වෙලා ඉන්නවා,ඒ අය සොයාදෙන ලෙසට අතුරුදහන්වූවන්ගේ ඥාතීන් අවුරුදු ගණනාවක් පාරවල් අයිනේ උපවාස පවත්වනවා.ඒත් ඒ අය ගැන කිසිදු තොරතුරක් නෑ.” හිටපු මන්ත්‍රීවරයා පවසයි.

“මුලතිව් ජනතාව හිතන්නේ කොක්කුතුඩුවාය අස්ථි කොටස් හමුවු ස්ථානයේ සමූහ මිනිවළක් තියෙන්න පුළුවන් කියලා.එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනිවළක් මෙතෙන තියෙන්න පුළුවන් කියලා අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ද සැක කරනවා.අද දවසේ කැනීම් ස්ථානයේ මමත් හිටියා.මිනිස් අස්ථි කොටස් 10 කට වැඩි ප්‍රමාණයක් දැක ගන්න පුළුවන් වුණා.තවත් තියෙයි කියලා හිතනවා.පොලිතීන් කෑලි වගේ දේවලුත් දැක ගන්න තියෙනවා.යුධ සමයේ ආරක්ෂක අංශ වෙත භාරවු විශාල පිරිසක් අතුරුදහන්වීම ගැටලුවක්.ඒ අය ගැන සොයා බලන්න රජය කටයුතු කරන්නේ නෑ.ඒ ගැන හොයන්න ජාත්‍යන්තර මැදිහත්වීමක් ඕනේ” හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ අදහස

වවුනියාව දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ.රාජ්කුමාර් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

“කොක්කුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවු ස්ථානය සමූහ මිනිවළක් වෙන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ.මන්නාරමේත් මේ වගේ සමූහ මිනිවළවල් කීපයක් තිබිබා.ඒත් ඒ සමූහ මිනිවළවල් සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලැබුණේ නෑ.කාබන් පරීක්ෂාව කළා කියලා රජය කිව්වා.ඒ අස්ථි කොටස් අවුරුදු 500 ක් විතර පරණ මිනිස් අස්ථි කොටස් කියලා කිව්වා.ඒ ගැන අපිට විශ්වාස නෑ.”

“මේ සමූහ මිනිවළ හා මන්නාරමේ හමුවු අස්ථි කොටස් ඩි.එන්. ඒ පරීක්ෂාවන්ට යොමු කරන්න ඕනේ.ඒ හරහා ස්ථිර පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. මේ සමූහ මිනිවළවල් ගැන ජාත්‍යන්තර විශේෂඥයින් මැදිහත් කරගෙන පරීක්ෂණ පවත්වන්න ඕනේ.ඒ තුළින් සාධාරණ පිළිගැනීමක් ලබා ගන්න හැකියාව ලැබෙනවා.යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් බහුතරයක් දෙනා තවමත් අතුරුදහන්.ඒ අය ගැන ස්ථිර පිළිතුරක් රජයෙන් ලැබෙන්නේ නෑ.අතුරුදහන් අය නැවත එයි කියලා අතුරුදහන්වූවන්ගේ දෙමාපියන්,ඥාතීන් බලාගෙන ඉන්නවා.මේ ප්‍රශ්නවලට විසදුම් ඕනේ” රාජ් කුමාර් බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේය.

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් නැවත සාකච්ජාවක්

මේ අතර මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයේ හමුවු සමූහ මිනිවළ සම්බන්ධයෙන් අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ගොනු කළ නඩු විභාගයක් (ජුලි 05) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවිණි.

සමූහ මිනිවළ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු අධීකරණ වෛද්‍ය නිලධාරීන්,පුරාවිද්‍යා නිලධාරීන්,රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්, අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, ආරක්ෂක අංශ නියෝජිතයින් ඇතුළු කණ්ඩායම් රැසක් නඩු විභාගය වෙනුවෙන් පැමිණ සිටියහ.

නඩු විභාගය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වි.එස්.නිරංජන් පැවසූවේ මන්නාරම,පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වු අතර,එහිදි ගොඩගත් අස්ථි කොටස්වල වර්තමාන තත්වය සහ සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා විමසා සිටි බවයි.

නඩු විභාගය එළැඹෙන සැප්තැම්බර් 12 වැනිදා දක්වා නැවත කල් තැබීමට අධිකරණ නියෝග කළ බවද හෙට්‍ර්හෙම වැඩිදුරටත් අප වෙත පැවසීය.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් 2018 වසරේ දී මිනිස් අස්ථි කොටස් හමුවු අතර, සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 376 කට අදාළ අස්ථි කොටස් එහිදී ගොඩගැනිණි.

 (බීබීසී සිංහල) 

පුවත්

මහ පරිමාණ වංචාවකට මහජන බැංකුවේ ඇසිස්ටන් GM කෙනෙක් උසාවි කැඳවයි

Published

on

By

නීතිපතිවරයා විසින් මෙරට ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවේ හිටපු ප්‍රධානියකුට එරෙහිව පවරා තිබෙන නඩුව ලබන ඔක්තෝබර් 30 වැනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (01) නියෝග කළාය.

අංක HC 39/2019 දරන මෙම නඩුවේ විත්තිකරු ලෙස මහජන  බැංකුවේ මූලස්ථාන ශාඛාවේ සහකාර සාමාන්‍යාධිකාරිවරයකු ලෙස කටයුතු කළ විතානගේ දොන් දයානන්ද මහතා නම් කර තිබුණි.

අදාළ නඩුව පෙරේදා කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණය හමුවේ පෙනී සිටියේය.

2006 ජුනි මස 1 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹදී යම් ලේඛනයක් එනම් යශෝධා සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂවරුන් විසින් 1995 ජූලි 27 වැනිදා ලියා අත්සන් කර අදාළ රාජ්‍ය බැංකුවේ මූලස්ථාන ශාඛාව වෙත ඉදිරිපත් කර ඇති බවට හැඟවෙන පරිදි සකස් කර තිබූ රුපියල් කෝටි 200කට අදාළ පුද්ගලික සුරැකුම් පතක් ලෙසට සාදන ලද ලේඛනයක් කූට ලෙස සාදනු ලැබූ බව දැන දැනම ඒ බව විශ්වාස කිරීමට කරුණු තිබියදී එම ලේඛනය නිර්ව්‍යාජ ලේඛනයක් ලෙස වංචනිකව භාවිත කිරීමෙන් එනම්, කොළඹ වාණිජ මහාධිකරණය ඉදිරියේ විභාග වෙමින් පැවැති අංක 122/2004 දරන නඩුවේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වී ඉහත සඳහන් ලේඛනය නඩු භාණ්ඩයක් ලෙස විත්තිකරු විසින් ඉදිරිපත් කළ බැවින්, දණ්ඩ නීති සංග්‍රහයේ 459 වන වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරු සිදුකර ඇතැයි සඳහන් කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව විත්තිකරුට එරෙහිව පවරා තිබුණි.

මෙම නඩුව සඳහා සාක්ෂිකරුවන් 22ක්ද නඩු භාණ්ඩ 18ක්ද නම් කර තිබුණි.

මෙම සිද්ධියෙන් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිපතිවරුන් වන සම්පත් හේවාපතිරණ, රොෂාන් ඩයස් සහ මහසෙන් සිල්වා යන මහත්වරු පෙනීසිටියහ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

කැඳ­වීම් කර තිබු­ණත්,  රාජිත-විමල් අල්ලස් කොමි­ස­මට ඇවිත් නෑ

Published

on

By

අල්ලස් කොමි­සම සිදු කරන විම­ර්ශ­න­යක් සඳහා ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස හිටපු ධීවර ඇමැති රාජිත සේනා­රත්න මහ­තාට දැනුම්දී තිබුණ ද අස­නීප තත්ත්ව­යක සිටින බව පව­ස­මින් ඊයේ (02) අල්ලස් හෝ දූෂණ චෝදනා විම­ර්ශන කොමි­ෂන් සභාව හමු­වට පැමිණ තිබුණේ නැත.

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘ­ති­යක් රජයේ ප්‍රස­ම්පා­දන ක්‍රියා­ව­ලීන් උල්ලං­ඝ­නය කර­මින්, අත්ත­නෝ­ම­ති­කව සහ නීති විරෝ­ධීව කොරි­යානු සමා­ග­ම­කට දීමෙන් රජ­යට පාඩු­වක් සිදු කළ බවට ලද පැමි­ණි­ල්ලක් සම්බ­න්ධ­යෙන් සිදු කරන විම­ර්ශ­න­ය­කට අදා­ළව ඔහුට චෝදනා එල්ල වී තිබේ.

අල්ලස් කොමි­සමේ විශේෂ විම­ර්ශන ප්‍රධාන පොලිස් පරී­ක්ෂ­ක­ව­රයා විසින් ඊයේ උදෑ­සන 9ට ප්‍රකා­ශ­යක් ලබා දෙන ලෙස රාජිත සේනා­රත්න මහ­තාට ලිඛි­තව දැනුම්දී තිබුණු අතර ඔහු වෙනු­වෙන් ඔහුගේ නීති­ඥ­යකු උදෑ­සන කොමි­සම හමුවේ පැමිණ, සේනා­රත්න මහතා අස­නීප තත්ත්ව­යක සිටින බවට දැනුම දෙමින් විම­ර්ශ­න­යට සහ­භාගි විය නොහැකි බවට ලිපි­යක් භාර දී තිබේ.

එමෙන්ම හිටපු නිවාස හා ඉදි­කි­රීම් අමා­ත්‍ය­ව­රයා වන විමල් වීර­වංශ මහ­තාට ද අල්ලස් කොමි­සම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. ඔහු අමා­ත්‍ය­ව­රයා ලෙස කට­යුතු කළ කාලය තුළදී ඇතැම් වෙළෙ­ඳ­සල් විකි­ණීම සිදු කරන විම­ර්ශන සම්බ­න්ධ­යෙන් ප්‍රකා­ශ­යක් දෙන ලෙස ඔහුට දැනුම් දී ඇත.

ඔහු ද ලබා දුන් දිනයේ පැමි­ණිය නොහැකි බව දන්වා දින­යක් ඉල්ලා ඇති බව වාර්තා විය.

මූලාශ්‍රය – දිනමිණ

Continue Reading

පුවත්

දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද සිට Online ක්‍රම­යට

Published

on

By

2024 පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරී­ක්ෂ­ණයේ ප්‍රති­ඵල මත පාස­ල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණි­යට ඇතු­ළත් වීමේ දෙවැනි වටයේ අභි­යා­චනා ඉදි­රි­පත් කිරීම අද (03) සිට 17 වැනිදා දක්වා මාර්ග­ගත ක්‍රම­වේ­දය ඔස්සේ සිදු කළ හැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශය දැනුම් දෙයි.

අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ නිල වෙබ් අඩ­විය වන www.moe.gov.lk වෙත පිවිස උප­රිම පාසල් 3ක් සඳහා අභි­යා­චනා ඉදි­රි­පත් කිරීමේ හැකි­යාව පව­තියි. g6application.moe.gov.lk දිගුව ඔස්සේ ඍජු­වම අභි­යා­චනා යොමු කිරීමේ හැකි­යාව ඇත

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved