Connect with us

පුවත්

කොග්ගලදී බසයකට ගොඩවී කතකට වෙඩි තබයි

Published

on

අම්බලන්තොට සිට කොග්ගල්ල දෙසට ධාවනය වෙමින් තිබුණු මගී බස් රථයක් මදයමලන්ද ප්‍රදේශයේදී ඊයේ (07) සවස යතුරුපැදියකින් මඟ හරස් කර නතර කළ පුද්ගලයන් දෙදෙනකු එම බස් රථයට ගොඩවී එහි ගමන් කරමින් සිටි කාන්තාවකට වෙඩි තබා පලාගොස් ඇත. 

මේ වෙඩිතැබීම සිදුකර ඇත්තේ බස් රථයේ සිටි මගීන්ගේ කෑමොර අස්සේ අස්සේය.

අම්බලන්තොට කොග්ගල්ල, කඩවර පදිංචිකාරියක වන ලසන්තා රෝහිණී නමැති 47 හැවිරිදි කාන්තාවට මෙසේ වෙඩි තබා තිබිණි.

ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම කර ඇති බවත් හිසට එල්ල කර තැබූ වෙඩිල්ල වැදී ඇත්තේ ඇගේ දකුණු උරහිසට බවත් පොලිසිය කියයි.

බැරගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා අම්බලන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබිණ.

ගව සොරකමක් සම්බන්ධයෙන් ඇතිවුණු ආරවුලක් දුරදිග ගොස් පසුගිය ජූලි 18 වැනිදා රාත්‍රී කාලයේදී කොග්ගල්ලේ පිහිටි නිවෙසකට කඩාවැදී වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින ප්‍රධාන සැකකරු වන රොෂාන් නමැත්තාගේ මවට මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

මෙම වෙඩි තැබීම සිදු වන විට එම කාන්තාවගේ 17 හැවිරිදි දියණිය ද කාන්තාවගේ නැඟණිය ද බස් රථයේ සිට ඇත.

17 හැවිරිදි දියණිය උපකාරක පන්තියකින් රැගෙන එමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව හම්බන්තොට හා මාතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා කියා සිටී.

මෙම කාන්තාවගේ පුතා විසින් සිදු කළ ඝාතනය සම්බන්ධයෙන් වූ නඩුව ද ඊයේ (07) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.

මේව විට පොලිසිය වෙඩික්කරුවන් හඳුනාගෙන තිබේ.

ජූලි 18 වැනිදා ඝාතනය වූ පුද්ගලයාගේ බෑණා එක් සැකකරුවකු බවට හඳුනාගෙන ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතා පැවසීය. මාමාව ඝාතනය කිරීමට පළි ගැනීමක් ලෙස ඝාතකයාගේ මවට මෙසේ වෙඩි තබා ඇතැයි විමර්ශනවලින් පෙනී යන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

ජූලි 18 වැනිදා සිදු වූ ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය පැය කිහිපයක් ඇතුළත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. 

එහිදී ඝාතනය වූයේ අමරකෝන් කංකානම්ගේ සිරිපාල (62) නමැති දෙදරු පියෙකි. විමර්ශනයේදී හෙළිවී තිබුණේ වෙඩික්කරුවන් පැමිණියේ මෙම පුද්ගලයාව ඝාතනය කිරීමට නොව, ඔහුගේ බෑණාව ඝාතනය කිරීමට බවය.

මූලාශ්‍රය – දිනමිණ

පුවත්

පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ

Published

on

By

පිරිවෙන් සාමාන්‍ය පෙළ 2023 (2024) විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ.

අද දිනයේ දී එම ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කලේය.

ඒ අනුව, විභාග දෙපාර්තමේන්තුවේ http://www.doenets.lk/ වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ඇත.

ඒ සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමේ අවශ්‍යතාව පවතින්නේ නම් 1911 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීම් සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි..

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය 28 වනදා නිකුත්කෙරුණු අතර එම විභාගයට පෙනී සිටි පිරිවෙන් අධ්‍යාපනය ලබන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල මෙලෙස අද දිනයේ නිකුත්කර තිබේ.

Continue Reading

පුවත්

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි

Published

on

By

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල මණ්ඩලයේ සේවකයින් විසින් ඉවත් කරන ලදී.

ලංකා විදුලිබල මණ්ඩලයේ වලස්මුල්ල ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ මන්ත්‍රී ප්‍රතිපාදන යටතේ ලබා දී තිබූ පහසුකම් ඉවත් කිරීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය යටතේ වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ විදුලි රැහැන් දෙකක් ඉවත් කිරීමට කටයුතු කරන බවය.

කාල්ටන් වත්තට තෙකලා විදුලි රැහැන් 03 ක් ඇද තිබූ අතර ඉන් දෙකක් ඉවත් කරන බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Continue Reading

පුවත්

නීති විරෝධීව ගෙන්වූ ජීප් රථයක් අල්ලස් කොමිසම භාරට

Published

on

By

නීති විරෝධීව මෙරටට ගෙන්වා රජයට ගෙවිය යුතු බදු ආදායම අහිමි කෙරූ ජීප් රථයක් අල්ලස් කොමිසම මගින් සිය භාරයට ගෙන තිබේ.

අදාළ මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ධාවනය කිරීම සිදුකර ඇති බවට එම කොමිසමේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට තොරතුරු ලැබී ඇත.

ඒ අනුව, පසුගිය මස 18 වන දිනට පෙර අදාළ මෝටර් රථය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලබා දෙන අදාළ ව්‍යාපාරිකයාට අධිකරණ නියෝග කෙරුණි.

නමුත් එම නියෝග කඩ කිරීම හේතුවෙන් බදුල්ල නෙළුම්ගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට එරෙහිව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු ක්‍රියාත්මක කර තිබුණි.

ඒ අනුව, අධිකරණ නියෝග පරිදි අදාළ ජීප් රථය අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය විසින් සිය භාරයට ගැනීමට කටයුතු කර තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved