පසුගිය ජූලි මස 09 වනදා කොලොන්න ප්‍රදේශයේදී තේවතු හිමියෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, මිද්දෙනිය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
රාමනායකගේ ඉන්දික කුමාර නොහොත් කැළෑ මහින්ද සහ ජයවර්ධන අබේසිංහ පතිරණගේ සදකැළුම් ජයවර්ධන නැමැති පුද්ගලයින් දෙදෙනෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරුවන් සතුව තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවි 02 ක්, බෝර 12 ජිව උණ්ඩ 02 ක් සහ හෙරොයින් ග්‍රෑම් 100 ක් සොයා ගෙන තිබේ.
වෙඩිතැබීම සඳහා යොදා ගත් බවට සැකකරන යතුරු පැදිය හා ජංගම දුරකතන 03 ක් ද සිය භාරයට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොයාගත් ගිනි අවි ඇතුළු අනෙකුත් භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොලොන්න පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
මෙම සැකකරුවන් දැනට ප්‍රංශයේ සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවනු ලබන සංවිධාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන රොටුඹ අමිල නැමැත්තාගේ ප්‍රධාන ගෝලයින් වන බවට අනාවරණ වී ඇත.
රොටුඹ අමිල නැමැත්තාගේ ලොකු අම්මා වෙත කළ පහරදීමකට පළිගැනීමක් ලෙස රොටුඹ අමිල මෙම ඝාතනය මෙහෙයවා ඇති බවද අනාවරණ වී ඇත.
ඒ සදහා රොටුඹ අමිල නැමැත්තා විසින් රුපියල් ලක්ෂ 04 ක් මුදල් හා හෙරොයින් ලබා දි ඇති බවත් මෙම සැකකරුවන් සංවිධානාත්මක අපරාධකල්ලියක් වන මාකදුරේ මධුෂ්ගේ කණ්ඩායම සමඟ සෘජු සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති බවටත් වැඩදුරටත් තොරතුරු අනාවරණය වී ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් සඳහන් කර තිබේ.