Connect with us

පුවත්

කොවිඩ් – 19 හා ඩෙංගු ව්‍යාප්තිය පාලනයට කමිටු 2ක්

Published

on

රට තුළ කොවිඩ් -19 සහ ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය කමිටුවක් සහ විද්වත් කමිටුවක් පත් කර තිබේ.

2023 ජුනි මස 22 දිනැති අංක 23/විවිධ/026 දරන අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව මෙම කමිටු පත් කර ඇත.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය කමිටුව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු ඇතුළු සාමාජිකයන් 08 දෙනෙකුගෙන් සමන්විතය. රට තුළ කොවිඩ් 19 සහ ඩෙංගු රෝගය පාලනයට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අමාත්‍ය කමිටුවට පැවරේ.

මේ අතර ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම ඇති සාමාජිකයන් 11 දෙනෙකුගෙන් යුත් විද්වත් කමිටුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් පත් කර තිබේ. 

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොල මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් එම විද්වත් කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජානක ශ්‍රී චන්ද්‍රගුප්ත, පළාත් පාලන සහ පළාත් සභා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එම්.කොඩිප්පිලිආරච්චි,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහජන සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය එස්.එම්. ආර්නෝල්ඩ්, වසංගත රෝග විද්‍ය අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ප්‍රතිශක්තීකරණ හා අණුක වෛද්‍ය විද්‍යා අංශයේ මහාචාර්ය නිලිකා මලවිගේ, විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක යන මහත්ම මහත්මීහු පත් කර සිටිති.

එම කමිටුවේ කැඳවුම්කරු ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බුද්ධිකා එස්. ගමගේ මහත්මිය පත් කර තිබේ.

මීට අමතරව මෙම විද්වත් කමිටුවට සහාය වීම සඳහා පළාත් මට්ටමින් අනුකමිටු 09ක් පත් කර ඇත. 

පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම අනුකමිටුවට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා,  පළාත් ධීවර අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා, කලාප සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා,  පළාත් පාලන කොමසාරිස්, ත්‍රිවිධ හමුදා සාමාජිකයන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු, පළාත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළත් වේ.

මේ අතර කොවිඩ් 19 සහ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අදාළ අමාත්‍ය කමිටුව අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් විය. 

ඩෙංගු මර්ධන ඒකකයේ නිලධාරීන් ද එම අවස්ථාවට කැඳවා තිබූ අතර රට තුළ සෞඛ්‍ය යාන්ත්‍රණය නිසි ලෙස ක්‍රියාත්මක වුවද පළාත් මට්ටමින් ජනතාව දැනුවත් කිරීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාව එහිදී අවධාරණය කෙරිණි.

විද්වත් කමිටුව ලබන 13 වන අඟහරුවාදා පෙරවරුවේ රැස්වීමට ද මෙහිදී තීරණය කෙරුණු අතර පළාත් ප්‍රධාන ලේකම්වරුන් ද ඒ සඳහා කැඳවීමටත්, පළාත් මට්ටමින් ඩෙංගු මර්ධන ක්‍රියාකාරි සැලැස්ම එහිදි සකස් කිරීමටත් තීරණය කෙරිණි. 

(ජනාධිපති මාධ්‍ය අංශය)

පුවත්

වනාතවිල්ලුව ප්‍රා.ස රැස්වීම පැවැත්වීම අධිකරණයෙන් වළක්වයි

Published

on

By

වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව සඳහා හෙට දින පැවත්වීමට නියමිත සභා රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීමේදී අදාළ ප්‍රාදේශීය සභාව සඳහා තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් නායක සමන්ත මුණසිංහ මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය.

ඉන් අනතුරුව වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස නියෝග කළ විනිසුරුවරයා පෙත්සම යළි ජූලි මස 16 වනදා කැඳවන ලෙසත් නියම කර ඇත.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සමන් ගලප්පත්ති මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ ප්‍රාදේශීය සභාවේ එක් එක් පක්ෂ ලැබූ ඡන්ද සංඛ්‍යාව අනුව කාන්තා නියෝජනයට අදාළ මන්ත්‍රී ධූර වෙන් කිරීමේදී තම පක්ෂයට දැඩි අසාධාරණයක් සිදුව ඇති බවය.

එහිදී  අදාළ මන්ත්‍රී ධුර වෙන් කිරීමේදී තේරීම් භාර නිලධාරියා ගනු ලැබූ තීරණය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවත් ඒ පිළිබඳව මැතිවරණ කොමිසමට ලිඛිතව පැමිණිලි කර සිටියද ඔවුන්ගෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවත් නීතිඥවරයා පෙන්වා දුනි.

ඒ අනුව, වගඋත්තරකාර තේරීම් භාර නිලධාරියාගේ නීතිවිරෝධී තීරණය මත මෙම ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම පවත්වනු ලැබුවොත් ඉන් දැඩි අගතියක් සිදුවන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දී ඉල්ලා තිබෙන අතුරුතහනම් නියෝග නිකුත් කරන ලෙසත් නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා සඳහන් කර සිටියේ අදාළ ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීම පැවැත්වීම වළක්වාලමින් අතුරුතහනම් නියෝගයක් නිකුත් කරනු ලැබූව ඒ තුළින් එම ආයතනය හරහා සිදුවීමට නියමිත මහජන සේවාවලට දැඩි අගතියක් සිදුවන බවය.

ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා තිබෙන අතුරු තහනම් නියෝගය නිකුත් නොකරන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ විනිසුරුවරයා අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ  වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාව භාර තේරීම් භාර නිලධාරියා සහ වයඹ පළාතේ පළාත් පාලන කොමසාරිස් යන අය වෙත මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කරනු ලැබීය.

Continue Reading

පුවත්

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

Published

on

By

ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (23) පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහාය.

ඒ අනුව අද පෙරවරු 10.00ට පමණ පැමිණි ඔහු මේ වන විටත් ප්‍රකාශ ලබා දෙමින් සිටින බවද වාර්තා වේ. 

Continue Reading

පුවත්

සියලු බන්ධනාගාර ප්‍රධානීන්ව කොළඹට කැඳවයි

Published

on

By

දිවයිනේ සියලු බන්ධනාගාර ප්‍රධානීන් කොළඹට කැඳවා විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

අද(23) උදෑසන 8.30ට අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

පැය දෙකකට අධික කාලයක් එම සාකච්ඡාව පවත්වා තිබේ.

දිවයිනේ සියලු බන්ධනාගාර අධිකාරිවරුන්, කොමසාරිවරුන් මෙන්ම සහකාර කොමසාරිස්වරුන් මෙම සාකච්ඡාව සඳහා එක්ව සිටියහ.

වර්තමානයේ බන්ධනාගාර තුළ මතුව ඇති අර්බුදකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා වී ඇත.

බන්ධනාගාර ආශ්‍රිත ඉදිරි කටයුතු පිළිබඳව ද අමාත්‍යවරයා මෙහිදී පැමිණි නිලධාරීන් දැනුවත් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved