Connect with us

පුවත්

කොළඹ ගාල් කළ සැප වාහන ගැන ජනපතිගෙන් තීරණයක්

Published

on

පසුගිය රජයයන් විසින් භාවිත කළ අති සුඛෝපභෝගී වාහන අත්‍යවශ්‍ය සේවාවන්වලට පමණක් යොදා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මහතා පැවසීය.
එසේම ජනතාවගේ බදු මුදල් මෙලෙස නාස්ති කිරීම කණගාටුවට කරුණක් බවත්, මේ සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධව ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවත් ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

ජනාධිපති පෞද්ගලික ලේකම් ආනන්ද විජේපාල මේ බව සඳහන් කර සිටියේ ගෝල් ෆේස් භූමිය ඇතුළු ස්ථාන කිහිපයක නවතා ඇති වාහන සම්බන්ධව ගනු ලැබූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් අද (26) එම පරිශ්‍රයේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

පසුගිය ආණ්ඩු විසින් රට පාලනය කිරීමේදී මහජන මුදල් නාස්තියේ ප්‍රමාණය මේ ස්ථානයේ මෙසේ ප්‍රදර්ශනය කරන බවත්, ජනාධිපති මන්දිරය සතුව පවතින වාහන නැවතුම් ස්ථාන එම වාහන ගාල් කිරීමට ප්‍රමාණවත් නොමැති බවත් ඒ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව ගාලු මුවදොර පරිශ්‍රය ඇතුළු තවත් ස්ථාන කිහිපයකම වාහන 107 ක් ගාල් කර ඇති අතර, මේවා විවිධ අවස්ථාවලදී පසුගිය ආණ්ඩු විසින් විවිධ තනතුරු ඇති කරමින් තම හිතවතුන්ට ලබාදී තිබූ ඒවා බව ද ඔහු අවධාරණය කළේය.

මේ රටේ ජනතාවට එදිනෙදා ජීවත් වීමට අපහසු අවස්ථාවක පසුගිය වසර 76ක් පුරා පැවති ආණ්ඩු දිගින් දිගටම මහජන ධනය නාස්ති කර තිබීම ඉතා කණගාටුදායක තත්ත්වයක් බව ද ඔහු සඳහන් කළේය.

එසේම සෞඛ්‍ය කේෂ්ත්‍රයට ප්‍රමාණවත් ගිලන් රථ නොමැති, රාජ්‍ය නිලධාරීන්ට සිය රාජකාරී සිදු කිරීමට ප්‍රමාණවත් වාහන නොමැති අවස්ථාවක රුපියල් කෝටි ගණනක වටිනාකමින් යුත් වාහන ගෙන්වා තම හිතවතුන්ට ලබාදී ඇති බව ද ආනන්ද විජේපාල අනාවරණය කළේය.

මහජනතාවගේ ධනය සුරක්ෂිත කිරීම වගකීමක් වන බවත්, අනිසි ලෙස භාවිත කළ වාහන සම්බන්ධව පූර්ණ සමාලෝචනයක් සිදුකිරීමට පියවර ගන්නා බවත් පැවසූ ඔහු, අදාළ වාහන ඉතා ඵලදායී ලෙස සහ ඉතා අත්‍යවශ්‍ය සේවාවන්වලට ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් දුන් බව ද ඔහු පෙන්වා දුන්නේය.

විවිධ ආයතනවලින් ලබාගත් වාහන 59ක් ජනාධිපති කාර්යාලය හරහා තම හිතවතුන්ට ලබාදී ඇති බවත්, වාහන ආනයනය කිරීම තහනම් කළ කාලසීමාව තුළ පමණක් ජනාධිපති කාර්යාලයට වාහන 16ක් ගෙන්වා ඇති බව අනාවරණය වී ඇති බවත් ජනාධිපති පෞද්ගලික ලේකම්වරයා සඳහන් කළේය.

තවද ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන 833ක් අතරින් වාහන 29ක් අතුරුදන්ව ඇති බවද සඳහන් කළ ඒ මහතා, මේ සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක උපදෙස් ලබාදුන් බවද වැඩිදුරටත් පැවසීය.

(දිනමිණ)

ක්‍රීඩා

ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් බදු අය කිරීම් ගැන අධිකරණයේදී සමථයක්

Published

on

By

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්වලට එළඹ සිටින ජාතික තලයේ ක්‍රිකට් ක්‍රීඩකයින් එම ආයතනයේ සේවකයින් සේ සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් විසින් ගොනුකර තිබෙන පෙත්සමට අදාළව අද (03) අභියාචනාධිකරණය හමුවේ සමථයක් ඇතිවිය.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා යන අය විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළකර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් සිදු කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද ජූනි මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමටද එකඟතාවයක් ඇති විය.

යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකගතාවයක් ඇති වුණි.

ඊට අමතරව තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන්ද පාර්ශ්වකරුවන් අතර සමථයක් ඇතිවී තිබේ.

මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කර සිටියේය.

ඉන් අනතුරුව පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා අගෝස්තු මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වනදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය විසින් පාර්ශ්වකරුවන්ට නියෝග කර ඇත.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය නොවැම්බර් මස 06 වනදා පැවැත්වීමටද දින නියම කෙරුණි. 

Continue Reading

පුවත්

ජනපති සහ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා අතර හමුවක්

Published

on

By

අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ඇගැයුමට.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හා ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්‍යාලයේදී අද (03) පෙරවරුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින ඓතිහාසික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගනිමින් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන්  ස්ථාවර ගමනක් ආරම්භ කර ඇති  බව සඳහන් කළ  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දූෂණය හා වංචාව පිටු දැකීමට වත්මන් ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  දැනුම්වත් කළේය.

පසුගිය සමයේ සමුද්‍රීය ආරක්ෂණය, නීති විරෝධී වෙළඳාම, මිනිස් ජාවාරම් , ත්‍රස්තවාදය හා ආයුධ වෙළඳාම වැළැක්වීම සඳහා ඕස්ට්‍රේලියානු රජයෙන් ලබා දුන් සහාය ජනාධිපතිවරයා විසින් මෙහිදී ඇගයීමට ලක් කරන ලදී.

සංචාරක, අයෝජන කටයුතු සඳහා ශ්‍රී ලංකාව ඉතා සුරක්ෂිත රටක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාවේ අතර පවතින වසර 70 ක ආර්ථික සහ දේශපාලන සබඳතා පිළිබඳ සිහිපත් කළ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  ශ්‍රී ලංකාවේ රජය සමඟ සමීප සහයෝගයකින් කටයුතු කිරීම සිය රජයේ අපේක්ෂාව බවද සඳහන් කළේය.

අල්ලස දූෂණය පිටුදැකීමේ ශ්‍රී ලංකා රජයේ වැඩපිළිවෙළ ඕස්ට්‍රේලියානු නව රජයේ ප්‍රසංශාවට ලක් කරන බව ද වෙළඳ, ආර්ථික,දේශපාලනික, සංචාරක හා ආයෝජන සබඳතා ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බවද රිචර්ඩ් මාල්ස් (Richard Marles) මහතා  මෙහිදී  සඳහන් කළේය.

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens), ආරක්ෂක දෙපාර්තමේන්තුවේ  ලේකම් ග්‍රෙගරි ලෝරන්ස් මොරියාටි (Gregory Laurence Moriarty), නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක සයිමන් එරික් ඔ’කොනර් ( Simon Eric O’Connor), ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය මහ කොමසාරිස් ලලිතා කපූර් (Lalita Kapur) යන මහත්ම මහත්මීහුද ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Continue Reading

කැබිනට් තීරණ

පොදු ප්‍රවාහනට ළඟදීම මෙට්‍රෝ බස් 100ක්

Published

on

By

පොදු ප්‍රවාහනයේ නවීකරණය කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස මෙට්‍රෝ බස් රථ 100ක් ධාවනයට එක්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

සුවපහසු, දියුණු තාක්ෂණයෙන් යුතු එම බස් රථ හඳුන්වා දීමට 2025 අයවැය මඟින් ද යෝජනා වුණි.

ඒ අනුව බස්නාහිර පළාතේ කොළඹ ඇතුළුව, මාකුඹුර, කඩුවෙල, කඩවත සහ මොරටුව යන ප්‍රධාන මාර්ග කොරිඩෝ කිහිපයක් ඔස්සේ මගී ප්‍රවාහනය සඳහා මෙම පහත් පිවිසුම් සහිත බස් රථ එක්වෙනු ඇත.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයාගේ යෝජනාව සැලකිල්ලට ගෙන 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් පරිපාලිත සමාගමක් ස්ථාපිත කර යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved