කොළඹ වරායේ නැංගුරම්ලා තිබූ සිංගප්පූරු නෞකාවක ඊයේ (11) අලුයම ගින්නක් හටගෙන තිබිණි.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සහයෙන් ගින්න කඩිනමින් මැඩපැවැත් වූ බව වරාය අධිකාරියේ සභාපති කීත් ඩී. බර්නාඩ් මහතා කියා සිටියේය.
MSC කේප් ටවුන් 3 නමැති අදාළ භාණ්ඩ ප්‍රවාහන නෞකාව, සිංගප්පූරුවේ සිට ඊයේ පස්වරුවේ කොළඹ වරායට සේන්දු වී තිබුණි.
එය, ජේසීටී 4 ජැටියේ නැංගුරම්ලා තිබියදී ගින්න හටගෙන ඇත.
වරාය අධිකාරියේ සභාපතිවරයා සඳහන් කළේ, පොටෑසියම් රසායනික ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන එක් බහාලුමක් එම අවස්ථාවේම ඉවත් කළ බවයි.
අනතුරුව අවදානම් මට්ටමේ පවතින සෙසු බහාලුම් ද ඉවත් කිරීමට පියවර ගත් බව ඔහු ප්‍රකාශ කළේ ය.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර නෞකා සමාගමකට අයත් එම නෞකාවෙන් බහාලුම් 995ක් ගොඩබෑමට නියමිතව තිබුණි.
නෞකාවට පටවා ගැනීමට නියමිතව තිබූ බහාලුම් සංඛ්‍යාව, 880 කි.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වන්නැයි වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය අධිකාරියේ සභාපතිවරයාට උපදෙස් දී තිබේ.