Connect with us

පුවත්

කොළඹ වරායේ යටිතල පහසුකම් වලට ඇමෙරිකාවෙන් ඩොලර් මිලියන 553ක්

Published

on

දකුණු ආසියානු කලාපය සඳහා තීරණාත්මක යටිතල පහසුකම් සපයන, ශ්‍රී ලංකාවේ කොළඹ වරායෙහි ගැඹුරු ජල නැව් බහාලුම් පර්යන්තයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් බිලියන භාගයකට වඩා වැඩි මුදලක් කැප කර ඇති බව එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන මූල්‍ය සංස්ථාව (DFC) අද (08) දින නිවේදනය කරන ලදී.

තම හවුල්කරුවන්ගේ සංවර්ධන අවශ්‍යතා සඳහා සහාය වන, ප්‍රාදේශීය ප්‍රජාවන් සඳහා ආයෝජනය කරන සහ දේශීය මූල්‍ය තත්වයන්ට ගරු කරන, උසස් තත්වයේ යටිතල පහසුකම් සඳහා මූල්‍යකරණය ලබාදීමට DFC හි කැපවීම මෙම නව පර්යන්තය හරහා පිළිබිඹු කරන බවත්, මෙම ආයෝජනය තවදුරටත් පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සහ ඉන්දියාව සමඟ ද ඇතුළුව, එහි කලාපීය ආර්ථික ඒකාබද්ධතාවයට එක්සත් ජනපදයේ තිරසාර කැපවීම බවත්, කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ :

කොළඹ වරාය තුළ පිහිටා ඇති ගැඹුරු ජල බටහිර බහාලුම් පර්යන්තය සංවර්ධනය කිරීමට සහාය වීම සඳහා Colombo West International Terminal Private Limited වෙත ඩොලර් මිලියන 553ක මුල්‍යකරණය ප්‍රකාශ කිරීමේ උත්සවය සඳහා DFC ප්‍රධාන විධායක නිලධාරී (CEO) ස්කොට් නේතන් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය. විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චංග් මහත්මිය මෙම නව පර්යන්තය උත්සවාකාරයෙන් ආරම්භ කිරීම සඳහා ප්‍රධාන විධායක නිලධාරී නේතන් මහතා සමඟ එක් වූහ.

“අපගේ හවුල්කරුවන්ගේ උපායමාර්ගික තත්ත්වයන් ශක්තිමත් කරමින් සංවර්ධනය සහ ආර්ථික වර්ධනය ඉදිරියට ගෙන යන පුද්ගලික අංශයේ ආයෝජන මෙහෙයවීමට DFC කටයුතු කරනවා. කොළඹ වරායේ මෙම යටිතල පහසුකම් ආයෝජනයෙන් අපි ලබා දෙන්නේ එයයි,” යනුවෙන් DFC ප්‍රධාන විධායක නිලධාරි ස්කොට් නේතන් මහතා ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන මාර්ගස්ථ (transit) කේන්ද්‍රස්ථානයක් වන අතර, සියලුම බහාලුම් නැව්වලින් අඩක් ශ්‍රී ලංකා ජල තීරය හරහා සංක්‍රමණය වනවා. බටහිර බහාලුම් පර්යන්තය සඳහා පුද්ගලික අංශය වෙත ණය වශයෙන් ඩොලර් මිලියන 553 ක් ලබාදීමට DFC හි කැපවීම, ස්වෛරී ණය බරට තවත් එකතුකිරීමක් නොකර ශ්‍රී ලංකාවට වැඩි සමෘද්ධියක් ඇති කරන අතරම කලාපය පුරා සිටින අපගේ මිත්‍ර පාක්ෂිකයින්ගේ තත්ත්වය ශක්තිමත් කරමින් රටේ නැව්ගත කිරීමේ ධාරිතාව පුළුල් කරනු ඇති.”

ශ්‍රී ලංකාවේ එ.ජ. තානාපති ජුලී චංග් මහත්මිය මෙසේ සඳහන් කළාය, “කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ දිගුකාලීන සංවර්ධනය සඳහා DFC සිදු කළ ඩොලර් මිලියන 553 ක ආයෝජනය, ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශය මූලික කරගත් වර්ධනයට පහසුකම් සපයන අතර ආර්ථිකය යථා තත්වයට පත්වන අතරතුර තීරණාත්මක විදේශ විනිමය ආකර්ෂණය කරනවා. ශ්‍රී ලංකාවේ ජනතාවගේ සංවර්ධනය සහ යහපැවැත්ම සඳහා එක්සත් ජනපදයේ දිගුකාලීන කැපවීම මේ මූල්‍යකරණයන් සංකේතවත් වනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවතත් ස්ථාවර තත්වයට පත්වීම නිදහස් හා සමෘද්ධිමත් ඉන්දු ශාන්තිකර කලාපයක් සඳහා අපට ඇති ඒ පොදු දැක්ම තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇති.”

මෙම ආයෝජනය DFC ක්‍රියාත්මක වන ආකාරය වන, උපායමාර්ගික, ආර්ථික වශයෙන් යහපත් සහ පුද්ගලික අංශය විසින් මෙහෙයවන ව්‍යාපෘති සඳහා සහාය දක්වන ක්‍රමවේදය පිළිබිඹු කරයි. DFC ලෝක මට්ටමේ අනුග්‍රාහකයන් වන John Keells Holdings සහ Adani Ports & Special Economic Zones Limited (APSEZ) සමඟ කටයුතු කරයි. මෙම සමාගම් සතුව ඇති දේශීය අත්දැකීම් සහ උසස් තත්ත්වයේ ප්‍රමිතීන්, දේශීය රැකියා සඳහා සහාය වීමට සහ මෙම ව්‍යාපෘතිය ඉන්දු- ශාන්තිකර කලාපය සඳහා දිගුකාලීන තිරසාර සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කිරීමට උපකාරී වනු ඇත.

කොළඹ වරාය ඉන්දියානු සාගරයේ විශාලතම සහ කාර්යබහුලම ප්‍රතිනැව්ගත කිරීමේ වරායයි. අමතර ධාරිතාවක් සඳහා සඳහා ඇති අවශ්‍යතාවය පිළිබඳ ඉඟි කරමින් එය 2021 වසරේ සිට සියයට 90කට වඩා වැඩි උපයෝගිතා මට්ටමකින් ක්‍රියාත්මක වී තිබේ.  ප්‍රධාන නැව් මාර්ගවල ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම සහ මෙම පුළුල් වන වෙළඳපොළට ඇති සමීප බව ප්‍රයෝජන ගනිමින්, ඉන්දියාව ඇතුළු බෙංගාල බොක්කෙහි වර්ධනය වන ආර්ථික සඳහා නව පර්යන්තය හරහා පහසුකම් සපයයි.

පුවත්

බාල එන්නත් සිද්ධියට කෙහෙළියට අධිචෝදනා ගොනු කරන්න යයි

Published

on

By

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත්  මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ ලබන සතියේදී අධිචෝදනා ගොනුකරන බව නීතිපතිවරයා අද (03) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුනි.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ මෙරට ලියාපදිංචි නොකළ ඉන්දීය සමාගම් දෙකකින් ඖෂධ මිලදී ගැනීමට එරෙහිව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව සඳහන් කළේය.

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා සංවිධානය සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ජ්‍යේෂ්ඨ පර්යේෂණ නිලධාරි ලයනල් ගුරුගේ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා සහ මහින්ද සමයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදකවන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ පරීක්ෂණ සියල්ල අවසන් කර වාර්තා නීතිපති දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබෙන බවද දැනුම් දුනි.

ඊට අමතරව ප්‍රශ්නගත මෙම මිලදී ගැනීම සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ද විමර්ශනයක් සිදුකළ බවත් ඔහු කියා සිටියේය.

ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ ලබන සතියේදී නඩු පැවරීමට තීරණය කර ඇතැයි සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා එම නඩුව විභාග කිරීම සඳහා නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව අගවිනිසුරුවරිය විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කර තිබෙන බවත් සඳහන් කළේය.

ඊට අමතරව මෙම පෙත්සමේ සඳහන් කර තිබෙන සෙසු ඖෂධ හා ආම්පන්න මිලදී ගැනීම් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙන්ම අල්ලස් කොමිසම විසින් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.

එම ඖෂධ මිලදී ගැනීම්වලට අදාළ ලිපි ගොනු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් ලබාගෙන විමර්ශන සිදුකිරීම සඳහා මාස හයක කාලයක් ලබාදෙන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

(අද දෙරණ)

Continue Reading

පුවත්

වැස්සෙන් වුන වගා හානි ගැන කියන්න 1918 ට කතා කරන්න

Published

on

By

පසුගිය දින කිහිපය මුළුල්ලේ ඇදහැලුනු වර්ෂාව සහ අධික සුළං තත්ත්වය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව තක්සේරු කිරීම් කටයුතු කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් ආරම්භ කර ඇති බව දැනුම් දී තිබේ.

ඒ අනුව වී, බඩඉරිඟු, අර්තාපල්, ලොකු ලූනු, සෝයා බෝංචි සහ අමු මිරිස් යන වගාවන් වලට සිදුවන හානි සඳහා රක්‍ෂණ ආවරණ ලබා ගැනීම අවශ්‍ය නොවන අතර අක්කර 05 ක් දක්වා නොමිලේ රක්ෂණ වන්දි ගෙවීම සිදු කෙරේ.

ඒ අනුව වගා හානියකදී හෙක්ටයාරයක් සඳහා රු.100,000/- ක උපරිමයක් දක්වා රක්‍ෂණ මුදල් නිදහස් කරනු ලැබේ.

ඉහත තත්ත්වය යටතේ දැනට මාතර දිස්ත්‍රික්කයේ ගොවියන් 100 ක ගේ පමණ කුඹුරු අක්කර 130ක් හානියට පත්ව ඇති බව වාර්තා වී ඇති අතර ඉදිරි දින කිහිපය තුළදී වගා හානිවීම් පිළිබඳව නිරන්තර අධීක්ෂණය ලක් කිරීමට බලාපොරොත්තු වන බව දැන්වා ඇත.

අපදාවට පත් වූ කුඹුරු ඇතුළු අනෙකුත් වගාවන් හි ජලය මේ වන විට ක්‍රමයෙන් බැස යාමට ලක් වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්‍ෂණ මණ්ඩලයේ දිස්ත්‍රික් භාර අධ්‍යක්ෂවරුන් දැනුම් දී ඇති බව සඳහන් වේ.

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංකය වන 1918 අමතා ගොවීන්ට තම වගා හානි වීම් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වෙත දැනුවත් කිරීම සිදුකළ හැකිය.

Continue Reading

පුවත්

දේශීය කිරි කර්මාන්තය නඟාසිටුවන්න උපායමාර්ගික වැඩපිළිවෙළක්

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (03) පැවැත්විණි.

දේශීය අවශ්‍යතාව සපුරාලීම සඳහා මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාර බවට පත් කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණි.

දේශීය කිරි කර්මාන්තයේ පිරිවැය අවම කරගනිමින් සහ පවත්නා සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගනිමින් වෙළෙඳපොළ කේන්ද්‍ර කර ගත් කාර්යක්ෂම හා ඵලදායි ව්‍යාපාරයක් ලෙස ඉදිරියට ගෙන යෑමේ අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී අවධාරණය කළේය.

පසුගිය වසරට වඩා මේ වසරේ මුල් කාර්තුවේදී මිල්කෝ ආයතනයේ නිෂ්පාදන ධාරිතාවෙහි වර්ධනයක් දක්නට ලැබෙන බව මිල්කෝ ආයතනයේ නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.

කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාර්මාර්ග අමාත්‍යාංශයේ අතිරේක ලේකම්  වෛද්‍ය පාලිකා ප්‍රනාන්දු,  මිල්කෝ ආයතනයේ සභාපති ජී.වී.එච්. ගෝඨාභය,  ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති  වෛද්‍ය බී.සී.එස්. පෙරේරා යන මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved