Connect with us

පුවත්

කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය

Published

on

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන්ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කලේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඊයේ (01) මෙම නියෝග සිදු කර තිබේ.

රජයට පාඩු කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන දෙසීයක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන විස්සක් පමණක් බවට අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළ බව පැවසේ.

ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රහසිගත බුද්ධි ඒකකය අත්අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් මිට්සුබිසි වර්ගයේ ජීප් රථයක් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මෙම ජිප් රථය එච්.එල්.කේ පරකැටැල්ල නැමැති පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් බවත්,අදාල ජීප් රථය වහා රජයට බාර දෙන ලෙසට සැප්තැම්බර් මස 18 වෙනි දින අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබුණද රථ හිමියා විසින් අදාළ රථය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේය.

රථ හිමියාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු සතුව තිබූ රථය අත්අඩංගුවට ගත් බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සදහන් කර තිබේ.

කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රථ අත්අඩංගුවට ගැනීම මෙන්ම එලෙස රජයට පාඩු කළ සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කොමිසම සතු වගකීම බව පෙන්වා දෙමින් සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කලේය.

2015 වර්ෂයෙන් පසුව සුඛෝපභෝගී ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් 2005 ට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන දෙසීයක්(200) අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මගින් විමර්ශන සිදු කරන අතර එම වාහන වහාම රජයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝග ප්‍රකාරව මෙම සුඛෝපභෝගී ජීප් රථය ඊයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කලේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ රථය නිත්‍යානුකුලව ක්‍රියාදාම කිරීමට ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙසට නියෝග කරමින් සෙසු වාහන සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ලබන එකොළොස්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කර ඇත.

පුවත්

අදත් තැනින් තැන වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (11) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ ඒ බව දැක්වෙයි.

ඒ අනුව, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවත් සඳහන් කරයි.

ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ වයඹ, උතුරු මැද සහ දකුණු පළාත්වල විටින්විට හමන පැ.කි.මී. 30ක 40ක පමණ තරමක තද සුළං ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Continue Reading

පුවත්

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Published

on

By

විභාග දෙපාර්තමේන්තුව විසින් 2024 – 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (11) අලුයම නිකුත් කර තිබේ.

ඒ අනුව www.doenets.lk වෙබ් අඩවියට පිවිස අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබී ඇත.

එසේම www.results.exams.gov.lk යන වෙබ් අඩවියට පිවිස ද ප්‍රතිඵල ලබා ගැනීමට පහසුකම් සලසා තිබේ.

සියලුම විදුහල්පතිවරුන්ට විභාග ප්‍රතිඵල ලේඛන යොමු කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව කියා සිටී.

ඉකුත් සාමාන්‍ය පෙළ විභාගයට අයදුම්කරුවන් 474,147 ක් ඉදිරිපත්ව සිටියේය.

ඒ අතරින් 398,182ක් පාසල් අයදුම්කරුවෝ වෙති.

විභාගයට පෞද්ගලිකව පෙනී සිටි සංඛ්‍යාව 75,965කි.

දිවයින පුරා මධ්‍යස්ථාන 3,664කදී විභාගය පැවැත්විණි.

Continue Reading

පුවත්

ජනපති හා ගේට්ස් පදනමේ නියෝජිතයින් හමු වෙයි

Published

on

By

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන අංශයේ ප්‍රධානී ආචාර්ය ක්‍රිස් එලායස් (Dr. Chris Elias) මහතා ප්‍රමුඛ එම පදනමේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් අතර හමුවක් අද (10) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික නවීකරණය, අහාර හා පෝෂණය, ඩිජිටල් යටිතල පහසුකම් සහ ග්‍රාමීය ප්‍රජාව නව තාක්ෂණය සමඟ ඒකාබද්ධ කිරීම ආදී කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කෙරිණි.

ගේට්ස් පදනම, මෙරට ක්‍රියාවට නැංවීමට අපේක්ෂා කරන ප්‍රමුඛ වැඩසටහනක් වන අන්තඃකරණ ඩිජිටල් කෘෂිකාර්මික පරිවර්තන (Inclusive Digital Agriculture Transformation) වැඩසටහන පිළිබඳව මෙහිදී ආචාර්ය එලායස් මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව දැනුවත් කරන ලද අතර, කෘෂිකර්ම අංශයේ දත්ත මත පදනම් වූ තීරණ ගැනීමට සහාය වන අතරම, සුළු පරිමාණ ගොවීන්ට සේවා සැපයීම සඳහාද එය වැදගත් වන බව පෙන්වා දුන්නේය.

මෙම වැඩසටහනෙන් කෘෂිකාර්මික නවීකරණය සහ ග්‍රාමිය ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට මෙන්ම තිරසර සංවර්ධනය කෙරෙහි දෙපාර්ශ්වයේම කැපවීම පිළිබිඹු කරන බව එහිදී  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

අඩු සහ මධ්‍යම ආදායම් සහිත රටවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී අභියෝගවලට මුහුණ දීමෙන් ගේට්ස්  පදනම ලබා ඇති විශේෂඥතාව සහ අත්දැකීම් මෙහිදී  ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් විය.

නවීන ගෝලීය තාක්ෂණය සමඟ මෙරට ග්‍රාමීය ප්‍රජාව ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රයත්නයට සහාය වන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ‍ ගේට්ස්  පදනමෙන් ඉල්ලා සිටි අතර, ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව ස්තූතිය පළ කළේය.

ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සැලැස්මට සහාය දක්වන බව මෙහිදී සඳහන් කළ ගේට්ස් පදනමේ නියෝජිත පිරිස, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්වයට ගෙන ඒම සහ වර්ධනය  සඳහා කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඩිජිටල් පරිවර්තනයක් කෙරෙහි  වැඩි අවධානයක් යොමු කළ යුතු බවද පැවසූහ.

එසේම, සත්ව පාලනය සහ කිරි නිෂ්පාදන වැනි ක්ෂේත්‍ර ඇතුළත් පුළුල් සමාජ- ආර්ථික සංවර්ධන න්‍යාය පත්‍රයකට සිය පූර්ණ සහාය ලබා දෙන බවටද ඔවුහු සහතික වූහ.

මෙරට පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම වෙනුවෙන් රජය සිදු කරන අඛණ්ඩ කැපවීම පිළිබඳව රජයට සහ ජනාධිපතිවරයාට ස්තූතිය පළ කළ ආචාර්ය ක්‍රිස් එලායස් මහතා, ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින නව පරිවර්තනය අගය කරමින්,  ශ්‍රී ලංකාව සමඟ පුළුල් සබඳතාවක් ඇති කර ගැනීමට ලැබුණු අවස්ථාව පිළිබඳව සතුට පළ කළේය.

සියලුදෙනා ඇතුළත් කර ගනිමින් රජය ගෙන යන සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම සඳහා දායක වීමට ලැබීම පිළිබඳවද සතුට පළ කළ ඒ මහතා, කෘෂිකර්මය, ආහාර හා පෝෂණය  සහ ඩිජිටල් යටිතල පහසුකම් ආදී ක්ෂේත්‍රවල උන්නතිය සහ තිරසාර විසදුම් වෙනුවෙන් පොදු කතිකාවක් ගොඩනැඟීම සඳහා  දෙපාර්ශ්වයේම කැපවීම මෙම සහයෝගිතාව තුළින් පිළිඹිඹු කෙරෙන බවද පැවසීය.

ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය හාන්ස් විජේසූරිය, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද, ගේට්ස් පදනමේ දකුණු හා අග්නිදිග ආසියානු කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන්, වැඩසටහන් උපදේශන, සන්නිවේදන, වර්ධන, සහ අවස්ථා අධ්‍යක්ෂ අර්ච්නා ව්‍යාස්, ව්‍යවසාය දත්ත විසඳුම් අධ්‍යක්ෂ තුෂාන් විජේසිංහ සහ Connect To Care සංවිධානයේ සභාපති චන්දිත සමරනායක යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

(ජනාධිපති මාධ්‍ය අංශය)

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved