ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයක ඇතැයි,දැන දැනම එරට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු. මිලියන 1843 කට අධික මුදලක් පාඩු කළැයි චෝදනා කරමින්,හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
ග්‍රීක රජය විසින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රු 1,843,267,595.00ක පාඩුවක් සිදු කරමින් දූෂණයක් සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද පැමිණිල්ලකට අදාළව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් සිදු කරන ලදී.
ඒ අනුව අදාළ විමර්ශන කටයුතුවලින් අනතුරුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්, හිටපු මහ බැංකු අධිපති නිවාඩ් අජිත් ලෙස්ලි කබ්රාල්, කන්කා නම් ගමගේ දොන් ධර්මසේන ධීරසිංහ, බෙන්ඩරගේ දොන් වසන්ත ආනන්ද සිල්වා, චින්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ හරංකහ ආරච්චිලාගේ කරුණාරත්න යන අය චූදිතයන් ලෙස නම් කරමින් ඔවුන්ට එරෙහිව නඩු පවරා තිබේ.
2012 වසරේදී ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි එකසිය 184 කට අධික පාඩුවක් කළ බවට චෝදනා ලබා සිටින අජිත් නිවාඩ් කබ්රාල් මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබු නඩුවෙන් ඔහු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය පසුගිය මැයි 31 වන දින නියම කළේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ සුජීව සේනසිංහ මහතා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පැවැත් වූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම නඩුව පවරා තිබුණි.
කෙසේවෙතත්, අල්ලස් කොමිසමේ අධ්යක්ෂ ජනරාල්වරයා එම ධුරයට පත් කිරීමටත් පෙරම අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව පවරා තිබූ චෝදනා පත්‍රයට අත්සන් තැබීම මත විත්තිකරුවන්ට එරෙහි මෙම නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බව තීරණය කරමින් කබ්රාල් මහතා ඇතුළු විත්තිකරුවන් පස්දෙනාම නඩුවෙන් නිදහස් කිරීමට එහිදී කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය.
මෙම නියෝගය වැඩිදුරටත් අධ්‍යනය කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පස් දෙනෙකුට එරෙහිව යළිත් කොළඹ මහාධිකරණයේ අධිචෝදනා ගොනු කිරීමට කටයුතු කර තිබේ.