Connect with us

පුවත්

ගෝඨා ඵලාගොස් ඇත්තේ සල්ලිත් දාලා නඩුවකින් හෙළිවෙයි

Published

on

ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන් සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහසක මුදල තමාගේ බැවින් එම මුදල ලබාදෙන්නැයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණ‍යෙන් ඊයේ (8) වැනිදා ඉල්ලීමක් කළේය.

සිය නීතිඥ හරිගුප්ත රෝහණධීර මාර්ගයෙන් හිටපු ජනාධිපතිවරයා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ වෙත අදාළ ඉල්ලීම කළේය.

අදාළ මුදල් තොගය සම්බන්ධයෙන් නියෝගයක් කිරීමට පෙර විමසීමක් කිරීම අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව අධිකරණයේ වගකීම බවත්, එම මුදල් පිළිබඳව මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත මෙන්ම අල්ලස් පනත යටතේද විමර්ශනයක් කිරීමේ හැකියාවක් පවතින බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා, හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

ඉකුත් 2022 ජූලි 9 වන දින අරගලය පැවැති අවස්ථාවේදී කොටුව ජනාධිපති මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන් විසින් එම මන්දිරයේ 4 වන කාමරයේ තිබී සොයාගත් රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉකුත් 6 වන දින ප්‍රකාශයක් සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරිගුප්ත රෝහණධීර මෙසේ පැවැසීය.

‘හිටපු ජනාධිපතිවරයා ලබාදුන් ප්‍රකාශය මගින් අදාළ මුදල් ඔහුගේ බව පවසා තිබෙනවා. ඒ මුදල් සම්බන්ධයෙන් මෙතෙක් වෙනත් කිසිදු පාර්ශ්වයක් හිමිකම් පාලා නැහැ. ඒ අනුව අදාළ මුදල්වලට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිමිකම් පෑමක් කරනවා. ඔහු ලබාදී ඇති ප්‍රකාශය පිළිබඳව අධිකරණය සෑහීමකට පත්වන්නේ නම්, එම මුදල් ගෝඨාභය රාජපක්ෂ වෙත මුදාහරින ලෙස ඉල්ලා සිටිනවා.

මෙම සිද්ධිය වූ අවස්ථාවේදී ජනාධිපති මන්දිරයට විශාල පිරිසක් ආවා. අරගලකරුවන් අතර හොරුන්, දාමරිකයන් වැනි පිරිස් ද සිටියා. ජනාධිපති මන්දිරයේ ඉහළ නිලධාරීන් රැසකගේ මුදල්, ලැප්ටොප් පරිගණ ඇතුළු භාණ්ඩ රැසක් නැති වී තිබුණා.’

මහෙස්ත්‍රාත්වරයා,

මෙම මුදල් තොගය, ඉකුත් වසරේ මැයි 9 වැනිදා ඇති වූ කලහකාරී සිද්ධියේදී දේපළ හානි වූ පුද්ගලයන්ට ලබාදීම සඳහා තබාගෙන සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කර තිබෙනවා.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්ස කුලරත්න මෙසේ පැවැසීය.

‘මෙම මුදල් ඉල්ලන තැනැත්තා කොතරම් අධිකරණය හෑල්ලුවකට ලක්කර තිබෙනවාද? ඔහු අධිකරණයට පැමිණෙන්නේ නැතිව මුදල් ඉල්ලනවා. ඔහු අධිකරණයට පැමිණිය යුතුයි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ මුදල් ලබාගැනීමට වක්‍ර ක්‍රමවලින් උත්සාහ කළා. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාවිච්චි කරලා මේ මුදල් ගන්න බැලුවා. මේ මුදල් තමාගේ නම් ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණ එම ඉල්ලීම කළ යුතුයි. මෙම මුදල් සම්බන්ධයෙන් වත්කම් විමර්ශනයක් අල්ලස් කොමිසම මගින් කළ යුතුයි. කාගේවත් හොර සල්ලි ඉල්ලන්න අපි ආවේ නැහැ.’

මෙම මුදල් සම්බන්ධයෙන් වන විමර්ශන මෙතෙක් අවසන් නොමැති බව සඳහන් කළ මහෙස්ත්‍රාත්වරයා අදාළ මුදල පිළිබඳව වෙනත් අයකු හිමිකමක් නොකීවද එය මුදාහැරීමේ හැකියාවක් නොමැති බව අවධාරණය කළේය.

මූලාශ්‍රය – අරුණ

පුවත්

කරදියාන කසළ අංගනයේ ගින්නක්

Published

on

By

පිළියන්දල කරදියාන කසළ අංගනයේ ගින්නක් හටගෙන ඇතැයි පිළියන්දල පොලිසිය පවසයි.

ගින්න නිවීම සඳහා මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ජල බව්සර් හතරක්, ගිනි නිවීමේ රථ දෙකක් සහ ගිනිබටයන් 15කුත් කණ්ඩායමක් ඒ සඳහා යොමු කර ඇති බව එහි ස්ථාන භාර නිලධාරී දුල්සිරි කුමාර මහතා පැවසුවේය.

Continue Reading

පුවත්

වෛද්‍ය මහේෂි තවදුරටත් රිමාන්ඩ්

Published

on

By

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මිය තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු ඇප මත මුදාහරන ලෙසද අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය. 

Continue Reading

පුවත්

බදු නිසා මැණික් හා ස්වර්ණාභරණ අපනයනය ආදායම 25%කින් පල්ලම් බැහැලා

Published

on

By

2023 වසරේදී එක්සත් ජනපද ඩොලර් මිලියන 477 ක මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කෙරුණද, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීමෙන් පසුව ඉකුත් වසරේදී (2024) එක්සත් ජනපද ඩොලර් මිලියන 360 දක්වා අපනයන සියයට 25 ක විශාල පහත වැටීමක් සිදුවූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති නවීන් සූරියආරච්චි මහතා කියයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (07) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

කටුනායක බණ්ඩා රනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති VAT Refund Counter (වැට් බදු ආපසු ගෙවීමේ කවුළුව) පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව පැවැත්වුණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡාවලින් පසුව ඉකුත් වසරේ (2024) ජනවාරි මස පළමුවැනිදායින් පසුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය මත බදු පැනවීම සිදු කෙරුණු බවත්, ඒ අනුව, සංචාරකයන්ට මැණික් හා ස්වර්ණාභරණ විකිණීමේදී, රළු මැණික් ආනයනය කිරීමේදී සියයට 18 ක වැට් බද්දක්ද, රත්තරන් ආනයනය කිරීමේදී සියයට 45.14 ක බදු පනවා ඇති බවත් ඔහු කීවේය.

මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් පතල් කැණීමේ බලපත්‍ර 8,000 ක පමණ ප්‍රමාණයක් නිකුත් කර තිබෙන බවත්, මෙම පතල්වලින් සියයට 50 ක් පමණ ලාභ ලබන බව උපකල්පනය කළහොත් ඔවුන් වසරකට එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 කට වඩා වටිනා මැණික් නිෂ්පාදනය කළයුතු බවත් ඔහු පැවැසීය.

මැණික් නිෂ්පාදනය මෙරට නිල අපනයනය බවට පත් කිරීමට හැකි වුවහොත් මැණික් හා ස්වර්ණාභරණ අංශයේ රටේ දෙවැනි විශාලතම අපනයනය වනු ඇතැයි ද ඔහු පැවැසුවේය.

මැණික් හා ස්වර්ණාභරණ සඳහා සියයට 18 ක වැට් බදු පැමිණවීමෙන් පසුව මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සැලකියයුතු ලෙස පහත වැටී ඇති බවත්, ඇතැම් රටවල මැණික් හා ස්වර්ණාභරණ මිලදී ගැනීමෙන් පසු වැට් බදු නැවත ඔවුන්ට ගෙවීම ආදී තරගකාරී කටයුතු මෙරට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය පහත වැටීමට හේතුවී ඇති බවත් ඔහු පැවැසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved