Connect with us

පුවත්

ගෝඨා සාක්ෂි දෙන්න යාපනේ අධිකරණයට එන්න බැහැ කියයි

Published

on

2011 වසරේදී, මානව හිමිකම් ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු වන ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩු විභාගයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හැර දිවයිනේ වෙනත් ඕනෑම අධිකරණයක එම නඩුවට අදාළව සාක්ෂි ලබාදීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා ඊයේ (22) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කලේය.

යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන එම නඩු විභාගයේදී සාක්ෂි විමසීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවකට එරෙහිව අතුරුදන් වූවන්ගේ ඥාතීන් ගොනු කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මේ බව දැනුම් දී සිටියේය.

මෙම පෙත්සම ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න, සහ අචල වෙංගප්පූලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවන ලදී.

එම අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ සඳහන් කළේ අදාළ නඩුව සම්බන්ධයෙන් තම සේවාදායකට යාපනය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදිය නොහැකි බවය.

එහෙත් යාපනය අධිකරණය හැර වෙනත් අධිකරණයක සාක්ෂි ලබාදීම සඳහා ඔහු කැමැත්තෙන් පසුවන බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කර සිටියේය.

ඊට පෙත්සම්කර පාර්ශ්වය විරෝධය පළ කර තිබුණේ නැත.

ඒ අනුව වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා මෙම පෙත්සම ලබන වසරේ මාර්තු මස 18 වැනිදා කැඳවන ලෙස අධිකරණය නියෝග කලේය.

2011 වසරේ දෙසැම්බර් මස 10 වනදා ලලිත් වීරරාජ් හා කුගන් මුරුගානන්දන් අතුරුදන්වීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබූ හබයාස් කොපුස් පෙත්සමකට අදාළව සාක්ෂි දීම සඳහා එවකට ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂට 2019 වසරේ සැප්තැම්බර් මස 27 වැනිදා පෙනී සිටින දන්වා එම අධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබුණි.

තමන්ට එල්ල වී තිබෙන ජීවිත තර්ජන හේතුවෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සාක්ෂි දිය නොහැකි බවත් අදාළ සිතාසි බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ විසින් 2019 වසරේ අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ඉදිරිපත් කර තිබේ.

එම ඉල්ලීම සලකා බැලූ අභියාචනාධිකරණය විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන බැවින් ඔහු සාක්ෂියට කැඳවිය නොහැකි බවට නියෝගයක් නිකුත් කර තිබුණි.

අභියාචනාධිකරණයේ එම තීන්දුව නීතියට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ගෝඨාභය රාජපක්ෂ මේ වනවිට ජනාධිපති ධුරයෙන් ඉවත් වී සිටින හෙයින් ඔහු සාක්ෂියට කැඳවිය හැකි බවට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා අතුරුදන්වූවන්ගේ ඥාතීන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රු. බිලියනයකට වඩා නාස්තියක් ගැන COPE හිදී අනාවරණය වේ

Published

on

By

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් ) අනාවරණය විය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින් 5000කගේ සහභාගිත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර වැඩසටහන සඳහා රු මිලියන 63කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair වැඩසටහන සඳහා රු මිලියන 1259 කට අධික මුදලක්ද වැයවූ බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු. මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී ,වෙළඳ කුටියක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව වෙළඳ කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව විමසා සිටියේය. කෙසේ වෙතත් ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රටවිරුවෝ” නිවාස ණය වැඩසටහන, වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න  ලධාරීන්ගෙන් විමසා සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු කර ඇති බව පෙන්වා දුන්හ.

වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී ලෙස යෙදවීමට සැළසුම් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

තවද අක්‍රීයව පවතින, 2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

එමෙන්ම මෙහිදී රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින් මාර්ගයෙන් අයතා ලෙස රැකියා ඒජන්සි සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව ස්වයං පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත්
කාරක සභාවේදී කරුණු පැහැදිලි විය.

එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි.

කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ,රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන (වෛද්‍ය)පත්මනාදන් සත්‍යලිංගම්ත, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading

පුවත්

කෙහෙළියට සහ පුතාට ඇප (UPDATE)

Published

on

By

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

අල්ලස් කොමිසම සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.


(පෙර පුවත 2025 ජුනි 03 පෙ.ව.10.12 )

රඹුක්වැල්ල පිය පුතු දෙපොළ අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතා අමාත්‍ය ධුරයේ කටයුතු කරමින් සිටියදී නාමිකව පුද්ගලයින් පහළොස් දෙනෙකු තම කාර්ය මණ්ඩලයට ඇතුළත් කොට ඔවුන්ට හිමි වැටුප්, දීමනා සහ අතිකාල දීමනා ලබා ගැනීම තුළින් රජයට රුපියල් ලක්ෂ 80කට වැඩි පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කර තිබෙන නඩුකරය අද (03) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු කටයුතු ඇරඹේ (සජීවී විකාශය)

Published

on

By

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (03) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

ජූනි මස පළමු රැස්වීම් සතියේ පළමු රැස්වීම් දිනය අද යි.

පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 සිට 6 දක්වා සඳහන් පාර්ලිමේන්තු කටයුතු සඳහා වෙන්කර තිබේ.

පෙ.ව 10.00 – 11.00 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර,

පෙ.ව. 11.00 -11.30 කාලය ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න සඳහායි වෙන් කර ඇත.

 පෙ.ව 11.30 සිට ‍ප.ව 5.00 දක්වා පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන් කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved