Connect with us

පුවත්

චීනය වගේම දකුණු ආසියාවේ අපත් විවෘත විය යුතුයි – කුසල් (වීඩියෝ)

Published

on

 පසුගිය 19 වැනිදා නිරිතදිග චීනයේ යුනාන් පළාතේ කුන්මින් නගරයේ දී ඇරඹුනු නවවැනි චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය හෙට (24) අවසන් වේ.

“සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීම” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයට ශ්‍රී ලංකාව මෙවර එක්වූයේ ‘ගෞරවනීය ආරාධිත රට’ ලෙසයි.

චීන-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම 2024 දී ඇමරිකානු ඩොලර් බිලියන 5.36 ක වාර්තාගත ඉහළම අගයට ළඟා වූ අතර එය වසරින් වසර 13.4% ක වැඩිවීමකි. මේ හේතුවෙන් දකුණු ආසියානු කලාපය තුළ චීනයේ වේගයෙන්ම වර්ධනය වන වෙළඳ හවුල්කරුවා බවටද ශ්‍රී ලංකාව පත්ව ඇත.

චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකා ප්‍රදර්ශන කුටිය වෙළඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතින් විවෘත කෙරුණි.

මෙම ප්‍රදර්ශනය තුළ ශ්‍රී ලංකාව හට හිමිවූ සුවිශේෂී ස්ථානය හා ඉන් ශ්‍රී ලංකාවට ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳව ‘ශ්‍රී ලංකා මිරර්’ වෙනුවෙන් ජ්‍යේෂ්ට මාධ්‍යවේදී හා දේශපාලක විචාරක කුසල් පෙරේරා මහතා හා චීනයේ CGTN රූපවාහිනියේ ලී චියුයුවැන් මහත්මිය අතර කෙටි කතාබහක් පසුගියදා සිදුවිය.

මෙහිදී පෙරේරා මහතා පවසා තිබුණේ මෙම වේදිකාවෙන් ප්‍රයෝජන ගෙන චීනය හා ද්වීපාර්ශ්වික වෙළඳ කටයුතු වර්ධනය කිරීම සඳහා, තේ වැනි සාම්ප්‍රදායික අපනයන නිෂ්පාදන වලින් ඔබ්බට ගොස් අපනයන නිෂ්පාදන විවිධාංගිකරණයට ලක් කළ හැකි ආකාරය පිළිබඳව යළි සිතා බැලිය යුතු බවයි.

මෙම වේදිකාවේ පිළිඹිබු වන බලශක්ති පරිවර්තනය හා ඩිජිටල් ආර්ථිකය වැනි නැගී එන ක්ෂේත්‍ර අතරින් ශ්‍රී ලංකාවට වඩාත්ම වැදගත් වන්නේ තාක්ෂණය, බලශක්තිය හා පරිසරය යන ක්ෂේත්‍ර වල එකතුවක් යැයි තමාට හැඟෙන බවද ඔහු කියා සිටියේය.

එය ශ්‍රී ලංකාවට දිගු ක්‍රියාවලියක් වනු ඇති බව පැවසූ ඔහු, මෙම ක්‍රියාවලියට ඉඩ සැලසෙන පරිදි ලංකාවේ ජාතික ආර්ථිකයද සැලසුම් කළ යුතු බව අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පෙරේරා මහතා පවසා සිටියේ ආරක්ෂණවාදයට පිවිසෙන යුරෝපය මෙන් නොව චීනය විවෘත වෙමින් පවතින බව තමාට හැඟෙන බවයි. 

චීනයේ මෙම ආර්ථික විවෘතභාවය සියලු දකුණු ආසියානු රටවල් වෙත දැවැන්ත අවස්ථාවක් උදා කරන බවත්, චීනය මෙන්ම දකුණු ආසියාවද විවෘත විය යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

“ආරක්ෂණවාදය ආර්ථික වර්ධනය සඳහා උත්ප්‍රේරකයක් වන්නේ නැත. චීනය දැනටමත් විවෘතව පවතින අතර එහි ආර්ථිකය ගෝලීය වෙළඳාම මත වර්ධනය වෙමින් පවතී. ඔවුන් සෑම තැනකම ගෙන ගොස් ඇත්තේ ඔවුන්ගේ විවෘතභාවයයි… දකුණු ආසියාවේ අපත් විවෘත විය යුතුයි,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

(වීඩියෝ : CGTN)

සබැඳි පුවත් :

පුවත්

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති රිමාන්ඩ් (update)

Published

on

By

ශ්‍රීලන්කන් ගුවන් සේවයේ හිටපු සභාපති – නිශාන්ත වික්‍රමසිංහ මහතා ජූලි 01දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ. 
———————————————–

(පෙර පුවත : 2025 ජුනි 27 ප.ව. 3:04)

ශ්‍රීලන්කන් හිටපු සභාපති අත්අඩංගුවට

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළවය.

Continue Reading

පුවත්

 පෝට් සිටි මුහුදේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ දේහය හමුවේ (UPDATE)

Published

on

By

කොළඹ වරාය නගරයේ කෘතිම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටියදී දියේ ගිලී අතුරුදන් වූ සරසවි සිසුවාගේ මළ සිරුර හමු වී තිබේ.

ඒ කොළඹ වරාය පොලීසිය නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව අද (27) දින සිදුකළ මෙහෙයුමක් අතරතුරදීය.

මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ 21/22 කණ්ඩායමේ අධ්‍යයන කටයුතු ඛළ ජනිදු චමෝද් නම් සිසුවෙකි.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කටයුතු කොළඹ වරාය පොලීසිය විසින් සිදුකරති.


(පෙර පුවත 2025 ජූනි 27 පෙ.ව.8.50 )

පෝට් සිටි මුහුදේ සරසවි සිසුවෙක් අතුරුදන්

කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ.

ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

අතුරුදහන් වූ පුද්ගලයා වයස අවුරුදු 24ක් වන අස්ගිරිය, ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් ඊයේ (26) උදෑසන කාලයේ විනෝදාංශයක් ලෙස ස්නෝකල් පැළැඳ මුහුදේ පිහිනමින් මුහුදු පතුල නීරීක්ෂණ කරමින් සිටියදී එක් සිසුවෙකු මෙලෙස අතුරුදහන්වී තිබේ.

පසුව ඔහු පැළැඳ සිටි ස්නෝකලය ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් සොයාගෙන ඇත.

අතුරුදන් වූ පුද්ගලයා සොයා කොළඹ වරාය පොලීසිය, නාවික කොට්ඨාසයේ කිමිඳුම්කරුවන්, රංගල නාවික හමුදා කිමිඳුම්කරුවන් ඒකාබද්ධව මෙහෙයුම් දියත් කර ඇති අතර, කොළඹ වරාය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපතිට ඇප (UPDATE)

Published

on

By

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගත් ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අද (27) දහවල් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවට පමුණුවනු ලැබීය.

එහිදී අල්ලස් කොමිසමේ සහ විත්තිය නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය අදාළ සැකකරු රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැරීමට නියම කළේය.

ඊට අමතරව සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදිය යුතු බවත් ඔහුගේ විදේශ ගමන් තහනම් කරන බවයි මහේස්ත්‍රාත්වරිය කියා සිටියේය.

මෙහිදී මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමේ නිලධාරීන් වෙත ප්‍රශ්නයක් යොමු කරමින් මෙම නඩුකරයට අදාළව තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබේදැයි විමසීය.

ඊට පිළිතුරු දෙමින් අල්ලස් කොමිසමේ නිලධාරීන් සඳහන් කළේ, එවක විෂය භාර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙහි සැකකරුවකු ලෙස නම්කර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබෙන බවය.

අල්ලස් කොමිසම වෙනුවෙන් එහි සහකාර අධ්‍යක්ෂ සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්  2013 වසරේ ඔක්තෝම්බර් මස 25 වනදා ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කළ බව සඳහන් කළේය.

කිරින්ද ධීවර වරායේ වැලි පිරිසිදුකර වෙළඳපොළට මුදා හැරීමේ ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීමට අදාළව ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා එවක ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් යෝජනාවක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.

ඒ යටතේ පිරිසිදු කර වෙළඳපොළට මුදාහරණ වැලි කියුබ් එකක් සඳහා රුපියල් 300 මුදලක් ගෙවීමට අදාළ සමාගම එකඟ වී ඇති අතර සෙසු පහසුකම් එම සමාගම විසින්ම සලසා ගැනීමටත් එකඟ වී තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරිනිය සඳහන් කළාය.

එහෙත් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරගෙන යාමේදී ධීවර වරාය නීතිගත සංස්ථාව සතු වැලිගොව්වා නෞකාව මෙන්ම අනෙකුත් පහසුකම් ද  අදාළ කොරියානු සමාගම වෙත ලබාදීමට සිදුවී ඇති බවත් ඒ තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවට රුපියල් ලක්ෂ 262ක පාඩුවක් සිදුව ඇති බවත් එම නිලධාරිනිය කියා සිටියාය.

මෙවැනි විදේශීය ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අනුමැතිය ලබා ගැනීම මෙන්ම අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වුවත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී එම නීතිමය අවශ්‍යතා සම්පූර්ණ කර නොමැති බවයි අල්ලස් කොමිසමේ නිලධාරිය කියා සිටියේය.

මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම නීතිමය ක්‍රමවේදයෙන් බැහැරව ක්‍රියාත්මක කර ඇති බවත් ඒ සඳහා භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, මධ්‍යම පරිසර අධිකාරිය වැනි ආයතනවලින් ශක්‍යතා අධ්‍යයන වාර්තා ලබාගෙන නොමැති බවත් සඳහන් කළේය.

මෙම ක්‍රියාවලිය තුළින් ධීවර වරාය නීතිගත සංස්ථාවේ එවක සභාපතිවරයා වශයෙන් කටයුතු කළ මෙම සැකකරු අල්ලස් පනතේ දූෂණය නැමැති වරද සිදුකර ඇති බවත් ඔහු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසත් එම නිලධාරිනිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සඳහන් කළේ මෙය වසර 13 කට වඩා පැරණි පැමිණිල්ලක් බවත් අදාල කාල සීමාව තුළ මෙම සැකකරු විසින් කිසිදු සාක්ෂිකරුවකුට බලපෑම් සිදුකර නොමැති බවත් පැවසුවේය.

අදාළ කොරියානු සමාගම  ගෙවීම් පැහැර හැරීමක් සිදුකර තිබුණේ නම් එය අයකර ගැනීම සඳහා නඩු පැවරීමට පියවර ගත යුතු බවත් එහෙත් ධීවර වරාය නීතිගත සංස්ථාව එවැනි පියවරක් ගෙන නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

77 වන වියේ පසුවන සිය සේවා දායකයා රෝගී තත්ත්වයෙන් පසුවන හෙයින් ඔහු ඇපමත මුදාහරින ලෙස ජනාධිපති නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප මත මුදාහැරීමට නියම කළේය.

ඉන් අනතුරුව පැමිණිල්ල සැප්තැම්බර් මස 26 වන දා කැඳවීමටද නියම වුණි.


(පෙර පුවත 2025 ජූනි 27 ප.ව.3.10 )

ධීවර සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව ඒ මහතාව අත්අඩංගුවට ගෙන ඇත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved