Connect with us

පුවත්

ඡන්දයට විදෙස් නිරීක්ෂකයින් නෑ; ට්‍රම්ප් නිසා දේශීය නිරීක්ෂකයින්ටත් මුදල් ප්‍රශ්න

Published

on

පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා මෙවර විදෙස් නිරීක්ෂකයන් සහභාගි නොවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටී. 

පළාත් පාලන මැතිවරණය ජාත්‍යන්තර වශයෙන් වැදගත් මැතිවරණයක් ලෙස නොසැලකීම හේතුවෙන් විදෙස් මැතිවරණ නිරීක්ෂකයන් නොපැමිණෙන බව ද ඔහු පවසයි.

එසේම, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් USAID ආයතනයේ කටයුතු අත්හිටුවීමට පියවර ගැනීම නිසා මෙවර පළාත් පාලන මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවලදී දේශීය මැතිවරණ නිරීක්ෂණ ආයතන රැසක් මූල්‍යමය වශයෙන් අර්බුදකාරී තත්ත්වයට පත්ව ඇතැයි ද පැවසේ.

මෙරට රාජ්‍ය නොවන සංවිධාන, මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල විවිධ ව්‍යාපෘති සඳහා USAID අරමුදල් ලබාදීම සිදුකෙරුණි. 

එම අරමුදල් යටතේ මෙරට තුළ ආයතන 23 ක් පමණ ක්‍රියාත්මක විය. ඉන් 10 කට මැතිවරණ කටයුතුවලට අදාළව ආධාර මුදල් සැපයීම සිදු කෙරිණි. 

ආබාධ සහිත ජනතාවගේ මැතිවරණ අයිතීන් ආරක්ෂා කිරීම, කාන්තා දේශපාලන ආදී විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මැතිවරණ ක්‍රියාදාමයට අදාළව අරමුදල් සැපයීමට එම ආයතන විසින් කටයුතු කරන ලදී. 

ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනවරටත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු USAID ආයතනයට අරමුදල් සැපයීම අත්හිටුවීමට කටයුතු කරනු ලැබුවේ එහි මූල්‍ය විනිවිදභාවය සම්බන්ධයෙන් පැවති ගැටලු හේතුවෙනි.

කෙසේ නමුත් මෙම තත්ත්වය මෙවර පළාත් පාලන මැතිවරණයේදී මෙරට මැතිවරණ නිරීක්ෂණ ක්‍රියාවලියට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. 

ඇතැම් නිරීක්ෂණ සංවිධානවල කටයුතු මන්දගාමී තත්ත්වයට පත්ව ඇත. 

පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීම සීමා කිරීමට ඇතැම් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කටයුතු කර තිබේ. 

මේ නිසා ස්වෙච්ඡා මැතිවරණ නිරීක්ෂකයන්ගේ සහයෝගය මත මැතිවරණ නිරීක්ෂණ කටයුතු කිරීමට ඇතැම් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පියවර ගෙන ඇත.

මෙම මූල්‍ය අර්බුද තත්ත්වය හේතුවෙන් මැතිවරණයට අදාළ වාර්තා සකස් කිරීම පවා බොහෝ මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට ගැටලුවක් බවට පත්ව ඇතැයි ද අනාවරණය වේ.

USAID සංවිධානයේ කටයුතු අඩාළවීම හේතුවෙන් මෙවර මූල්‍යමය ගැටලුව බරපතළ ලෙස මැතිවරණ නිරීක්ෂණ සංවිධානවලට බලපා තිබෙන බව  PAFFREL (පැෆරල්) සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටී. 

USAID කටයුතු අඩාළවීම මත NDI,IRI ආදී මැතිවරණ කටයුතුවලට මුදල් සපයන ලද ආයතන රැසක් වසා දැමීමට පසුගිය කාලයේදී කටයුතු කෙරුණු බවද ඔහු කීවේය.

කෙසේ නමුත්, පැෆරල් සංවිධානය මුදල් කළමනාකරණය කරගනිමින් කටයුතු කරගෙන යන බවත්, මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා පැෆරල් සංවිධානය විසින් මැතිවරණ නිරීක්ෂකයන් 3,000 ක් සහ ජංගම නිරීක්ෂණ කටයුතු සඳහා වාහන 200 ක් යොදවා තිබෙන බවත් ඔහු පැවසීය. 

පැෆරල් සංවිධානය ආරම්භ කරනු ලැබුවේ ආධාර මත නොවන බවත්, 80 දශකයේදී තම තමන්ගේ මුදල් යොදවා එහි කටයුතු පවත්වාගෙන ගිය බවද ඔහු පැවසීය.

මේ වනවිට මැතිවරණ නිදහස් හා සාධාරණ පරාසයකට ගෙනැවිත් තිබෙන බවත්, මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ආදිය මේ වනවිට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බවත්, අනාගතයේදී මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම්වල අවශ්‍යතාවක් මතු නොවීමේ හැකියාවක් පවතිනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක කියා සිටියේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා ලැබෙන අරමුදල්වල විශාල අඩුවීමක් තිබෙන බවය. 

මේ නිසා මැතිවරණයට අදාළව වාර්තා සැකසීම ප්‍රමාණාත්මක සහ සංඛ්‍යාත්මකව අඩුවී ඇතැයි ද ඔහු කියා සිටියේය.

අරමුදල් සම්බන්ධයෙන් පවතින අර්බුදය හේතුවෙන් ස්වෙච්ඡාවෙන් මැතිවරණ නිරීක්ෂකයන් යෙදවීමට සිදුවී ඇතැයි ද ඔහු පැවසීය. 

කෙසේ නමුත් USAID ආධාර නොලැබීම වෙස්වලාගත් ආශිර්වාදයක් බවත්, මැතිවරණ නිරීක්ෂණ කටයුතු මුල් කාලයේදී ආරම්භ වූයේ ස්වෙච්ඡා පදනමින් වූවත්, පසුකාලීනව එය මුදල් මත පිහිනන කාර්යයක් බවට පරිවර්තනය වූ බව ද මංජුල ගජනායක කීවේය.

මේ වනවිට යළිත් වරක් මැතිවරණ නිරීක්ෂණ කටයුතු අතීතයේදී මෙන් ස්වෙච්ඡා පදනමින් සිදුකිරීමට බොහෝ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අත්හදා බලමින් පවතින බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළ නිරීක්ෂණ කටයුතු සඳහා දේශීය මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හතක් ඉල්ලුම් කළ බවත්, ඉන් සංවිධාන දෙකකට ඡන්ද මධ්‍යස්ථාන තුළ නිරීක්ෂණ කටයුතු සඳහා අවසරය ලබාදුන් බවත්, අනෙකුත් නිරීක්ෂණ සංවිධානවලට ඡන්ද මධ්‍යස්ථානවලින් පිටත හා ජංගම නිරීක්ෂණ කටයුතුවලට අවසරය ලබාදී ඇති බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පැවසුවේය.

ඉකුත් ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණවල දී යුරෝපා සංගමය ඇතුළු විවිධ විදේශීය නිරීක්ෂණ කණ්ඩායම් මෙරට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිරත විය. 

ඇතැම් විදෙස් නිරීක්ෂණ සංවිධාන පැමිණියේ මැතිවරණ කොමිෂන් සභාවේ ආරාධනය මතය.

මූලාශ්‍රය – අරුණ

කැබිනට් තීරණ

බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතිගත බඩඉරිඟු ආනයනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව දේශීයව බඩඉිරි සපයා ගැනීමට ඇති අපහසුව සැලකිල්ලට ගෙන වසරකට අවශ්‍ය නිසි ප්‍රමිතියෙන් යුතු බඩඉරිඟු ආනයනය කිරීමට ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත ආනයන බලපත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් සඳහා වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 18,000ක් වන අතර මාසිකව අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 1,500කි.

සියලූම ගර්භණී මව්වරුන්ට, කිරිදෙන මව්වරුන්ට සහ මන්දපෝෂණයෙන් පෙළෙන මාස 6ට වැඩි ළඳරුවන් හා අවුරුදු 5ට අඩු දරුවන් සඳහා ත්‍රිපෝෂ ලබාදෙනු ලැබේ.

එහිදී ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩඉරිඟු සහ සෝයා බෝංචි ප්‍රධාන අමුද්‍රව්‍යයන් ලෙස යොදා ගනී.

Continue Reading

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (03) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-03

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 3, 2025

Continue Reading

පුවත්

දේශබන්දු අද විමර්ශන කමිටුව හමුවට

Published

on

By

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ විෂමාචාර සහ බලතල අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ කමිටුව හමුවේ අද(03) යළිත් පෙනී සිටීමට නියමිතය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම විමර්ශන කමිටුව අද(03) පස්වරු 2ට රැස්වීමට නියමිතව තිබේ.

චෝදනාවලට අදාලව නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂි සම්බන්ධයෙන් දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කිරිම අද (03) සිදු කෙරෙනු ඇත.

නීතීපති දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කරන සාක්ෂිවලට අදාල දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් වග උත්තරකාර පොලිස්පතිවරයාගේ පාර්ශ්වයේ ස්ථාවරය 09 වැනිදා ඉදිරිපත් කිරිමට තීරණය කලේය.

ඉන් අනතුරුව වාචික සාක්ෂි කැඳවීම සහ හරස් ප්‍රශ්ණ ඇසීම එළඹෙන 11 වැනිදා සිදු කිරිමට නියමිතය.

ඉන් පසු 16 වැනිදා සිට දිනපතා පෙරවරු 9.30 සිට පරික්ෂණ කමිටුව රැස්විමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved