Connect with us

පුවත්

ඡන්දය අත්හිටුවන්නැයි කර්නල් කෙනෙක් අධිකරණයෙන් ඉල්ලයි!

Published

on

ඡන්ද පැවැත්වීමට මුදල් ලබාගත හැක්කේ ආදායම් ලැබීම මත පදනම්ව හෝ ණයට මුදල් ලබාගැනීමේ පදනම මත බව මැතිවරණ කොමිසම තමන් වෙත දන්වා ඇතැයි විශ්‍රාමික කර්නල් ඩබ්ලිව්.එම්.ආර් විජේසුන්දර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (02) ගොණුකළ රිට් පෙත්සමක් සමඟ තොරතුරු ඉදිරිපත් කර තිබේ.

ඒ මඟින් මැතිවරණ කොමිසමේ සභාපති සහ සාමාජිකයන් සිව්දෙනා, අග්‍රාමාත්‍යවරයා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, කැබිනට් ලේකම්වරයා සහ නීතිපතිවරයා  වගඋත්තරකරුවන් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ රිට් පෙත්සමක් ගොණු කිරීමට කටයුතු කර තිබේ.

පෙත්සමින් කරුණු දක්වා ඇති විශ්‍රාමික කර්නල්වරයා, මේ මොහොතේ පළාත් පාලන ඡන්දයක් පැවැත්වීමෙන් රටට හෝ මහජනතාවට ඇතිවන සුගතිය කුමක්දැයි ප්‍රශ්නකර ඇත.

මැතිවරණ කොමිසම පවසන අන්දමට ඡන්දය පැවැත්වීම සඳහා අවම රුපියල් බිලියන 10 ක් වැය වේ. 

පෙත්සම්කරු දැනුම්දෙන්නේ මීට සති දෙකකට ඉහතදී තොරතුරු දැනගැනීමේ පනත මඟින් මැතිවරණයක් පැවැත්වීම සඳහා සල්ලි වෙන්කර ඇද්ද, එය මුදල් වශයෙන් තිබෙනවා ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමෙන් විමසා සිටියදී, ඔවුන් විසින් තමන් වෙත ලිඛිතව දන්වා ඇත්තේ සාමාන්‍යයෙන් ඡන්දයක් පැවැත්වීමට රුපියල් බිලියන 10 ක් වැය වන බවත්, එය රාජ්‍යයට ආදායම් ලැබීම මත හෝ ණයට ලබාගැනීමේ පදනම මත තීරණය කරණ බවයි.

ඊට අදාළ සියළු ලේඛන ද පෙත්සම්කරු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ. 

වත්මන් රටේ පවතින ආදායම් තත්ත්වයත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පනවා ඇති කොන්දේසි සහ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් ආයතන ලංකාවට මේ මොහොතේදී ලබාදී ඇති ශ්‍රේණිගතකිරීම් පිළිබඳවත්, පසුගිය වසර තුනක රජයේ ආදායම් සහ වියදම් පිළිබඳවත් කරුණු දක්වා ඇති පෙත්සම්කරු පවසන්නේ, දීපව්‍යාප්ත ඡන්ද ප්‍රතිසංස්කරණය වෙනුවෙන් කටයුතු කරමින් ඇති මොහොතක, ඡන්ද ව්‍යාපාරයන්හි නිරත පුද්ගලයින්ගේ සහ දේශපාලන පක්ෂවල මූල්‍ය පාලනය සඳහා නීති සම්පාදනය කෙරෙන මොහොතක, තරුණ සහ කාන්තා දේශපාලන නියෝජනය පිළිබඳව ප්‍රතිශත වශයෙන් තීන්දු කෙරෙන මොහොතක, අපේක්ෂක විනිවිදභාවය පිළිබඳව නීති සකස් කෙරෙමින් මේ කාරණා පිළිබඳව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ක්‍රියාත්මක මොහොතක, පළාත් පාලන දේශපාලන සභිකයන් 8,711 ක් රටට ආර්ථිකවත්, සමාජයීයවත් බර වැඩි මොහොතක, එය 1/3 කට සීමා කළ යුතු යැයි සාකච්ඡා කෙරෙන මොහොතක, හදිසි මැතිවරණයකින් රටකට, රටේ මහජනතාවට අත්වන සුගතිය කවරේද යන්න පෙත්සම්කරු ප්‍රශ්න කර සිටී.

එමෙන්ම ද්වීපාර්ශවීය සහ බහුපාර්ශවීය ණය ගැනීමට ඇති නොහැකියාව, යම් හෙයකින් මුදල් අච්චු ගැසීමට සිදුවුවහොත් ඊට සාපේක්ෂව සිදුවන උද්ධමනය, එසේත් නොමැතිනම් මේ මැතිවරණ වියදම් දැරීම හේතුවෙන් අනිවාර්යෙන් සිදුවිය හැකි ආර්ථිකයේ කඩාවැටීම මත නැවතත් ඉන්ධන නොමැති, ගෑස් නොමැති, විදුලිය වැඩි වේලාවක් කප්පාදු කෙරෙන ආදී වශයෙන් වන බරපතල ජීවන තත්ත්වය පවත්වාගැනීමේ අර්බුද ගණනාවකට සහ සමාජ පීඩනයකට ලක්වීමට නියමිත බවය.

පෙත්සම්කරු, රිට් පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් සිව්දෙනා ප්‍රමුඛ වගඋත්තරකරුවන් වෙත පළාත් පාලන මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් සිදුකරනු ලබන සංවිධාන කටයුතු බලරහිත කරමින් රිට් ආඥාවක් ලබාදෙන ලෙසයි.

එසේම වැඩිදුරටත් ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇති සහ වැඩිදුරටත් අවශ්‍ය ලේඛන ලබාදෙන ලෙසත්, එකී ලේඛන පරීක්ෂා කරන ලෙසත්, මෙම නඩුව අසා නිමවනතුරු හෝ ගරු අධිකරණයට මැනැවැයි හැඟෙන කාලයක් සඳහා අතුරු නියෝග නිකුත් කරමින් නඩුවේ දැන් පවත්නා තත්ත්වයන් වෙනස් නොකිරීමටත්, මැතිවරණ කොමිසම විසින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගන්නා තීරණයේ බලපෑම වැළැක්වීමටත්, කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටී.

කලා

ටොරානා සරත්ට එරෙහි නඩුවෙන් ක්ලැරන්ස් ගේ බිරිඳ දිනුම්

Published

on

By

අභාවප්‍රාප්ත ප්‍රවීණ සංගීතඥ ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බිරිඳ වන ශීලා විජේවර්ධන මහත්මියට පක්ෂව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා අභියාචන නඩු තීන්දුවක් ලබාදී තිබේ. 

මෙම තීන්දුව ලබාදී ඇත්තේ ටොරානා මියුසික් හි සරත් කොතලාවල මහතාට එරෙහිවයි.

මෙම අභියාචන නඩුව විජේවර්ධන මහත්මිය විසින් ගොනු කර තිබුණේ මීට පෙර වාණිජ මහාධිකරණයෙන් ඇයට පක්ෂපාතීව ලබාදුන් නඩු තීන්දුවක් හා සම්බන්ධවයි.

වාණිජ මහාධිකරණය හමුවේ ගොනු කෙරුණු නඩුවේ වගඋත්තරකරුවන් ලෙස සරත් කොතලාවල සහ ගායක රජීව් සෙබස්තියන් නම් කර තිබුණි.

ක්ලැරන්ස් විජේවර්ධන මහතා විසින් රචිත ගීත කිහිපයක සංගීතය හා පද රචනා කිහිපයක ප්‍රකාශන අයිතිය, ඉහත වගඋත්තරකරුවන් විසින් එම ගීත ගායනා කිරීමෙන් හා එම ගීත ඇතුළත් සංයුක්ත තැටි නිෂ්පාදනය කිරීමෙන්, උල්ලංඝනය කර ඇති බව එම නඩුවේ දැක්වුණි.

කෙසේවෙතත්, මීට පෙර නඩුවේ දෙවැනි වගඋත්තරුකරු වන රජීව් සෙබස්තියන් විසින් ක්ලැරන්ස් විජේවර්ධන මහතාගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් පිළිගනිමින් අභියාචක පාර්ශවය සමඟ එකඟතාවයකට පැමිණ ඇති අතර, එහිදී රු. 2,000,000.00 ක වන්දි මුදලක්ද ගෙවා තිබේ.

තවදුරටත් සහන ඉල්ලා සිටිමින් විජේවර්ධන මහත්මිය විසින් 2013දී අභියාචන නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

Continue Reading

පුවත්

ට්‍රම්ප්ගෙන් ලංකාවට සහනයක්, 44% තීරු බද්ද 30%ට බස්සයි

Published

on

By

අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයන කරන භාණ්ඩ සඳහා 30%ක තීරු බද්දක් පනවා තිබේ.

ඊට අදාළ ලිපිය ජනාධිති අනුර කුමාර දිසානායක මහතාට ලැබී තිබේ.

මීට පෙර එම බද්ද 44%ක් ලෙස දක්වා තිබිණි.

ඒ අවස්ථාවේ, 7 වන ස්ථානයට වැඩි ම බදු ප්‍රමාණයක් පනවා තිබුණේ ශ්‍රී ලංකාවටය.

Continue Reading

පුවත්

ජෝන්ස්ටන්ගේ හෝටලයකට පහරදුන් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී ඇතුළු 10කට අත්හිටවූ සිර දඬුවම්

Published

on

By

2022 වසරේ මැයි මස 09 වනදා ගාලු මුවදොර ගෝඨා ගෝ ගම අරගලයට පහර දීමෙන් අනතුරුව කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ සංචාරක හෝටලයකට පොලු මුගුරු රැගෙන කඩා වැදී එම ස්ථානයට අලාභ හානි කිරීම සහ නවතා තිබූ වාහන දෙකකට අලාභ හානි කිරීමේ චෝදනාවලට වරද පිළිගත් කොළඹ හිටපු නාගරික මන්ත්‍රී මොහොමඩ් අනාස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට බරපතළ වැඩ සහිත වසර දෙක බැගින් වූ සිර දඬුවම් නියම කොට එය අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය අද(09) තීන්දු කළාය.

ඒ අනුව විත්තිකරුවන් නව දෙනෙකුට රුපියල් 65,000 බැගින් දඩ නියම කළ විනිසුරුවරිය අදාළ හෝටලයේ ලැප්ටොප් පරිගණකයක් පැහැරගැනීමේ සිද්ධියට සම්බන්ධ විත්තිකරුට රුපියල් 80,000ක දඩයක්ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවා දායකයින් මෙම චෝදනාවලට මුල් අවස්ථාවේදීම වරද පිළිගැනීමට සූදානම් බවත් සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි ගෙවීමට සූදානම් බවත් ය.

මෙහිදී රජයේ නීතිඥවරිය සඳහන් කර සිටියේ විත්තිකරුවන්ගේ යෝජනාවට අගතියට පත් පාර්ශවය එකඟතාවයක් පළ කරන්නේ නම් මෙම නඩුව අවසන් කිරීම සම්බන්ධයෙන් තමන්ගේ විරුද්ධත්වයක් නොමැති බවය.

මෙහිදී අගතියට පත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරෝෂන් සිරිවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිද්ධිය වූ දින විත්තිකරුවන් තම සේවා දායකයාගේ හෝටලයට කඩා වැදී පෙට්‍රල් දමා එය ගිනි තැබීමට උත්සාහ කළ බවත් විදේශීය සංචාරකයින්ගේ මැදිහත්වීමෙන් එය වැළකුණු බවත් කියා සිටියේය.

තම සේවා දායිකාවගේ දියණිය කාමරයක් තුළ දමා ගිනි තැබීමට මොවුන් උත්සාහ කර ඇති බවත් ඔහු වහලෙන් බැස ඇයව බේරාගෙන ඇති බවත් සඳහන් කළ නීතිඥවරයා මෙම සිද්ධියෙන් ඔහුට රුපියල් මිලියන නවයක පමණ අලාභයක් සිදුවී ඇති බව පැවසුවේය.

විත්තිකරුවන් ගෙවීමට පොරොන්දු වූ වන්දිය භාර ගැනීමට තම සේවාදායකයා අකමැති බවත් ඔවුන් වරද පිළිගෙන ඇති නිසා ඔවුන්ගෙන් කිසිදු වන්දියක් සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් නීතිඥවරයා සඳහන් කර සිටියේය.

මෙම විත්තිකරුවන්ට පෙර වැරදි නොමැති නිසා ඔවුන්ට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේදී මහාධිකරණ විනිසුරුවරිය සඳහන් කළේ මෙම නඩුවේ දහවන විත්තිකරුට පෙර වැරදි නොමැති බවට ඔහු තම නීතිඥවරයාට උපදෙස් ලබා දී තිබුණේ නම් එය අසත්‍යයක් බවය.

එම විත්තිකරුට තමන්ගේ පෙරවැරදි පිළිබඳ අමතක වීමක් තිබේ නම් ඔහුට මතක සිටින දඬුවමක් ලබාදීමට තම අධිකරණය සූදානම් බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරිය ඉන් අනතුරුව අදාළ විත්තිකරු තමන්ට පෙර වැරදි තිබෙන බව පිළිගත්තේය.

විත්තිකරු සිදු කර තිබෙන්නේ බරපතළ වරදක් බවත් ඔහුගේ නීතීඥවරයා ඉදිරිපත් කළ කරුණු සලකා බලා යළි සමාජගත විය හැකි දඬුවමක් ලබාදීමට කටයුතු කරන බවත් විනිසුරුවරිය සඳහන් කළාය.

ඒ අනුව එක් එක් විත්තිකරුට බරපතල වැඩ සහිත වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එය වසර 10 සිට 15 දක්වා අත්හිටුවීමට නියම කරන බවත් සිය තීන්දුවේ සඳහන් කර සිටියාය.

මෙම නඩුවේ දඩ ගෙවා තිබෙන ආකාරය පරීක්ෂා කිරීම සඳහා යළිත් නඩුව අගෝස්තු මස 28 වන දින කැඳවීමටද විනිසුරුවරිය විසින් නියම කරනු ලැබීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved