ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (21) උදෑසන 7 සිට පස්වරු 4 දක්වා සිදු කෙරේ.
මධ්‍යස්ථාන 13,421කට ඡන්ද පෙට්ටි හා කාර්ය මණ්ඩලය ඒ අනුව යොමු කරන අතර, ඒ සඳහා පිහිටුවා ඇති නිකුත් කිරීමේ මධ්‍යස්ථාන සංඛ්‍යාව 1234 කි. ලියාපදිංචි ඡන්දදායකයින් එක් කෝටි 71,40,354 ක් ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන රාජකාරි සඳහා රාජ්‍ය නිලධාරීන් එක් ලක්ෂ 50000 කට අධික පිරිසක් යොදවා ඇත.
නිදහස්, සාධාරණ හා විශ්වසනීය භාවයෙන් යුතුව මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු විධිවිධාන මේ වන විට ගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
ඊට අදාළ සියල්ල ව්‍යවස්ථාපිතව කළ යුතු කාර්යයන් පිළිබඳ චක්‍රලේඛ, උපදෙස්, නියෝග නිකුත් කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය ආයතන හරහා මහජනතාව දැනුවත් කර ඇත.
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ එක්ලක්ෂ හතළිස්දහස් තුන්සිය පනස්හතරක් වන අතර මෙවර ජනාධිපතිවරණයට අපේක්ෂකයින් 38 දෙනකු තරග වදී.
2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම සඳහා ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ඡන්ද මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය ඊයේ (20) උදෑසන ආරම්භ වූ අතර ප්‍රධාන ගණන් ගන්නා නිලධාරීන් ඇතුළු නිලධාරීන් දහසකට ආසන්න පිරිසක් කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් පිට පළාත් සඳහා යොමු කර ඇති බවද මැතිවරණ කොමිසම පැවැසීය.
මේ අතර, ඡන්ද පෙට්ටි හා නිලධාරීන් ප්‍රවාහනය සඳහා විශේෂ ආරක්ෂාවක් ලබා දෙන බව පොලිසිය පවසයි. ඡන්ද පෙට්ටි නිකුත් කරන මධ්‍යස්ථාන අවට විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව ද පොලිසිය කියා සිටියේය.