Connect with us

පුවත්

ජනපතිවරණයේ අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා හෙළිවෙයි

Published

on

පසුගිය ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් සිදුකළ වියදම් ඇතුළත් ලේඛනය මැතිවරණ කොමිෂන් සභාව මගින් ප්‍රදර්ශනය කර තිබේ.

ඒ අනුව 2024 ජනාධිපතිවරණයේ වැඩිම මුදලක් වියදම් කර ඇත්තේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා වන අතර එම මුදල රුපියල් කෝටි 112කට අධිකය.

එහිදී ඔහු රුපියල්  936,258,524.60ක මුදලක් අපේක්ෂකයා ලෙස වැය කර ඇති අතර සමගි ජන බලවේගය ඔහු වෙනුවෙන් රුපියල් 194,087,715.04ක් වියදම් කර තිබේ.

දෙවෙනියට වැඩිම වියදමක් දැරූ අපේක්ෂකයා වන්නේ ස්වාධීන අපේක්ෂකයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතාය.

ඔහු වියදම් කර ඇති මුදල රුපියල් 990,327,687.16ක් වන අතර ස්වාධීන අපේක්ෂකයින් අතරින් වැඩිම වියදමක් සිදුකළ අපේක්ෂකයා ද ඔහු වෙයි.

මෙවර ජනාධිපතිවරණය ජයගත් ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා කිසිඳු පෞද්ගලික වියදමක් දරා නොමැති බව ඔහු මැතිවරණ කොමිසමට එවූ වාර්තාවේ දැක්වෙයි.

කෙසේවෙතත් ඔහු ඉදිරිපත් වූ පක්ෂය වන ජාතික ජනබලවේගය විසින් රුපියල් 527,999,889.38ක මුදලක් මැතිවරණ වැඩකටයුතු සඳහා වැය කර තිබේ.

මෙවර ජනාධිපතිවරණයේදී සිව්වැනි ස්ථානය හිමිවූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ඔහුගේ පෞද්ගලික මුදලින් කිසිඳු වියදමක් දරා නොමැත.

ඔහු වෙනුවෙන් පක්ෂය වියදම් කර ඇති මුදල රුපියල් 388,939,085.00ක්.

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත් වූ ව්‍යවසායක දිලිත් ජයවීර මහතා සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් රුපියල් 324,643,246.05ක මුදලක් වියදම් කර තිබේ.

එම මුදල් ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පෞද්ගලිකවම දරා ඇති අතර ඔහු වෙනුවෙන් පක්ෂය කිසිඳු වියදමක් දරා නොමැත.

2024 ජනාධිපතිවරණයේදී එක් එක් අපේක්ෂකයින් වියදම් කළ මුදල් සම්බන්ධයෙන් මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත ප්‍රකාරව සියලු කරුණු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබුණි.

ඒ අනුව ගැසට් මගින් ප්‍රකාශයට පත්කෙරුනේ එක් අපේක්ෂකයෙකුට එක් ඡන්දහිමියකු වෙනුවෙන් වැය කළ හැකි මුදල රුපියල් 109ක උපරිමයක් ලෙසය.

එමගින් එක් අපේක්ෂකයෙකුට සියලුම ඡන්ද දායකයින් වෙනුවෙන් රුපියල් 1,868,298,586ක මුදලක් වියදම් කිරීමට අවසර හිමිවුණි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයින් 38 දෙනෙකු අතරින් එම වියදම් වාර්තා ඉදිරිපත් කර තිබුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින් 35 දෙනෙකු පමණි.

ඒ අනුව අපේක්ෂකයන් සහ පක්ෂ සිය ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තා මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කෙරෙයි.

පුවත්

සාන් සුද්දා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලායයි

Published

on

By

පසුගිය දා පොලිස් අත්අඩංගුවට පත්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘සාන් සුද්දා’ නැමැත්තා බන්ධනාගාර නිලධාරීන්ගෙන් මීදී රෝහලෙන් පලාගොස් ඇතැයි වාර්තා වේ.

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් පසුගිය මැයි මස 30 වනදා  වැල්ලවාය නගරය ආසන්න ප්‍රදේශයේ දී විශේෂ වැටලීමක් සිදුකළ අතර එහිදී වැල්ලවාය ප්‍රදේශයේ ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මහවෙලමුල්ලේ සාන් සුද්දා නොහොත් සම්පත් කුමාර යන අය පොලිස් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබුණි.

එහිදී සැකකරු විසින් පොලීසියට තියුණු ආයුධයකින් පහරදී තිබූ අතර පසුව පොලිස් නිලධාරීන් සැකකරුගේ දණහිසෙන් පහළ ප්‍රදේශයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යැවුණි.

එම සැකකරු මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ බන්ධනාගාර නිලධාරීන් ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටි අතරතුර සැකකරු අද උදෑසන බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් ඇත.

පලාගිය සැකකරු පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදුකරයි.

Continue Reading

පුවත්

ඉන්දියාවට පලාගිය සරණාගතයින් ගැන රජයෙන් තීරණයක්

Published

on

By

යුද්ධය පැවති සමයේ මෙරටින් පලාගොස් ඉන්දියාවේ සරණාගතයින් ලෙස රැඳී සිටින පුද්ගලයින්ට මෙරටට පැමිණීමේ දී පවතින බාධා ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, ඒ සඳහා පවතින ආගමන විගමන නීතී සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මේ වන විටත් පියවර ගනිමින් සිටින බවය.

යුද්ධය පැවති සමයේ දී උතුරේ ජීවත් වූ ජනතාව යම් පිරිසක් ආරක්ෂාව පතා ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට පලාගිය අතර ඔවුන් මේ වන විට ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ජීවත් වේ.

එම පිරිසට යළි ලංකාවට පැමිණීම සඳහා පවතින ආගමන විගමන නීතී බාධාවක් වී ඇති බැවින් එම නීතී සංශෝධනය කිරීමට අවධානය යොමුව ඇති බව ආනන්ද විජේපාල මහතා සඳහන් කළේය.

ඒ සඳහා කඩිනමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිතය.

මේ අතර ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණි කුඩා දරුවෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු තලෙයිමන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් ඉන්දියාවේ රාමේෂ්වරම් සිට මුහුදු මාර්ගයෙන් දිවයිනට පැමිණ ඇති බවය.

එලෙස දිවයිනට පැමිණ ඇත්තේ 24 හැවිරිදි යුවළක් සහ අවුරුදු 3 හමාරක් වයසැති දරුවා බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් 2023 වර්ෂයේ මැයි මාසයේ දී බෝට්ටුවක් ආධාරයෙන් ඉන්දියාවට පලාගොස් ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

Continue Reading

පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ රු. බිලියනයකට වඩා නාස්තියක් ගැන COPE හිදී අනාවරණය වේ

Published

on

By

2024 දී වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මේ නොමැති වැඩසටහන් දෙකක් කිසිදු සැලසුමකින් තොරව ක්‍රියාත්මක කිරීමට රු. බිලියනයකට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප් ) අනාවරණය විය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය විසින් 2024 වසරේදී විගමනික සංගම් සාමාජිකයින් 5000කගේ සහභාගිත්වයෙන් පළාත් මට්ටමේ රැස්වීම 3ක් පැවැත්වීම සඳහා වූ විගමනික හරසර වැඩසටහන සඳහා රු මිලියන 63කට අධික මුදලක් හා විදේශ රැකියා අමාත්‍යාංශයට අනුබද්ධිත සියලුම ආයතන විසින් සපයනු ලබන සේවාවන්, සේවා ලාභීන් පදිංචි ස්ථානවලදීම ලබා ගත හැකිවන පරිදි දිවයින පුරා පැවැත්වූ Glocal Fair වැඩසටහන සඳහා රු මිලියන 1259 කට අධික මුදලක්ද වැයවූ බව කෝප් කමිටුවේදී අනාවරණය විය.

මේ පිළිබඳ කරුණු අනාවරණය වූයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ 2022, 2023 මූල්‍ය වර්ෂවල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 23 වැනි දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සභාපතිවරයා Glocal Fair වැඩසටහන කැබිනට් අනුමැතිය ලැබීමට පෙර ආරම්භ කර ඇති බවත් අදාළ කැබිනට් පත්‍රිකාව එම වැඩසටහන ක්‍රියාත්මක වන අතරතුරු අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර ඇති බවත් පෙන්වා දුන්නේය. එමෙන්ම මෙවැනි වැඩසටහන් පැවැත්වීම සඳහා වාර්ෂිකව අයවැයෙන් රුපියල් මිලියන 2ක් පමණක් වෙන් කර ඇති බවත්, රු. මිලියන 1259 ක මුදලක් තරම් විශාල මුදලක් ඒ සඳහා වැයකර ඇති බවත් එවැනි මුදලක් වැයකිරීමේ අරමුණු ඉටුකර ගත හැකිවුයේද යන්න පිළිබඳවත් කාරක සභා සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.

තවද මෙම Glocal Fair වැඩසටහන් මාලාව ආරම්භක අවස්ථාවේදී ,වෙළඳ කුටියක් රුපියල් එක්ලක්ෂ හැත්තෑ දහසක මුදලකට මිලදී ගත්තද පසුව වෙළඳ කුටියක් ලක්ෂ 5ක මුදලකට ලබාගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාව විමසා සිටියේය. කෙසේ වෙතත් ඵලදායී වැඩසටහන්වලට යෙදවීමට තිබු මුදල් අරමුණකින් තොරව නිසි ලෙස සැලසුම් නොකළ වැඩසටහන් වලට යෙදවීම තුළින් විශාල මුදල් ප්‍රමාණයක් නාස්ති වී ගොස් ඇති බව කාරක සභා සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

එමෙන්ම 2013 වසරේදී ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කළ “රටවිරුවෝ” නිවාස ණය වැඩසටහන, වසර 05කට අත්සන් කළ අවබෝධතා ගිවිසුම අනුව සිදු කර නොමැති බවත් ඒ හේතුවෙන් ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබිය යුතු රු මිලියන 100ක මුදල තවම ලැබී නොමැති බවත් කාරක සභාවේදී අනාවරණය විය. කෙසේ වෙතත් එම ලැබිය යුතු මුදල ලබා දීමට ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මේ වනවිට එකඟ වී ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වුහ.

මෙහිදී කාරක සභාව විසින් මෙම නිවාස ණය ලබාදීමේ වැඩසටහන මගින් කොපමණ පිරිසකට අදාළ ණය පහසුකම ලබා දී තිබේද යන්න  ලධාරීන්ගෙන් විමසා සිටි අතර එවැනි දත්තයක් ඔවුන් සතුව නොපවතින බව ඔවුහු කාරක සභාවට දැන්වූහ. ඒ අනුව මෙම වැඩසටහන පිළිබඳව කිසිදු පසු විපරමක් සිදුව නොමැති බව පැවසු කාරක සභා සභාපතිවරයා මෙම රටවිරුවෝ නිවාස ණය වැඩසටහන පිළිබදව ආරම්භයේ සිට වර්තමානය දක්වා තොරතුරු ඇතුළත් සම්පුර්ණ වාර්තාවක් ලබා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය.

කෙසේ වෙතත් මෙහිදී කරුණු දක්වමින් කාරක සභා සාමාජික මන්ත්‍රීවරයන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නියාමන කාර්යයෙන් බැහැර වී කටයුතු කර ඇති බව පෙන්වා දුන්හ.

වර්තමානය වනවිට බිලියන 18ක්ව පවතින ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ස්ථාවර තැන්පතු වඩාත් ඵලදායී ලෙස යෙදවීමට සැළසුම් සකස් කිරීමේ දැඩි අවශ්‍යතාවයද කාරක සභාව විසින් පෙන්වා දෙන ලදී.

තවද අක්‍රීයව පවතින, 2023 දෙසැම්බර් 31 වැනි දිනට බිලියන 5.1 ක ශේෂයක් පවතින කුවේට් වන්දි අරමුදල සඳහා ගනු ලබන ක්‍රියාමර්ග පිළිබඳවද කාරක සභාව නිලධාරීන්ගෙන් විමසීමක් කරන ලදී. ඒ අනුව එම මුදල භාවිතා කර ගෘහ සේවය සඳහා පිටත්වන ශ්‍රමිකයින්ට අවශ්‍ය පුහුණුවීම් ලබාදීමටත් ශ්‍රමිකයින් සඳහා විශ්‍රාම වැටුපක් ලබාදීමටත් සැළසුම් සකස් කර ඇති බව නිලධාරීහු කාරක සභාවට දැන්වූහ.

එමෙන්ම මෙහිදී රැකියා සඳහා යොමු වන ශ්‍රමිකයින් මාර්ගයෙන් අයතා ලෙස රැකියා ඒජන්සි සිදුකල මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි. එහිදී රැකියාවක් සඳහා ඒජන්සියක් මාර්ගයකින් තොරව ස්වයං පිටත්ව යන සෑම ශ්‍රමිකයෙක්ම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වියයුතු බවත් ඒ සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත්
කාරක සභාවේදී කරුණු පැහැදිලි විය.

එමෙන්ම ඒජන්සි මගින් ශ්‍රමිකයින් රැකියා සඳහා යොමු කිරීමේදී ද එම ශ්‍රමිකයින් සඳහා ලියාපදිංචි ගාස්තු කාර්යාංශයට ගෙවිය යුතු බවත් එම මුදලින් 70%ක් නැවත අදාළ ඒජන්සි සඳහා ගෙවන බවත් කාරක සභාවෙදී අවධාරණය කෙරිණි.

කෙසේ වෙතත් ස්වයං පිටත්ව යන ශ්‍රමිකයින්, ඒජන්සි මගින් පිටත්වන ශ්‍රමිකයින් ලෙස හුවා දක්වමින් වංචා සහගතව සිදු කර තිබෙන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් කරුණු සෙවීමට අනු කමිටුවක් පත්කිරීමට කාරක සභා සභාපතිවරයා තීරණය කළේය.

මෙම කාරක සභා රැස්වීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නීතිඥ අනුරාධ ජයරත්න,මුජිබුර් රහුමාන්, එම්.කේ.එම්. අස්ලම්, නීතිඥ නිලන්ති කොට්ටහච්චි, සමන්මලී ගුණසිංහ, මයිල්වාගනම් ජෙගදීස්වරන්, (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා , සුජීව දිසානායක, ජගත් මනුවර්ණ,රුවන් මාපලගම, සුනිල් රාජපක්‍ෂ ,ධර්මප්‍රිය විජේසිංහ, අසිත නිරෝෂණ එගොඩ විතාන (වෛද්‍ය)පත්මනාදන් සත්‍යලිංගම්ත, තිළිණ සමරකෝන්, චන්දිම හෙට්ටිආරච්චි, දිනේෂ් හේමන්ත , ලක්මාලි හේමචන්ද්‍ර යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved